ජනපතිගේ ජපාන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මොනවා ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරය අවසන් කළ ජනාධිපති අනුර කුමාර දිසානයක ඉන් අනතුරුව ජපානය බලා පිටත් ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Foreign Affairs of Japan

    • Author, බීබීසී සිංහල

එක්සත් ජනපදයේ නිල සංචාරය අවසන් කළ ජනාධිපති අනුර කුමාර දිසානයක ඉන් අනතුරුව ජපානය බලා පිටත්ව ගියේ ය.

ජපානයේ ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබී ය.

දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡා ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ආදී කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි අවධානය යොමු වූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

දෙරට අතර ඇති වූ ගිවිසුම් මොනවා ද?

ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමෝටෝ සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගිවිසුම්වලට අත්සන් තැබූ අයුරු...

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Foreign Affairs of Japan

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමොතෝ සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගිවිසුම්වලට අත්සන් තැබූ අයුරු...

දෙපාර්ශවය අතර සංවර්ධන සහය තවදුරටත් පිළිබිඹු කරමින් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද මෙහිදී සිදුව ඇත.

ඒ අනුව, කිරි නිෂ්පාදන අංශයේ ඵලදායීතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට අනුව අදාළ ගිවිසුම්වලට ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමොතෝ සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගිවිසුම්වලට අත්සන් තැබූහ.

ඒ අනුව, ආරක්ෂක ආධාර ගිවිසුම යටතේ යෙන් මිලියන 500ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1) වටිනාකමකින් යුත්, ජපානයේ නිෂ්පාදිත අතිනවීන මිනිසුන් රහිත ගුවන් යානා (UAV) දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට, කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කිරි නිෂ්පාදන අංශයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා වන ප්‍රදාන ආධාර ව්‍යාපෘතිය යටතේ, යෙන් මිලියන 463ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 945) මුදලකින්, මධ්‍යම පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත, උතුරු මැද පළාත සහ වයඹ පළාතේ පශු සම්පත් පහසුකම් සඳහා තථ්‍ය කාලීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා (PCR) උපකරණ, ශුක්‍රාණු චලන විශ්ලේෂක පද්ධතිය සහ රෝද හතරේ ට්‍රැක්ටරය වැනි උපකරණ මෙන් ම තාක්ෂණික සහය මෙරටට හිමි වනු ඇත.

'ජපානය සමග එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවනවා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාව සමග හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව නිල හමුවෙන් පසුව පැවැත්වූ ඒකබද්ධ මාධ්‍ය හමුවේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා පවසා ඇත.

එම මාධ්‍ය හමුවේදී අදහස් දකවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ ශක්තිමත් පුද්ගල සබඳතා මත පදනම් වී තිබෙන බව ය.

ජපාන අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එම එකඟතාවල සැබෑ ප්‍රතිලාභ අත්කර ගනිමින් සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් යන ගමනේදී ජපානය සමග එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජපාන රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම වෙනුවෙන් ජපන් රජය දැක් වූ සහය මෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ද, ජපාන රජය වෙත ස්තූතිය පළ කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මුදල් ඇමති හා ආරක්ෂක ඇමති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු අතර ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙන්ම, ජපන් ආධාර /JICA සහයෝගීතාව යටතේ දැනට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමුව තිබේ.

දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී.එම්. නකතානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සිදුවූ හමුවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සිදුවූ හමුවේ දී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Japan Ministry of Defense

ඒකාබද්ධ ප්‍රකාශයේ තිබූ කරුණු මොනවා ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශවය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර එම ඒකබද්ධ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙසේ ය,

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර ස්ථාපනය කර ඇති ගැඹුරු සහ පුළුල් විස්තීර්ණ හවුල්කාරීත්වයේ රාමුව යටතේ ආරක්ෂාව, ආර්ථිකය, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශවයට ම ඇති අරමුණ පිළිබඳව දෙපාර්ශවය ම නැවත තහවුරු කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව අගමැති ඉෂිබා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දක්වන බව යළි අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, නිල ණය හිමි කමිටුවේ (OCC) සම සභාපතිවරයෙකු ලෙස ජපානය ලබා දුන් නායකත්වයට හා මෙම වසරේ මාර්තු මාසයේදී නිල ණය හිමි කමිටුවේ සාමාජික රටක් සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කළ පළමු නිල ණය හිමි කමිටුවේ සාමාජිකයා ජපානය වීම සම්බන්ධයෙන් ජනාධිපති දිසානායක ස්තුතිය පළ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන යටතේ විවිධ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් යථා තත්ත්වයට පත් වන බවට දෙපාර්ශ්වය ම පිළිගෙන ඇත. ණය තිරසරභාවය සහ විනිවිදභාවය සැලකිල්ලට ගනිමින් විදේශ ණය ලබා දීමේ වැදගත්කම දෙපාර්ශවය ම තහවුරු කර තිබේ.

