මත්පැන් පානයෙන් පසු ඇතිවන විඩාව (Hangover) සඳහා අවසන් ප්‍රතිකාරය කුමක් ද?

    • Author, The Food Chain
    • Role, බීබීසී ලෝක සේවය

සැමරුම් සාද රාත්‍රියකින් පසු, ඔබ කෙඳිරිගාමින් සහ පෙර දා රාත්‍රියේ ඔබ සිදු කළේ කුමක්ද යන්න ගැන කුතුහලයෙන් අවදි විය හැකිය.

මතකය දුර්වල වීම, හිසරදය, උදාසීනත්වය සහ ඔක්කාරය අධික කුසගින්න සමඟ කුරිරු ලෙස ඒකාබද්ධ වී තිබේ. ඔබ ඒවා ලැයිස්තුගත කළ විට, එම රෝග ලක්ෂණ භයානක නව රෝග තත්ත්වයක් පිළිබඳ විස්තර කළ හැකිය.

නමුත් ඇත්ත වශයෙන්ම, මෙය සාමාන්‍ය හැන්ගෝවර් තත්ත්වයක් පමණක් වන අතර එය ඕනෑම කෙනෙකු ක්ෂණික කෝපයට පත් කළ හැකිය.

ආශ්චර්යමත් පිළියමක් සඳහා බොහෝ දෑ ගැන කියවුන ද, විශේෂඥයින්ට අනුව සැබවින්ම උපකාරී විය හැකි ආහාර සහ පාන වර්ග මෙහි දැක්වේ.

රුධිරයේ මත්පැන් ශුන්‍ය වීම

ඔබ කුමක් සිතුව ද, ඔබේ හැන්ගෝවර් තත්ත්වයට හේතුව ඉතිරි වූ මත්පැන් නොවේ. නමුත් ඔබේ ශරීරය එයට දක්වන අඛණ්ඩ ප්‍රතිචාරයයි.

ඇත්ත වශයෙන්ම, රෝග ලක්ෂණ ඇති වන්නේ "ඔබේ රුධිරයේ මධ්‍යසාර මට්ටම ශුන්‍යය තත්ත්වයේ පවතින විට හෝ ශුන්‍ය තත්ත්වයට ළඟාවෙමින් පවතින කොට" යනුවෙන් එක්සත් රාජධානියේ නොර්තුම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ මානව මනෝ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය සහ ඇල්කොහොල් හැන්ගෝවර් පර්යේෂණ කණ්ඩායමේ සාමාජික ඇන්ඩෲ ස්කෝලි පැහැදිලි කරයි.

අපගේ ශරීරය මත්පැන්, විෂ සහිත අතුරු නිෂ්පාදන බවට පත් කරන අතර, එය අපගේ රුධිරය තුළින් ශරීරය පුරා ගමන් කරයි.

"මධ්‍යසාර කියන්නේ විෂ ද්‍රව්‍යයක් නිසා, ශරීරය දක්වන ප්‍රදාහක ප්‍රතිචාරය ඉහළ දමනවා" මහාචාර්ය ස්කෝලි බීබීසී ලෝක සේවයේ වැඩසටහනක් වන The Food Chain වෙත පවසයි.

ආසාදනයකට එරෙහිව සටන් කරන විට මෙන් ප්‍රෝටීන් මුදා හරින අතර මේවායින් බොහොමයක් මොළයේ ක්‍රියාකාරිත්වයට බලපායි.

අධ්‍යයනවලින් පෙනී යන්නේ හැන්ගෝවර් තත්ත්වය නිසා රියදුරෙකුගේ කාර්ය සාධනය මත්පැන් තරම් ම නරක අතට හැරිය හැකි බවයි. එයින් අදහස් වන්නේ ඔබ හැන්ගෝවර් තත්ත්වයේ සිටින විට, ඔබේ රුධිරයේ මධ්‍යසාර අංශු මාත්‍රයක් නොතිබුණද, ඔබ බීමත් රියදුරෙකු මෙන් හැසිරිය හැකි බවයි.

නමුත් ඇතැම් පුද්ගලයින් අනෙක් පුද්ගලයින්ට සාපේක්ෂව හැන්ගෝවර් තත්ත්වයෙන් අඩුවෙන් පීඩා විඳින බවට ඇති අදහසෙහි යම් සත්‍යතාවයක් තිබේ.

අඩුවෙන් මත්පැන් පානය කිරීමට හෝ එය සෙමින් පානය කිරීමට ඇති ප්‍රවණතාවයට අමතරව, එය බිඳ දමන එන්සයිමවල ජානමය වෙනස්කම් ද ඇති බව මහාචාර්ය ෂෝලි පැහැදිලි කරයි.

''මධ්‍යසාර ඉක්මනින් බිඳ දමන ජාන ඇති පුද්ගලයින්ට දරුණු හැන්ගෝවර් තත්ත්වය අවම වීමේ නැඹුරුවක් තිබෙනවා" ඔහු පවසයි.

සුවය ලැබීමේ ක්‍රියාවලිය

මහාචාර්ය ශෝලි පවසන්නේ ඔහුගේ කණ්ඩායම හැන්ගෝවර් ප්‍රතිකාර ලෙස අලෙවි කෙරෙන බොහෝ නිෂ්පාදන පරීක්ෂා කළ අතර කිසිවක් විද්‍යාත්මක අධ්‍යයනවලින් තහවුරුකර නොමැති බව සොයා ගෙන ඇති බවත්ය.

