චීනය නව පස් අවුරුදු සැලැස්මකට සූදානම් වෙයි : චීනයේ අතීත සැලසුම් ලෝකය හැඩගස්වා ඇති ආකාරය මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, නික් මාර්ශ්
- Role, බීබීසී ප්‍රවෘත්ති
දශකයේ ඉතිරි කාලය සඳහා රටේ ප්‍රධාන ඉලක්ක සහ අභිලාෂයන් තීරණය කිරීම සඳහා චීනයේ ඉහළම නායකයින් මෙම සතියේ බීජිං හිදී රැස්වේ.
සෑම වසරකදීම හෝ ඊට ආසන්න කාලයකදී, රටේ ඉහළම දේශපාලන ආයතනය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සතියක් පුරා පැවැත්වෙන රැස්වීම් සඳහා ඒකරාශී වන අතර එය Plenum (සැසිය) ලෙසද හැඳින්වේ.
එහිදී තීරණය කරන දෑ අවසානයේ චීනයේ මීළඟ පස් අවුරුදු සැලැස්මේ පදනම වන අතර එය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය 2026 සහ 2030 කාලසීමාව අතර අනුගමනය කරන සැලැස්මයි.
සම්පූර්ණ සැලැස්ම ලබන වසර වන තෙක් ප්‍රසිද්ධියට පත් නොකෙරෙන නමුත් නිලධාරීන් බදාදා එහි අන්තර්ගතය පිළිබඳව ඉඟි පළ කිරීමට ඉඩ ඇති අතර ඉන් සතියක් ඇතුළත වැඩි විස්තර ලබාදීම මින් පෙර සිදු කර තිබේ.
"බටහිර රටවල් මැතිවරණ වටා ප්‍රතිපත්ති සැලසුම් කරයි, නමුත් චීන ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියත්මක වෙන්නේ සැලසුම් චක්‍ර මත තමයි" ආසියා සමාජ ප්‍රතිපත්ති ආයතනයේ චීන දේශපාලනය පිළිබඳ සාමාජික නීල් තෝමස් පවසයි.
"පස් අවුරුදු සැලසුම් මඟින් චීනයට අත්කර ගැනීමට අවශ්‍ය දේ, නායකත්වය ගමන් කිරීමට අවශ්‍ය දිශාව සහ රජයේ සම්පත් මෙම පූර්ව නිශ්චිත නිගමන කරා ගෙන යාම පිළිබඳ පැහැදිළි කරනවා" ඔහු තවදුරටත් පවසයි.
මතුපිටින් බලන විට, සුදුසුකම් ලත් නිලධාරීන් සිය ගණනක් අතට අත දෙමින් සැලසුම් සකස් කිරීම පිළිබඳ අදහස අඳුරු ක්‍රියාකලාපයක් ලෙස පෙනෙන්න පුළුවන් - නමුත් ඉතිහාසය අපට පවසන්නේ ඔවුන් තීරණය කරන දේ බොහෝ විට ලෝකයට විශාල ප්‍රතිවිපාක ඇති කරන බවයි.
චීනයේ පස් අවුරුදු සැලැස්ම ගෝලීය ආර්ථිකය නැවත හැඩගස්වා ගත් අවස්ථා තුනක් මෙන්න.
1981-84: "ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම"
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
චීනය ආර්ථික බලවතෙකු වීමේ ගමන ආරම්භ කළේ කවදාද යන්න නිශ්චිතව පෙන්වා දීම දුෂ්කර වේ, නමුත් පක්ෂයේ බොහෝ දෙනෙක් පැවසීමට කැමති වන්නේ එය 1978 දෙසැම්බර් 18 වන දින සිදුවූ බවයි.
දශක තුනකට ආසන්න කාලයක් චීනයේ ආර්ථිකය රජය මගින් දැඩි ලෙස පාලනය කර තිබිණි. නමුත් සෝවියට් විලාසයේ මධ්‍යම සැලසුම්කරණය සමෘද්ධිය ඔසවා තැබීමට අපොහොසත් වූ අතර බොහෝ පිරිසක් දරිද්‍රතාවය තුළ අරගල කරමින් සිටියහ.
මාඕ සේතුංගේ විනාශකාරී පාලනයෙන් රට තවදුරටත් යථා තත්ත්වයට පත්වෙමින් තිබිණි. ජාතියේ ආර්ථිකය සහ සමාජය නැවත හැඩගැස්වීම සඳහා කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘ විසින් මෙහෙයවන ලද කාර්මීකරණ ව්‍යාපාරය වූ මහා ඉදිරි පිම්ම (The Great Leap) සහ සංස්කෘතික විප්ලවය මිලියන ගණනක මරණවලට හේතු විය.