2024 වසරේදී, අනෙකුත් ණය හිමි රටවලට පෙර, පෙර අත්සන් කර තිබූ 'යෙන්' ණය ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කිරීම ඇතුළුව ජපානය ලබා දුන් අඛණ්ඩ සහයෝගයට ජනාධිපති දිසානායක කෘතඥතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ (අදියර 2) ලංසු තැබීම නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වූ අතර, අදාළ ක්‍රියාවලිය ඉක්මනින් නිම කිරීම සඳහා දෙරට අතර ඇති කැපවීම තහවුරු කළේ ය. සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සහ භෞමික රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම ඇතුළුව දැනටමත් පවතින 'යෙන්' ණය ව්‍යාපෘති ස්ථාවරව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද දෙපාර්ශවය ම තහවුරු කර ඇත.

කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් කර ගත් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කිරි අංශයේ ඵලදායීතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයේ ආධාර සම්බන්ධයෙන් වන හුවමාරු පත්‍ර අත්සන් කිරීම සහ හුවමාරු කර ගැනීම දෙපාර්ශවය ම පිළිගෙන ඇත. ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික සංවර්ධනය සඳහා, කොළඹ වැනි ප්‍රධාන නගරවල නාගරික ගමනාගමනය විධිමත් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රවාහන විසඳුම් සංවර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශවය ම තහවුරු කර තිබේ.

"අපනයන පදනම් කර ගත් කාර්මික කොරිඩෝවක් ගොඩනැගීම" පිළිබඳ සංකල්පීය සැලැස්ම මත පදනම්ව ජපන් ආයෝජන සමඟ අපනයනය ශක්තිමත් කිරීමට සහ වැඩි දියුණු කිරීමට ඇති ක්‍රම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය ම එකඟ වී ඇත. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා කර්මාන්ත සහ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ හැකියාවන් ඒකාබද්ධව ගවේෂණය කරන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය නැවත ආරම්භ කිරීමට දෙපාර්ශවය ම එකඟ වී ඇත. වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රවල ඇති සැලකිය යුතු අවස්ථා දෙපාර්ශවය ම සඳහන් කළ අතර විනිවිදභාවය, පුරෝකථනය කිරීමේ හැකියාව සහ වෙනස් කොට සැලකීමකින් තොරව සැලකීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම තහවුරු කර තිබේ. ඒ අනුව, කාර්තුමය පදනමක් මත පැවැත්වීමට නියමිත ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව මෙම වසරේ අගෝස්තු මාසයේදී දියත් කිරීම පිළිබඳව දෙපාර්ශවය ප්‍රසාදය පළ කළහ.

වත්මන් රජය තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික පරිසරයේ ඇතිවෙමින් පවතින ගුණාත්මක වෙනස පිළිබඳව ජනාධිපති දිසානායක මහතා අදහස් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පවතින අවස්ථා ගවේෂණය කර ඉහළ විභවයක් ඇති අංශ කිහිපයක ආයෝජනය කරන ලෙස ඔහු ජපන් සමාගම්වලට ආරාධනා කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Foreign Affairs of Japan

වත්මන් රජය තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික පරිසරයේ ඇති වෙමින් පවතින ගුණාත්මක වෙනස පිළිබඳව ජනාධිපති දිසානායක අදහස් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ පවතින අවස්ථා ගවේෂණය කර ඉහළ විභවයක් ඇති අංශ කිහිපයක ආයෝජනය කරන ලෙස ඔහු ජපන් සමාගම්වලට ආරාධනා කර තිබේ.

ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ නිවාරණ හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැදගත්කම දෙපාර්ශවය ම තහවුරු කළහ. මෙම දෘෂ්ටිකෝණයෙන්, ශ්‍රී ලංකාව සඳහා වන පළමු නිල ආරක්ෂණ ආධාර ව්‍යාපෘතිය (OSA) හරහා සමුද්‍රීය නිරීක්ෂණ සහ ආපදා සහන හැකියාවන් වැඩි දියුණු කිරීමට අදාළව දියුණු මිනිසුන් රහිත ජපන් ගුවන් වාහන (UAV) සැපයීම දෙපාර්ශවය ම පිළිගෙන ඇත.

