සති ගණනක විරෝධතා සහ අගමැතිනිය නෙරපා හැරීමෙන් පසුව, බංගලාදේශයේ මීළඟට සිදුවන්නේ කුමක්ද?

    • Author, සුවෝජිට් බැග්චී සහ විනීට් කාරී
    • Role, බීබීසී හිංදි

පසුගිය සති තුනක කාලය තුළ බංගලාදේශයේ පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් මිය යාම දේශපාලන කැලඹීමකට හේතු වී තිබේ.

දීර්ඝ කාලයක් බංගලාදේශයේ අගමැතිනිය වූ ෂීක් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලා ගොස් ඇතැයි වාර්තා වන අතර, නව රජයක් පිහිටුවීමට හැකිවන පරිදි බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ෂෙයික් හසීනා, මිලියන 170 ක ජනගහනයක් වාසය කරන බංගලාදේශය, 2009 වසරේ සිට පාලනය කළ අතර, සිවිල් සේවා කෝටාවන් අහෝසි කිරීමට විරුද්ධව ඇරඹි විරෝධතා ව්‍යාපාරය, ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා ව්‍යාපාරයක් දක්වා වර්ධනය වීමෙන් පසුව ඇයව බලයෙන් නෙරපා හැරිණි.

එහෙත් එයින් ප්‍රචණ්ඩත්වය නතර වී නොමැත.

දකුණු බංගලාදේශයේ නෝකාලි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළුව අවම වශයෙන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර තිබේ. රට පුරා සිය ගණනක් තුවාල ලබා ඇත. බොහෝ දෙනෙකුට වෙඩි තබා තිබේ.

ෂෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගයේ ඉහළ තනතුරු දරන කිහිප දෙනෙකුටම පහර දී ඇති බව වාර්තා වේ. බොහෝ දෙනෙකු ඝාතනය කර තිබේ.

මේ අතර, බංගලාදේශයෙන් පළා යාමෙන් පසුව හසීනාගේ ස්ථිර ගමනාන්තය තවමත් හෙළිවී නො මැත. මක්නිසාද යත් හිටපු අගමැතිනියට සරණාගතභාවය ලබා දීමට සූදානම් බවට කිසිදු රටක් මේ දක්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නො මැති බැවිනි.

මේ මොහොතේ බංග්ලාදේශය ඇත්තේ විශාල කැළඹීමක වන අතර රටේ අනාගතය අවිනිශ්චිත සහ අභියෝගාත්මක බව පෙනේ.

'දේශපාලන රික්තකයක්'

"හසීනා සහ ඇගේ පක්ෂය වසර 15ක් තිස්සේ බංගලාදේශ දේශපාලනයේ ආධිපත්‍යය දැරුවා. ඇයගේ නෙරපා හැරීමෙන් විශාල දේශපාලන රික්තයක් රට තුළ ඇති වී තිබෙනවා. එය දැන් නොසන්සුන් බවින් පිරෙමින් තිබෙනවා " වොෂින්ටනය පදනම් කරගත් විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියානු ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් කුගල්මන් BBCයට පැවසුවේ ය.

"දුර්වල හා බෙදුණු බංගලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP), කුඩා පක්ෂ සමූහයක්, නොසන්සු බව පෙන්වන මිලිටරියක් ආදිය බොහෝ කලකට පෙර පැවති ආකාරයේ කේන්ද්‍රීය දේශපාලන භූමිකාවක යෙදීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා.ඒ වගේම විරෝධතා නායකත්වය තවමත් දේශපාලනිකව තම මාවත සොයා ගැනීමට උත්සාහ කරමිනුයි සිටින්නේ..," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

රට සාමකාමී සංක්‍රාන්තියක් කරා ගමන් කරන අතර තවදුරටත් අස්ථාවරත්වය ඇති වීමේ අවදානම අඩු වනු ඇතැයි යන්න බාහිර ලෝකයේ බලාපොරොත්තුව වී තිබේ.

