සොරකමක් කළ බවට චෝදනා කොට පරිවාස භාරයට පත්කොට සිටියදී මියගිය 14 හැවිරිදි දරුවාගේ මරණයට වගකිව යුත්තේ කවුද?

අධිකරණය මගින් පරිවාසභාරයට පත්කර සිටි 14 හැවිරිදි පිරිමි දරුවෙකු අම්පාරේ ළමා නිවාසයක් තුළදී මරණයට පත් වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන බාලවයස්කරුවෙකුට සැලකුම්කරන ආකාරය ගැන යළි සමාලෝචනය කරවීමට වගකිවයුතු බලධාරීන්ගේ දෙනෙත් යොමු කරවමිනි.

කෝවිලක් තුළදී, පොලිස් ස්ථානයක් තුළදී සහ රජයේ පරිවාස නිවසක් තුළදී තමන්ට විදින්නට සිදුවු අමිහිරි අත්දැකීම ගැන විස්තර කිරීමට වින්දිතභාවයට පත් ආනන්ද දේවගේ දරුශාන් දරුවා දැන් ජීවතුන් අතර නොමැත.

දරුවාගේ පියා දැන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් දරුවෙකුට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑමට ඉඩ නොතබන ලෙසය.

දරුවාට සිදුවුයේ කුමක් ද?

නාරයන් ආනන්ද දේව මඩකලපුව කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට දරුවන් පස් දෙනෙක් සිටියි.ඒ අතුරින් තිදෙනෙක් පිරිමි දරුවන්ය. දෙදෙනෙක් ගැහැනු දරුවෝ වෙති.

ආනන්ද දේවගේ බිරිඳ සිවමනිය. ඇය මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බව ආනන්ද දේව පවසයි.

ආනන්ද දේවගේ මියගිය දරුශාන් දරුවා ඌරනී සරස්වති විදුහලේ හත වසර දක්වා පාසැල් ගොස් තිබේ.

කොරෝනා වසංගත සමයෙන් පසු ඔහු පාසැල් ගමන අත්හැර කොකුවිල් පත්තිනි දේවාලයේ වැඩ කටයුතු සඳහා සහය වීමට ගොස් තිබේ.

දිනපතාම පත්තිනි දේවාලයට යන දරුශාන් සවස නිවසට පැමිණෙන බව පියා පවසයි. පියා රැකියාව වශයෙන් කරදියනාරු ප්‍රදේශයේ ගල් කොරියක් භාරව සේවයේ නිරත වි සිටියි. ඔහු නිවසට පැමිණෙන්නේ දින දහයකට පසුවය.

පුත්‍රයා සේවය කළ පත්තිනි දේවාලය ඔහුගේ නිවසේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටා තිබේ.එම දේවාලය ආසන්නයේම ගණදෙවි කෝවිලක් ද පිහිටා තිබේ. ගණ දෙවි කෝවිලේ පුසාරිවරයා විසින් භාවිතා කරනු ලබන සීනුවක් සහ කපුරු දමන පිත්තල භාජනයක් සොරකම් කළ බවට චෝදනා කරමින් කොකුවිල් පොලීසිය මගින් පත්තිනි දේවාලයේ පුසාරිවරයා සහ සහ දරුශාන් දරුවා ඉකුත් නොවැම්බර් 16 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් 17 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, පුසාරිවරයා රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර දරුශාන් දරුවා කල්මුනේ පරිවාස සහ ළමා රක්ෂක දෙපාර්මේන්තුවේ රඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව මඩකලපුව මහේස්ත්‍රාත් ‍අධිකරණයේදී මෙම දරුවා පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්මේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු වන වර්ධරාජන් ට භාර දි තිබේ. පසුව ඔහු මෙම දරුවා මඩකලපුව පරිවාස සහ ළමාරක්ෂණ අධිකාරියේ දිස්ත්‍රික් භාර නිලධාරියා වන සිවකුමාරන් වෙත භාර දී ඇති අතර සිවකුමාරන් විසින් මෙම දරුවා කල්මුනේ ඉස්ලාම්බාද් පිහිටා ඇති පරිවාස සහ ළමාරක්ෂණ අධිකාරියේ ළමා නිවාසයට භාර දි ඇත.