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ (JMSDF) යාත්‍රා මගින් වරාය ඇමතුම් (Port calls) සහ JMSDF සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ඒකාබද්ධ අභ්‍යාස හරහා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවයේ ස්ථාවර ප්‍රගතිය දෙපාර්ශවය ම අගය කර ඇත. මෙම වසරේ මැයි මාසයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය නකතානි ජෙන් ශ්‍රී ලංකාවට කළ සංචාරයේදී, දෙවන ජපන්-ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය කැඳවීම පිළිබඳව තීරණයක් ගන්නා ලද අතර, දෙරට අතර මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම දෙපාර්ශ්වයම තහවුරු කර තිබේ.

දූෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දැක්වීමට අදහස් කරන බවට අග්‍රාමාත්‍ය ඉෂිබා ප්‍රකාශ කර ඇත. ගැටුම්වලින් පීඩාවට පත්වූ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාවන්ගේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ වැදගත්කම ගැන දෙපාර්ශවය ම තහවුරු කර තිබේ. ජාතික සංහිඳියාව සහ සමාජ-ආර්ථික සංවර්ධනය සමීපව අන්තර් සම්බන්ධිත බව මතක තබා ගනිමින්, උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජපානයේ සහයෝගය අඛණ්ඩව ලබා දීමේ කැපවීම අග්‍රාමාත්‍ය ඉෂිබා නැවත තහවුරු කළේ ය.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන ජපානය, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව ජනාධිපති දිසානායක කෘතඥතාව පළ කළේ ය. බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ජපානයේ සහය, "බිම්බෝම්බ බලපෑම්වලින් තොර ශ්‍රී ලංකාවක්" යන සමස්ත ඉලක්කයට සැලකිය යුතු දායකත්වයක් සපයන බවත්, ජාතික සංහිඳියාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බවත්, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රජා බලගැන්වීම සහ පශ්චාත් ගැටුම් සමථයකට පත්වීම සඳහා සහය වන බවත් පිළිගෙන ඇත.

දෙපාර්ශවය ම කුසලතා පූර්ණ මානව සම්පත් ඇතුළුව ජනතාව - ජනතාව අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සාකච්ඡා කළ අතර, දෙරට අතර භාෂා අධ්‍යාපනය, සංස්කෘතිය සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එකඟ වී ඇත. අන්‍යෝන්‍ය සංස්කෘතික අවබෝධය වර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය ම පිළිගත් අතර මේ සම්බන්ධ ප්‍රයත්න ඉදිරියට ගෙන යෑමේ රජයන් දෙකෙහි ම අභිප්‍රාය නැවත තහවුරු කර තිබේ.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව දෙපාර්ශවය ම අදහස් හුවමාරු කර ගෙන ඇත. නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ ජපානයේ දැක්ම තුළ කලාපය තුළ ජපානයේ වැදගත් කාර්ය භාරය පිළිබඳව නැවත අවධාරණය කරමින්, රීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩ සහයෝගීතාවේ අවශ්‍යතාව දෙපාර්ශවය ම නැවත තහවුරු කර ඇත. බහුපාර්ශ්විකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සහයෝගය ද දෙපාර්ශවය ම නැවත අවධාරණය කර තිබේ.

සමුද්‍රීය ජාතීන් ලෙස, දෙපාර්ශවය ම සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ නාවික කටයුතු සහ ගුවන් ගමන් නිදහස පවත්වා ගැනීමේ වැදගත්කම නැවත තහවුරු කෙරිණි. එසේ ම, ස්ථාවර හා සාමකාමී ජාත්‍යන්තර සමුද්‍රීය පිළිවෙළක් පවත්වා ගැනීම සඳහා 1982 එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතියෙන් (UNCLOS) පිළිබිඹු කරන ජාත්‍යන්තර නීතියට ගරු කිරීමේ සහ පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

ධනාත්මක ලෙස අන්තර් රාජ්‍ය සාකච්ඡා සඳහා සම්බන්ධ වීම තුළින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මුල් ප්‍රතිසංස්කරණයක් සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාව දෙපාර්ශවය ම නැවත අවධාරණය කළේ ය. ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වයක් ලබා ගැනීම සඳහා ජපානය ගත් උත්සාහයට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව අගමැති ඉෂිබා සිය කෘතඥතාව පළ කර තිබේ.