"අන්තර්කාලීන ආන්ඩුව තුළත් දේශපාලන නොවන නියෝජනයක් ඉල්ලා සිටිනවා. එමගින් වත්මන් දේශපාලන අස්ථාවරත්වයත් යම් තරමකට සමතුලිත කළ හැකි බැවින් එය නුවණැති අදහසක් වෙන්න පුළුවන්..." කුගල්මන් පැවසුවේ ය.

රටේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන වකර්-උස්-සමාන් දැනටමත් අන්තර්වාර රජයක් යෝජනා කර ඇත. එහි ව්‍යුහය සහ සංයුතිය තවමත් අපැහැදිළි ය. එමෙන් ම විරෝධතා අතරතුර සිදුවූ මරණ සම්බන්ධයෙන් සොයා බලන බවද ඔහු කියා තිබේ.

රටේ අනාගතය සම්බන්ධයෙන් හමුදාවේ භූමිකාවද තවමත් අපැහැදිළි ය. 1971 වසරේ බංගලාදේශය පිහිටුවීමේ සිට මේ දක්වාම එහි ඉතිහාසය හමුදා කුමන්ත්‍රණවලින් පිරී තිබේ.

ශිෂ්‍ය නායකයින් විසින් දැනටමත් හමුදා පාලනය ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති අතර ඇතැමුන් තමන් ද නියෝජනය විය යුතු බව ඉල්ලා තිබේ.

රට තුළ සාමය සහ සාමය ස්ථාපිත කිරීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වී ඇති අතර, ඔවුන් ඒ සඳහා හමුදාව ඇතුළු බලධාරීන් මත විශ්වාසය තබති.

මොහොමඩ් යූනුස් යනු කවුද?

මේ සියල්ල සිදුවන අතරේ, නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන මොහොමඩ් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වීමට එකඟ වී තිබේ.

විවිධ පාර්ශවකරුවන් සමඟ පැවති රැස්වීම් මාලාවකින් පසුව, ප්‍රධාන ශිෂ්‍ය සම්බන්ධීකාරකවරුන් දෙදෙනෙකු වන මොහොමඩ් නහිඩ් ඉස්ලාම් සහ අබු බකර් මසුම්දාර් විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී.

“අපගේ අන්තර්වාර රජය යෝජනා කිරීමට අපි පැය 24ක් ගත කළා. හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන, අපි දැන් එහි දළ සටහන නිවේදනය කරනවා. නොබෙල් ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කර අන්තර්කාලීන රජයක් පිහිටුවීමට අපි තීරණය කර තිබෙනවා. ඔහු ජාත්‍යන්තරව කීර්තියට පත් වූ අයෙක් යැයි නායකයන් විසින් කළ නිවේදනයේ සඳහන් විය.

"අපි දැනටමත් ආචාර්ය යුනුස් සමඟ සාකච්ඡා කර ඇති අතර, බංගලාදේශය බේරා ගැනීම සඳහා කැපවන ශිෂ්‍ය ප්‍රජාවගේ කැඳවීම මත ඔහු මෙම තීරණාත්මක වගකීම භාර ගැනීමට එකඟ වී තිබෙනවා" යි නිවේදනයේ කියැවිනි.

මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට උපකාර වන ආකාරයේ පුරෝගාමී ක්ෂුද්‍ර මූල්‍ය ණය පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහාචාර්ය යුනුස්ව ජාත්‍යන්තරයේ හැඳින්වෙන්නේ "දුප්පතුන්ගේ බැංකුකරු" යන ගෞරවනීය නාමයෙනි.

ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය යුනුස්ට සහ ඔහුගේ ග්‍රාමීන් බැංකුවට 2006 වසරේදී නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කෙරුණි.

ඔහුට එරෙහිව කම්කරු නීති උල්ලංඝණය කිරීම් සහ දූෂණ චෝදනා සියයකට වඩා මේ වනවිට එල්ල වී ඇති බව ඔහුගේ ගේ නීතීඥයින් පවසයි. එහෙත් යුනුස්ට සහය පළ කරන්නන්ට අනුව මේ සියලු චෝදනා දේශපාලන පළිගැනීම් මත එල්ල වන චෝදනා ය.