බීජිං හි පැවති 11 වන කමිටුවේ තුන්වන සැසිවාරයේදී අදහස් දක්වමින්, රටේ නව නායක ඩෙන් ෂියාඕපින් ප්‍රකාශයට පත් කළේ නිදහස් වෙළඳපොළේ ඇතැම් අංග වැළඳ ගැනීමට කාලය එළඹ ඇති බවයි.
"ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය" පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්තිය 1981 දී ආරම්භ වූ ඊළඟ පස් අවුරුදු සැලැස්මට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විය.
නිදහස් වෙළඳ විශේෂ ආර්ථික කලාප නිර්මාණය කිරීම සහ ඒවා ආකර්ෂණය කරගත් විදේශ ආයෝජන චීනයේ ජනතාවගේ ජීවිත පරිවර්තනය කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තෝමස්ට අනුව එම පස් අවුරුදු සැලැස්මේ අරමුණු වඩාත් අවධාරණයෙන් සාක්ෂාත් කරගත නොහැකි විය.
"ජාතික අභිමානය යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම ලෝකයේ මහා බලවතුන් අතර එහි ස්ථානය තහවුරු කිරීම සම්බන්ධයෙන් චීනය අද 1970 ගණන්වල මිනිසුන්ගේ සිහිනවලට වඩා ඔබ්බට ගිහිං ඉන්නේ" ඔහු පවසයි.
නමුත් එය ගෝලීය ආර්ථිකය ද මූලික වශයෙන් නැවත සකස් කළේය. 21 වන සියවස වන විට, බටහිර නිෂ්පාදන රැකියා මිලියන ගණනක් චීනයේ වෙරළබඩ ප්‍රදේශවල නව කර්මාන්තශාලා සඳහා හිමිව තිබිණි.
ආර්ථික විද්‍යාඥයින් මෙය "චීන කම්පනය" ලෙස හැඳින්වූ අතර එය යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙර කාර්මික ප්‍රදේශවල ජනතාවාදී පක්ෂවල නැගීම පිටුපස ඇති ගාමක බලවේගයන්ගෙන් එකකි.
උදාහරණයක් ලෙස, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති - ඔහුගේ තීරුබදු සහ වෙළඳ යුද්ධ - පසුගිය දශක කිහිපය තුළ චීනයට අහිමි වූ ඇමෙරිකානු නිෂ්පාදන රැකියා නැවත ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇත.
2011-15 : උපායමාර්ගිකව මතුවෙමින් පවතින කර්මාන්ත
2001 දී ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ වූ පසු ලෝකයේ වැඩබිම ලෙස චීනයේ තත්ත්වය තහවුරු විය. නමුත් සියවස ආරම්භවනවිටත් කොමියුනිස්ට් පක්ෂ නායකත්වය එහි ඊළඟ පියවර සැලසුම් කරමින් සිටියේය.
රටකට තවදුරටත් ලාභ ශ්‍රමය සමඟ තරග කළ නොහැකි නමුත් ඉහළ මට්ටමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට තරම් දියුණු වී නොමැති විට - "මැදි ආදායම් උගුලේ" සිරවීම ගැන චීනය කනස්සල්ලට පත්ව සිටියේය.
එබැවින් ලාභදායී නිෂ්පාදනය වෙනුවට, චීනයට "උපායමාර්ගික නැගී එන කර්මාන්ත" ලෙස හැඳින්වූ දේ සොයා ගැනීමට අවශ්‍ය වූ අතර එය පළමුව නිල වශයෙන් 2010 දී භාවිතා කරන ලද යෙදුමකි. චීනයේ නායකයින් විදුලි මෝටර් රථ සහ සූර්ය පැනල වැනි හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කළහ.
බටහිර දේශපාලනය තුළ දේශගුණික විපර්යාස වඩ වඩාත් වැදගත් වූ විට, චීනය මෙම නව කර්මාන්ත සඳහා පෙර නොවූ විරූ තරම් සම්පත් බලමුලු ගැන්වීය.
අද වන විට චීනය පුනර්ජනනීය බලශක්තිය සහ විද්‍යුත් වාහනවල අවිවාදිත ලෝක බලවතා පමණක් නොව, ඒවා ගොඩනැගීමට අවශ්‍ය දුර්ලභ පෘථිවි සැපයුම් දාමයන්ගේ ඒකාධිකාරයක් ද පවතී.
චිප් නිෂ්පාදය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ද තීරණාත්මක වන මෙම ප්‍රධාන සම්පත් කෙරෙහි චීනය සතු ආධිපත්‍යය දැන් එය ගෝලීය වශයෙන් බලවත් ස්ථානයක රඳවා තබා ඇත.
දුර්ලභ පෘථිවි සම්පත් මත අපනයන පාලනය දැඩි කිරීමට බීජිනය ගත් මෑත කාලීන පියවර ට්‍රම්ප් විසින් "ලෝකය වහල්භාවයේ තබා ගැනීමේ" උත්සාහයක් ලෙස නම් කර තිබේ.