'එහෙම කරලා තියෙනවා නම් ඒක වැරදියි'

මියගිය දරුවාගේ පියාවන නාරයන ආනන්ද දේව කියා සිටියේ, “මගේ පුතා පරිවාසෙට දැම්මා කියල දන්නේ මම 20 වැනිදා. මම ඇවිත් පරිවාස නිලධාරියා වර්ධරත්නම් හමුවුණා. ඒයා කිව්වා පුතා සති දෙකකින් එනවා අපි ඊට පස්සේ දරුවා වෘත්තිය පුහුණුවකට යොමු කරලා පුහුණුව ඉවර උනාම භාර දෙන්නම් කියලා.පස්සේ මම වැඩ පලට ගියා 30 වෙනිදා මගේ ලොකු පුතා ඩියර්ෂන් කතාකරලා කිව්වා මල්ලි මැරිලා කියලා. ඊට පස්සේ තමයි මම කල්මුනේ පරිවාස එකට ගියේ.”

“එතැනදි මම දැක්කා පුතා ෂෙල් එකක් ඇතුළේ මැරිලා ඉන්නවා. පොලිස් සොකෝ එකෙන් ඇවිල්ලා පරීක්ෂණ කරනවා. ඒ වෙලාවේ මම දැක්කා පුතා ගේ එක කකුලක දණහිසට පහළින් ලොකු තුවාලයක් තියෙනවා.”

“මේ ළමා නිවාසයේදි දරුවට ගහලා තියෙනවා. මරණ පරීක්ෂණයේදි මම ඒක දැන ගත්තා එයාගේ කොන්දට ගොඩක් හානිවෙලා තියෙනවා.”ආනන්ද දේව කියා සිටියේය.

“මගේ දරුවට කොකුවිල් පොලිසියෙන් අසාධාරණයක් වුණා.මගේ පුතා පොලිසියට අරන් ගියාම මගේ නෝනා ගිහින් පොලිසියට බැනලා තියෙනවා ඒයා මානසික රෝගියෙක්. පස්සේ කොකුවිල් පොලිසියේ ස්ථානාධිපතිතුමා මගේ නෝනට ගහලා පන්නලා තියෙනවා. ඒ වගේම දරුවෙක් අත් අඩංගුවට ගත්තට පස්සේ වෛද්‍යවරයෙකුට දාලා තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. මගේ දරුවා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ වෛද්‍ය වාර්තා නැතිව මගේ දරුවා වෙද්‍යවරයෙකුට පෙන්නලා නැහැ.පොලිසිය ඇතුළේදි දරුවාට සලකලා තියෙන්නේ අමානුෂික විදියට.මගේ දරුවටයි පුසාරිටයි මාංචු දාලා බිම දණ ගස්සලා තියලා තියෙන්නේ පොලිසිය අත් අඩංගුවට ගත්ත අයට සලකන්නේ මෙහෙමද? දැන් මගේ දරුවට ආයෙත් පණ එන්නේ නැහැ. නමුත් අනිත් දරුවන්ට මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ.” ඔහු අවධාරණය කළේය.

“දරුවා මියගියාට පස්සේ අශ්රෝෆ් රෝහලට අරන් ගියා එතැන ඉදන් මරණ පරීක්ෂණයට අම්පාර රෝහලට ගෙනියන්න පරිවාස දෙපාර්මේන්තුවෙන් පොලීසියෙන් මට කිසිම උදව්වක් කරේ නැහැ. මගේ වියදමින් කාර්තිව් ප්‍රාදේශිය සභාවේ වාහනයකට සල්ලි දිලා තමයි දරුවාගේ සිරුර අම්පාරට අරන් ගියේ.”

“මගේ දරුවා අත් අඩංගුවට අරගෙන මගේ නෝනට ගහලා දරුවා තවත් කෙනෙක් එක්ක මංචු දාලා පොලිසියේ දණ ගස්සල තිබ්බා .පරිවාස ඉන්නකොට දරුවා මැරුනේ නමුත් මේ මරණය රෝහලට ගෙනියන්න කිසි කෙනෙක් උදව් කෙරේ නැහැ. මට පොලිසියෙන් සහ පරිවාස එකෙන් විශාල අසාධාරණ ගොඩක් වුණා. මම අලුත් පොලිස්පතිතුමාට කියනවා මේ ගැන පරීක්ෂණ කරන්න කියලා.” යැයි ආනන්ද දේව ප්‍රකාශ කළේය.

