ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ලොකු පැල්මක් තිබ්බා - දවස් දෙකක් මඩ වතුර ආවා'
දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55000අධික පිරිසක් පීඩාවට ලක්ව තිබේ.
ගංවතුර තත්ත්වය, නාය යාම්, ගස් කඩා වැටීම්, අධික සුළං වැනි ස්වභාවික විපත් හේතුවෙන් දිවයිනේ පළාත් 7 කට අයත් පවුල් 13,627ක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ගංවතුර හා නායයෑම් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයටය.
'ලොකු පැල්මක් තිබ්බා - දවස් දෙකක් මඩ වතුර ආවා'
අකුරැස්ස, දියලපේ ප්‍රදේශයේ තැන්නපිටහේන කන්ද ( ඔක්. 05 වෙනිදා) සවස නැවත වරක් නායයාමට ලක්වූ අතර ඉන් කිසිදු ජිවිත හානියක් සිදුනොවීය.
බලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ පූර්ව විමසිලිමත්භාවය ඊට හේතු වී තිබේ.
කන්ද නායයාම සම්බන්ධයෙන් වූ ලක්ෂණ කල් තියා හඳුනා ගැනීමට හැකිවීම නිසා සිදුවන්නට ගිය විශාල ජිවිත හානි ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකිවූ බව එම කන්ද ආසන්නයේ ජීවත් වන චරිත නිරෝෂණ බීබීසී සිංහල වෙත පැවසුවේය.
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඔහු පැවසුවේ දින දෙකක පමණ කාලයක් පුරා ප්‍රදේශයේ පිහිටි දොළේ වතුර මඩ පැහැ ගැන්වී තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කන්ද පිළිබඳව විමසිලිමත්ව සිටි බවය.
"අපිට දැන් දවස් ගානක් තිස්සේ ඉදලා එක දිගට වහිනවා. ඔය අතරේ තමයි දැන් දවස් දෙකකට වගේ උඩදී දොළ පාරෙන් එන වතුර මඩ වෙන්න පටන් ගත්තේ. පස්සේ ඔය ගැන ගමේ කට්ටිය අවධානයෙන් හිටියා."
"පස්සේ ඒ ගැන ආපදා එකේ අයටයි, භූ විද්‍යා එකේ අයටයි දැනුම් දුන්නා. ඒ අය ඇවිත් බලලා අනතුරුදායක මට්ටමේ ඉන්න පවුල් වෙන් කළා."
"ඔය අතරේ පෙරේදා ( ඔක් 04 වෙනිදා) දියලපේ පන්සලේ හාමුදුරුවන් වැඩම කරලා ඒ කන්දේ හිටිය පවුල් 20ක් විතර පන්සලට එක්කන් ගියා කන්ද කොයි වෙලාවක හරි නාය යන්න පුළුවන් කියලා දැනුම් දීලා තිබ්බ නිසා."
"ඔහොම ඉද්දි ඊයේ උදේ 11.00 ට විතර ගමේ කට්ටියක් එක්ක මමත් තව ආපදා එකේ සහ භූවිද්‍යා එකේ නිලධාරීන් පිරිසක් කන්ද උඩට ගියා. ඒ යද්දී තමයි අපි දැක්කේ කන්දේ ලොකු පැල්මක් තියෙනවා." ඔහු පැවසීය.
‘එක පාරම කන්ද පල්ලෙහට ආවා’
මේ අතර ඊයේ සවස එකවර කන්ද නායයාමට ලක්වූ බව චරිත නිරෝෂණ පවසා සිටියේය.
"අපි කන්ද උඩට ගිහින් ඇවිත් ඉද්දි හවස 4.00 ට විතර එකපාරම සද්ද වගයක් ඇහෙන්න පටන් ගත්තා."
"ඒ එක්කම වගේ ඈත ඉදන් කට්ටිය කෑගහන්න පටන් ගත්තා කන්ද කඩන් එනවා කියලා. ඒ එක්කම අපි අයින් වුණා කන්ද පාමුලෙන්. පස්සේ අපි දියලපේ පාසැලට ආවා."