හිටපු අගමැතිනි හසීනා ෂෙයික් වරක් මහාචාර්ය යුනුස්ව දුප්පතුන්ගේ "ලේ උරා බොන්නෙකු" ලෙස හැඳින්වූ අතර ග්‍රාමීන් බැංකුව අධික පොලී අනුපාත අය කරන බවට චෝදනා කළා ය.

ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරයි

බංගලාදේශයේ තත්ත්වය පිළිබඳව එරට විශාලම අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ඉතා විමසිල්ලෙන් බලා සිටියි.

84 හැවිරිදි මහාචාර්ය යුනුස් විසින් කරන පළමු ප්‍රකාශය ඇසීමට ඔවුන් එතරම් උද්‍යෝගයක් නො පෙන්වනු ඇතැයි සිතීම සාධාරණ ය.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ බංගලාදේශයේ විරෝධතා "'අභ්‍යන්තර කටයුතු'' ලෙසට හඳුන්වමින් ඉන්දියාව විසින් නිකුත් කළ ප්‍රකාශයෙන් තමා කනස්සලට පත් වූ බවයි.

හසීනා ඉන්දියාවට සමීප කාන්තාවක් ලෙස සැලකෙන අතර පසුගිය වසර කිහිපය තුළ ඇය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ඉන්දියාව විසින් කර ඇති ආයෝජන සංඛ්‍යාව විශාල ය.

"මේ සිදුවීම අභ්‍යන්තර කටයුත්තක් ලෙසට ඉන්දියාව ප්‍රකාශ කිරීම මට සිත් වේදනා ඇති කරවනවා. මගේ සහෝදරයාගේ ගෙදර ගින්නක් ඇති වුණහොත් මම එය ඔවුන්ගේ ප්‍රශ්නයක් යයි කියන්නේ කොහොමද? ඒක ඔවුන්ගේ අභ්‍යන්තර කටයුත්තක් කියනවාට වඩා රාජ්‍ය තාන්ත්‍රිකව කළ හැකි වෙනත් යහපත් ප්‍රකාශ බොහොමයක් තිබෙනව." යුනුස් ඉන්දීය පුවත්පත්වලට ප්‍රකාශ කළේ ය.

නිර්නාමික ලෙස අදහස් දැක්වූ බංගලාදේශයේ විශ්ලේෂකයෙකු පැවසුවේ “ඉදිරි මාස සහ වසරවලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන අන්තර්වාර රජයේ ප්‍රධානියා, සිය ධුර කාලය ඉන්දියාවට එරෙහි ප්‍රකාශයකින් ආරම්භ කිරීම හොඳ ලකුණක් නොවන බවයි..."

ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන පක්ෂ, ශිෂ්‍ය නායකයින්, සිවිල් සමාජ නියෝජිතයන් සහ හමුදාව සමඟ සාකච්ඡා කර මහාචාර්ය යුනුස් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව අන්තර්වාර කැබිනට් මණ්ඩලය පිහිටුවීමත් සමඟ ප්‍රචණ්ඩත්වය පහව යනු ඇතැයි නිරීක්ෂකයෝ විශ්වාස කරති.

ඉන්දියාව සිය බලපෑම් කලාපය ලෙස සලකන දකුණු ආසියාව තුළ, සිය ආධිපත්‍යය පතුරවමින් චීනය පෙන්වන ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලනික වර්ධනය පිළිබඳව ඉන්දියාව තුළ කනස්සල්ලක් ඇති වී තිබේ. ඉන්දියාවට බංගලාදේශය යනු හුදු අසල්වැසි රටක් පමණක් නොවේ. එය උපායමාර්ගික හවුල්කරුවෙකු සහ සමීප සගයෙකි.

ඉන්දියාව බංගලාදේශයේ සිදුවන මෙම සිදුවීම් ඉතා සමීපව නිරීක්ෂණය කරනු ඇත.