"අවාසනාවකට මෙන්, විටමින් අතිරේක හෝ ඉලෙක්ට්‍රොලයිට් හෝ විටමින් කොක්ටේල් වැනි සාමාන්‍යයෙන් නැඹුරුතාවක් පවතින හැන්ගෝවර් ප්‍රතිකාර සම්බන්ධයෙන් සාක්ෂිවලට වඩා විශාල අලෙවිකරණයක් පවතිනවා.'' ඔහු පවසයි.

ඒ සඳහා කිසිඳු මැජික් පෙත්තක් නොමැති අතර, ඔහුට අවශ්‍ය වන්නේ සුවවීමේ ක්‍රියාවලිය සඳහා දැඩි උත්සාහයක් දැරිය යුතු බව ජනතාව අවබෝධ කර ගැනීමයි. අප ආහාරයට ගන්නා සහ පානය කරන දේ ගැන සැලකිලිමත් වීම ඊට ඇතුළත් වේ.

ශරීරයේ ප්‍රදාහක ප්‍රතිචාරය තවත් නරක අතට හැරෙන ක්ෂණික ආහාර ලබා ගැනීම සඳහා හැන්ගෝවර් අපට ආශාවක් ඇති කළ හැකිය.

මේවා ප්‍රදාහක ගුණයෙන් යුක්ත වන අතර, මත්පැන් නිසා ඇතිවන පරිවෘත්තීය බිඳවැටීමෙන් ඔබට දැනටමත් ඇති වන ප්‍රදාහයට එකතු වේ. "එබැවින් ඒවා වළක්වා ගත යුතුය," මහාචාර්ය ෂෝලි පවසයි.

වැඩිපුර ජලය පානය කිරීම පිළිබඳ කිව හැක්කේ කුමක්ද?

ඇතැමුන් පවසන පරිදි මෙය "විෂ ඉවත් නොකරයි".

"හැන්ගෝවර් රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා බොහෝ පුද්ගලයින් ජලය පානය කිරීමේ අදහස මත විශ්වාසය තැබුව ද, ඒවා හැන්ගෝවර් අඩු කරන බවක් නොපෙනේ," මහාචාර්ය ෂෝලි පවසයි.

"නමුත් එය රෝග ලක්ෂණ වලින් එකක් වන පිපාසය සඳහා විසඳුමක් වේවි" ඔහු පෙන්වා දෙයි.

පැරගුවේහි ලියාපදිංචි පෝෂණවේදිනියක වන මාරිසා මෝල් පවසන්නේ පිපිඤ්ඤා, සැල්දිරි, පොල් වතුර, කොළ ඇපල්, parsley සහ ඉඟුරු මිශ්‍ර "ග්‍රීන් ජූස්" සමඟ නැවත සජලනය වීමට ඇය කැමති බවයි.

"ඉඟුරු ඔක්කාරයට ඇත්තෙන්ම ඉතා හොඳයි," ඇය උපදෙස් දෙයි.

ඔබේ තෘප්තියට පෙර

මත්පැන් පානයට පෙර සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග කිහිපයක් අනුභව කිරීමෙන් හැන්ගෝවර් වළක්වා ගත හැකි බව යන්නට විශේෂඥයින් දෙදෙනාම එකඟ වෙති.

කුකුළු මස් හෝ බිත්තර වැනි ප්‍රෝටීන් ඉහළ ආහාර සහ අලිගැට පේර සහ ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද මෝල් විසින් නිර්දේශ කරනු ලබයි.

"ඔබට අලිගැට පේර මිශ්‍රණයක් සාදා ඔලිව් තෙල් එකතු කර ගන්න පුළුවන් - ඔබට එය සෝස් සමග කුකුළු මස් කනවා වගේ කන්න පුළුවන්" ඇය යෝජනා කරයි.

"ඔබ මත්පැන් පානය ක‍රන්න කලින් නිවැරදි ආකාරයේ ආහාර වේලක් අනුභව කරනවා නම්, එමගින් රුධිරයට ඇතුළු වන මධ්‍යසාර ප්‍රමාණය අඩකින් අඩු කර ගන්න පුළුවන්," මහාචාර්ය ස්කෝලි පැහැදිලි කරයි, මන්ද මධ්‍යසාර බිඳ දමන එන්සයිම බඩවැල් වලින් ශරීරයේ අනෙකුත් කොටස් වලට පිටවීමට පෙර ක්‍රියා කළ හැකි බැවින් ය.

ඔහු පවසන්නේ මෙම ආහාර ක්ෂුද්‍ර ජීවීන් සමඟ ක්‍රියා කරන ආකාරය මත ද එය රඳා පවතින බවයි, එය දැන් වඩා හොඳින් තේරුම් ගැනීමට පටන් ගෙන ඇත.

නමුත් අවසානයේ පවතින එකම සැබෑ හැන්ගෝවර් ප්‍රතිකාරය වන්නේ පළමු අවස්ථාවේදී ම බොහෝසෙයින් මධ්‍යසාර පානය නොකිරීමයි.

"හැන්ගෝවර් වළක්වා ගැනීමේ ස්ථිර, ආරක්ෂිත, සාර්ථකම ක්‍රමය එයයි," මහාචාර්ය ස්කෝලි පවසයි.