"පන්සලේ හාමුදුරුවෝ, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේම ආපදා එකේ නිලධාරීන් අපිට අවශ්‍ය කරන ආහාර පාන එහෙම ලබා දෙනවා." ඔහු කියා සිටියේය.
‘දවස් ගානක් තිස්සේ ඉදලා මිනිස්සු කොටු වෙලා’
මාතර දිස්ත්‍රික්කයට දැනට සති දෙකකට පමණ ආසන්න කාලයක් පුරාවට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බව තරිදු ශ්‍රීමාල් රණවීර පැවසුවේය.
"මගේ ගෙවල් තියෙන්නේ අකුරැස්ස කඹුරුපිටිය පාරේ. දැන් සති දෙකක් වෙනවා මේ වැටෙන වැස්සත් එක්ක ඇතිවුන ගංවතුර නිසා ගෙවල්වලටම වගේ ඉන්න වෙලා තියෙන්නේ."
"මාතර ටවුමට යන්න විදිහක් නැහැ පාර යටවෙලා තියෙන නිසා. පහුගිය අවුරුදුවල වගේ නෙමෙයි. මේ පාර ගංවතුර බහින්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. වෙනදට ගංවතුර ගලලා දවස් දෙකෙන් තුනෙන් වතුර බහිනවා. දැන් සතියක් තිස්සේ මාතර ගොඩක් පැති යටවෙලා. මේ ඔක්කොටම හේතුව නිල්වලා ගඟේ තියෙන කරදිය බාධකය කියලයි මිනිස්සු හැමෝම කියන්නේ." ඔහු කියා සිටියේය.
ගංවතුර ගැන රතු නිවේදනයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (ඔක්තෝබර් 6 වැනිදා) පස්වරු 4.30ට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිල්වලා ගඟ නිම්නයේ මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බවය.
මාතර පවුල් 9,000කට පීඩා
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්ත්වය නිසා පවුල් 9,000ක් පමණ පිඩාවට පත්ව ඇති බව එහි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි බීබීසී සිංහල සේවයට පැවසුවේය.
" මේ වෙද්දී මාතර දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණයෙන් පවුල් 9,000ක් පීඩාවට පත්වෙලා ඉන්නවා. "
"ඒ අතරින් අකුරැස්ස, තිහගොඩ, මාලිම්බඩ, අතුරලිය, කොටපොල, මාතර, දෙවිනුවර ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසක ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවෙලා තියෙන්නේ."
"දැනට ආරක්‍ෂිත මධ්‍යස්ථාන හයක ඒ අය රඳවලා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ වෙනත් දේ ලබා දෙන්න කටයුතු කරනවා."
"ඒ වගේම මෙවර ඇතිවූ ගංවතුර ඉක්මනින් බැස නොයන තත්ත්වයක් නිරීක්ෂණය කරලා තියෙනවා. බොහෝ දෙනා කියනවා නිල්වලා ගඟේ ඉදිකරලා තියෙන කරදිය බාධකය ඒකට හේතුවක් කියලා. "
"නමුත් ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග නිලධාරින් සමග සාකච්ජා කරන්න අවශ්‍යයි. මොකද ඒ ගැන මට තාක්ෂණික දැනුමක් නැහැ." ඔහු කියා සිටියේය.
වැසි තත්ත්වය අඛණ්ඩව
දැනට පවතින වැසි තත්ත්වයේ යම් අඩු වැඩිවීමක් පෙන්නුම් කළද වැසි තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි බීබීසී සිංහල සේවයට පැවසුවාය.
"දැනට පවතින වැසි තත්ත්වයේ යම් අඩු වැඩිවීමක් පෙන්නුම් කළත් වැසි තත්ත්වය අඛණ්ඩව පවතින බවයි නිරීක්ෂණය වන්නේ."
"වායු ගෝලයේ පවතින ජල අංශු සහ වර්ෂාවට පවතින හිතකර භාවය නිසා අඛණ්ඩව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් වලට අඛණ්ඩව ඉදිරි දිනවලදී වැසි තත්ත්වය පවතිනු ඇති." ඇය පැවසුවාය.