"අපි දරුවාගේ දේහය පොලිසිය ළඟට අරන් ගිහින් විරෝධය පෑවේ ඒක නිසා" යැයි හැඬු කදුලින් ඔහු පැවසීය.

මෙම ළමා පරිවාස නිවාසයේ රාත්‍රි මුරය සඳහා පැමිණි සහකාර නිවාස ආචාර්යවරයා පොලිසියට පවසා ඇත්තේ තමන් රාජකාරියට පැමිණෙන අවස්ථාවේ සිටම මෙම දරුවා නිදා සිටි බවය.

ඔහු සමග තවත් දරුවෙක් එම කාමරයේ සිටි බවත් ඔහු පවසා ඇත.රාත්‍රි කාලයේ අවස්ථා තුනකදි මෙම දරුවාගේ කාමරය පරික්ෂා කළ නමුත් ඒම සෑම අවස්ථාවකම ඔහු නිදා සිටි බවද ඔහු පැවසීය.

එදින අලුයම 5.30 ට පමණ මෙම දරුවාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා එහි සේවය කරන ආරක්ෂක නිලධාරියා සමග කාමරය පරීක්ෂා කරන අවස්ථාවේ දරුවා ගේ ඇස් භාගෙට පියවි තිබු අතර අතක් ඔසවා බැලිමේදි අත පහළට වැටුණු බවද ඔහු පැවසීය.

පසුව මේ බව නිවාස භාර පාලිකාවට දැනුම් දි පසුව කල්මුනේ පොලිසියට පැමිණිලි කළ බවද ඔහු සඳහන් කළේය.ඉන් අනතුරුව පොලිසිය පැමිණ මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ බවද එම නිලධාරියා පැවසීය.

මෙම දරුවාගේ මරණය පිළිබදව මඩකලපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ගෙන් බීබීසී සිංහල විමසීමක් කරනු ලැබිය. එහිදී එම නිලධාරියා පැවසුවේ “මෙම දරුවා පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේ නැහැ. ගමේ අය තමයි පොලිසියට ගෙනල්ලා දිලා තියෙන්නේ. ඒ අනුව තමයි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.මේ පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් පැමිණිලි කරන්න කියලා මම පවුලේ අයට කිව්වා නමුත් එහෙම පැමිණිල්ලක් නැහැ.”

“මෙම දරුවා බාල වයස්කාර දරුවෙක් ඒ දරුවා වැඩිහිටියෙක් සමග එකට මංචු දාලා පොලිසියේ දණ ගස්සලා තියෙනවා” යනුවෙන් බීබීසී සිංහල එම පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ “එහෙම එකක් මට වාර්තා උනේ නැහැ” යනුවෙනි.

“කිසිම අවස්ථාවක ළමයෙකුට එහෙම කරන්න බැහැ එහෙම කරලා තියෙනවා නම් ඒක වැරදියි. මම ඒ පිළිබඳව වහාම සොයා බලනවා” යැයි මේ පිළිබඳව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් බීබීසී සිංහල කළ විමසුමට ප්‍රතිචාර ලෙස ඔහු පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුයේ කුමක් ද?

මෙම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය කමල් බණ්ඩාර විසින්ය. දරුවාගේ සිරුරේ විශාල තැලුම් ප්‍රමාණයක් ඇති බවත් මෙම මරණය මොට ආයුධයකින් පහරදීමක් නිසා සිදුවී ඇති බවත් පටක පරීක්ෂණයකින් පසුව අවසන් තීන්දුව ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්මේන්තුවේ නැගෙනහිර භාර කොමසාරිස් රිස්වානි රිපාන්ගෙන් ද බීබීසී සිංහල මේ පිළිබඳව විමසනු ලැබීය.

“අපේ ළමා නිවාසයක් ඇතුළේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. අපි ඒ පිළිබඳව කණගාටුව පළ කරනවා. අපි දැන ගත්ත වෙලාවේ ඉඳන් පොලිසියට පැමිණිලි කරලා අවශ්‍ය කටයුතු කළා. සියලුම සහය දුන්නා.”ඇය පැවසුවාය.