ආර්ථික අවපාතය

බංගලාදේශයට යහපත ප්‍රාර්ථනා කරන්නන් විසින් ප්‍රචණ්ඩත්වය පහව යනු ඇතැයි බලාපොරොත්තු සහගතව සිටින අතර, හිටපු ඉන්දීය තානාපති සර්වජිත් චක්‍රවර්ති පවසන්නේ දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය පැවතීම "භයානක" වනු ඇති බවයි.

“රට වසා දැමූ දා සිට සාමාන්‍ය ජනතාව භයානක ආර්ථික අවපාතයකට ගොදුරු වී තිබෙනවා. ආර්ථිකයට ශක්තිය සපයන අපනයන වෙළෙඳපොළ, එක්සත් ජනපදය සහ යුරෝපය යන දෙකේම හැකිලී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉපැයීම් සැලකිය යුතු මට්ටමකින් පහත බැස තිබෙනවා. මෙම ආදායම් අඩු වීම දූෂණ චෝදනා සමඟ ඒකාබද්ධ වී ඇති අතර එය කෝපයට හේතුවක් වුණා."

අගමැතිනි හසීනා යටතේ බංග්ලාදේශය, සිය ආදායම් ඉහළ නංවා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරගැනීමක් පෙන්වූ නමුත්

රටට දැඩි ලෙස බලපෑ කොවිඩ් වසංගතය, ආර්ථික පසුබෑමකට සහ විරැකියාවට හේතුවක් විය.

“හමුදාවද යොදවා ඇති බැවින් ප්‍රචණ්ඩත්වය පහව යනු ඇතැයි බලාපොරොත්තු වන අතර විපක්ෂ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය, ජමාත්-ඊ-ඉස්ලාමි, සිවිල් සමාජය, සිසුන් සහ හමුදාව යන සියලුම පාර්ශ්වකරුවන් එක්ව, රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කරනවා." යි තානාපති චක්‍රවර්ති පැවසුවේ ය.

බංගලාදේශ ජාතිකවාදී පක්ෂය මෙහෙයවන්නේ හසීනා මහත්මියගේ ප්‍රබල ප්‍රතිවාදියා වූ කලීඩා සියා විසිනි.

දිල්ලියේ ඕපී ජින්ඩාල් ග්ලෝබල් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්ය ශ්‍රීරාධා දත්තාට අනුව, ක්ෂණික කෝපය පහව ගිය පසු සතියකින් පමණ රට තුළ සාමය ස්ථාපනය වනු ඇත.

"මුජිබර් රහ්මාන්ගේ ප්‍රතිමාවට හානි කරන මෙම දර්ශන මත පදනම්ව යමෙකු බංගලාදේශය පිළිබඳ නිගමනවලට එළඹිය යුතු නැහැ " යැයි ඇය පැවසුවා ය.

ෂෙයික් හසීනාගේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මාන්, 1971 දී බංගලාදේශය පකිස්තානයෙන් මුදා ගැනීමේ යුද්ධයෙන් පසුව, 1975 දී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකදී ඔහුගේ පවුලේ බොහෝ දෙනෙකු සමඟ මරණයට පත් විය.

“බංගලාදේශ තරුණයන් තවමත් මුජීබ්ව පිළිගන්නේ ජාතික වීරයෙකු ලෙසටයි. එය වෙනස් වන්නේ නැහැ.

හසීනා මේ තරම් මිනිසුන්ව කෝප ගැන්වූ මේ විමුක්ති සංග්‍රාමය මරණය දක්වාම රැගෙන ගිය බව ඇත්ත. එහෙත් 1971 යුද්ධයේ තිබූ සංකේත මෙහිදී නැවත භාවිතා කෙරුණා. ඒ ගීත නැවත වාදනය කෙරුණා. මේ ආවේගයෙන් පිරුණු මොහොත පහව ගිය ර2පසුව බංගලාදේශය නැවතත් ස්ථාවර වනු ඇත.”යි මහාචාර්ය දත්තා පවසයි.