2011 මීළඟ පස් අවුරුදු සැලැස්ම තුළ "උපායමාර්ගික නැගී එන බලවේග" ඇතුළත් කර තිබුණ ද, 2000 දශකයේ මුල් භාගයේදී චීනයේ එවකට නායක හූ ජින්තාඕ විසින් හරිත තාක්‍ෂණය දියුණුවේ සහ භූ දේශපාලනික බලයේ ශක්තිමත් එන්ජිමක් ලෙස හඳුනාගෙන තිබිණි.
"චීනය තම ආර්ථිකයේ, තාක්‍ෂණයේ සහ තීරණ ගැනීමේ දී වඩාත් ස්වයං-විශ්වාස වීමට ඇති මෙම ආශාව බොහෝ ඈතකට දිව යනවා, ඒක චීන කොමියුනිස්ට් පක්ෂ විශ්වාසයන් තුළ ගැඹුරු මූලයන්වල කොටසක්," නීල් තෝමස් පවසයි.
2021-2025: "ඉහළ ගුණාත්මක සංවර්ධනය"
මෑතකාලීනව චීනයේ පස් අවුරුදු සැලසුම් 2017 දී ෂී ජින්පින් විසින් විධිමත් ලෙස හඳුන්වා දුන් "ඉහළ ගුණාත්මක සංවර්ධනය" කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ මන්දැයි මෙමගින් පැහැදිලි කළ හැකිය.
තාක්‍ෂණය තුළ ඇමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කිරීම සහ චීනය එම අංශයේ ඉදිරියෙන්ම තැබීම මෙමගින් අදහස් කරයි.
වීඩියෝ හුවමාරු යෙදුමක් වන TikTok, විදුලි සංදේශ දැවැන්තයා වන Huawei සහ AI ආකෘතිය වන DeepSeek වැනි දේශීය සාර්ථක නිර්මාණ මෙම සියවසේ චීනයේ තාක්ෂණික දියුණුවට සාක්ෂි දරයි.
නමුත් බටහිර රටවල් මෙය දකින්නේ ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි. ජනප්‍රිය චීන තාක්‍ෂණයට පසුකාලීනව සිදු කරන ලද තහනම් කිරීම් හෝ තහනම් කිරීමට උත්සාහ කිරීම් ලොව පුරා මිලියන සංඛ්‍යාත අන්තර්ජාල පරිශීලකයින්ට බලපෑම් එල්ල කර ඇති අතර අමිහිරි රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් ඇති කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Grigory Sysoev/RIA Novosti/Pool/Anadolu via Getty Images
මේ දක්වා චීනය තම තාක්ෂණික සාර්ථකත්වය සඳහා Nvidia හි දියුණු අර්ධ සන්නායක වැනි ඇමෙරිකානු නවෝත්පාදනයන් භාවිතා කර ඇත.
වොෂිංටනය දැන් චීනයට ඒවායේ අලෙවිය අවහිර කර ඇති බැවින්, "උසස් ගුණාත්මක සංවර්ධනය" "නව ගුණාත්මක නිෂ්පාදන බලවේග" බවට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කරන 2023 දී ෂී විසින් හඳුන්වා දුන් නැවුම් සටන් පාඨය දේශීය අභිමානය සහ ජාතික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.
මෙමගින් අදහස් කෙරෙන්නේ බටහිර තාක්‍ෂණය මත රඳා නොසිටීම සහ සම්බාධකවලට ඔරොත්තු දී චීනය චිප් නිෂ්පාදනය, පරිගණකකරණය සහ AI යන ක්ෂේත්‍රයන්හි ඉදිරියෙන්ම තැබීමයි.
විශේෂයෙන් නවෝත්පාදනයේ ඉහළම කෙළවරේ රැඳී සිටිමින් සෑම අංශයකින්ම ස්වයංපෝෂිත වීම මීළඟ පස් අවුරුදු සැලැස්මේ කේන්ද්‍රීය මූලධර්මවලින් එකක් වීමට පුලුවන.
"ජාතික ආරක්ෂාව සහ තාක්ෂණික ස්වාධීනත්වය දැන් චීනයේ ආර්ථික ප්‍රතිපත්තියේ නිර්වචන මෙහෙවරයි," තෝමස් පැහැදිලි කරයි.
"නැවතත් කිසි දිනෙක විදේශ රටවල ආධිපත්‍යය නොලබන බව සහතික කිරීමට එය චීනයේ කොමියුනිස්ට්වාදයට පාදක වන ජාතිකවාදී ව්‍යාපෘතිය වෙත ගමන් කරයි"