“නමුත් දරුවාගේ සිරුර අම්පාර රෝහලට ගෙන යෑමට ප්‍රවාහන පහසුකම් නොදුන් බවට දරුවාගේ පියා චෝදනා කරනවා” බීබීසී සිංහල ඇයගෙන් විමසා සිටියාය.

“නැහැ. අපි ප්‍රවාහන පහසුකම් දෙන්න හදන කොට ළමයාගේ පියා කිව්වා ඒක සුදානම් කරා කියලා. අපි අපේ පැත්තෙන් කරන්න පුලුවන් හැම සහයෝගයක්ම දුන්නා. පොලිස් පරීක්ෂණවලට අපි උපරිම සහය දෙනවා.”යැයි ඇය පැවසුවාය.

වැඩිහිටියෙක් සමග එකට මංචු දමා දණ ගසා තැබිය හැකිද?

පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ දරුවෙක් වැඩිහිටියෙක් සමග එකට මංචු දමා දණ ගසා තැබිම කළ හැකිදැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි චන්ද්‍රසිරි විතානගේ ගෙන් ද බීබීසී සිංහල විමසිමක් කළේය.

"සාමාන්‍යයෙන් පොලිසිය කරන්නේ යම් වැරුද්දක් කළොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පමණයි. මොනම අවස්ථාවකවත් පොලිසියට දඬුවම් කරන්න බැහැ. ඔය කියන දරුවා වැඩිහිටියෙක් එක්ක එකට මංචු දාලා දණ ගස්වල තියෙනවා නම් පොලිසිය කරලා තියෙන්නේ වැරුදි වැඩක්. බාල වයස්කාර දරුවෙක් අත් අඩංගුවට ගත්තොත් කාන්තා නිලධාරිනියක් අනිවාර්යෙන් එයා එක්ක සිටිය යුතුයි. ඒක තමයි පොලිසියක වෙනම ළමා සහ කාන්තා කාර්යංශයක් තියෙන්නේ.” යැයි ඔහු පැවසීය.

දරුවා මඩකලපුවේ වුණත් ඔහු මියගියේ අම්පාර දිස්ත්‍රිකක්යේ නිසා දැනට පොලිස් පරීක්ෂණ පවත්වන්නේ කල්මුනේ පොලිස් ස්ථානය යටතේය. දැනට පරිවාස නිවසය භාර පාලිකාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කල්මුනේ පොලිස් ස්ථානයේ නිලධාරින් මෙම නිවාස පාලිකාවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි මෙම දරුවාට කොසු මිටකින් පහරදුන් බවත් එය කැඩුණු පසු විකට් පොල්ලකින් පහරදුන් බවත් ඇය පිළිගෙන ඇතැයි විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.

වරද කාගේද?

මෙම දරුවාගේ මරණය සමග හෙළිවන තවත් කාරණයක් පිළිබඳව සැලකිලිමත්විය යුතුව තිබේ.

මෙම දරුවා පාසල් ගමන අත් හරිනු ලබන්නේ 2019 වසරේදීය. වසර හතරක් යනතුරු ඔහු කර ඇත්තේ පත්තිනි දේවාලයේ පුජාව තැබීමට අත්උදව් කිරීමය.

දරුවන්ගේ ළමා කාලය මේ අයුරින් ගෙවීමට කටයුතු සිදුවන්නේ දෙමව්පියන් මෙන්ම දරුවන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හා ආයතන රැසක් තිබියදීය.

පොලිස් ළමා සහ කාන්තා කාර්යංශය, අධ්‍යාපන දෙපාර්මේන්තුව, ළමා රක්ෂක අධිකාරිය, පරිවාස දෙපාර්මේන්තුව යනු එවැනි ආයතන කිහිපයකි. දෙමව්පියන් විසින් තම දරුවන් රැකබලා ගැනීමේ වගකීම මෙන්ම අදාළ ආයතන ද තම වගකීම නිසි ලෙස ඉටු කළේ නම් දරුශාන් අදට ජීවත් වීමට ඉඩ තිබුණි.