ෂාෆ්ටර් ඝාතනය තවමත් අභිරහසක්.දුරකතන 4ක විශ්ලේෂණ වාර්තා ඔස්සේ පරීක්ෂණ

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කර මේවන විට දින 6 ක් ඉකුත්ව ගොස් තිබේ.

ඔහුව මරා දැමීමේ පරමාර්ථය කුමක්ද? ඝාතකයින් කවුද? එය තවමත් අභිරහසකි.

ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ කණ්ඩායම් කිහිපයක් විමර්ශන මෙහෙයවති. එහෙත් මෙතෙක් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

දිනෙෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්ත වෙත පැමිණීමට පෙර ගිය ස්ථානයක් පිළිබඳව ද විමර්ශන කණ්ඩායම් මේවන විට අනාවරණය කර ගෙන තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් ප්‍රකාශ 8ක් ලබා ගෙන ඇත.

ඒ අතරට දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ ටානි ෂාෆ්ටර් ද අයත්ය.

බිරිඳ කළ දැනුම් දීම අනුව එදින බොරැල්ල සුසාන භූමිය වෙත ගිය විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, පැය 24 පුරාම මෙම දීර්ඝ විමර්ශනය ක්‍රියාත්මක බවය.

“විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වනවා . කිසිම පුද්ගලයෙක් අපි සැක කරලා නැහැ. සුවිශේෂී සැකයක් ඇති කරගෙන නැහැ. පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කිරීමට තරම් මේ විමර්ශනය අවසන් වී නැහැ” ඔහු සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වූ දිනයේ පස්වරු 1.55ට පමණ මල්පාරේ නිවසෙන් පිටව ගොස් ඇත.

පස්වරු 2.42ට පමණ දිනේෂ් ෂාෆ්ටර්ගෙන් වට්ස් ඇප් පණිවිඩයක් ලැබුණු බව ක්‍රිකට් විස්තර විචාරකයකෙු මෙන්ම ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන බ්‍රයන් තෝමස් අනාවරණය කර තිබේ.

“ඔබ පැමිණෙන තුරු මම බලා සිටිනවා” යනුවෙන් එහි දක්වා තිබේ. එහිදී බ්‍රයන් තෝමස් ප්‍රතිචාර දක්වා ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ව හම්බවෙන්න තමාට හේතුවක් නොමැති බවය.

පොලිස් විමර්ශනවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් පස්වරු 2.45 වන විට බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණ තිබේ.

විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරාට සිහසුන්ව සිටි දිනේෂ් ෂාෆ්ටර්, හමුවී තිබුණේ පස්වරු 3.30ට පමණය.

පස්වරු 3.55ට පමණ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණි.

මෙම ඝාතනයේ යම්කිසි අභිරහස් බවක් ඇති බවත් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකුගේ නායකත්වයෙන් කුඩා කණ්ඩායම් කිහිපයක් විමර්ශන සඳහා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල ප්‍රදේශයට යන බව තම බිරිඳට පවසමින් දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.

හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් හමුවීමට යන බව ඔහු නිවැසියන්ට පවසා තිබේ.

දුරකතන 04ක විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන...

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව දුරකතන 04ක විශ්ලේෂණ වාර්තා බොරැල්ල පොලීසියට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා දුරකතන සමාගම් 4 කට (දෙසැම්බර් 20 වැනිදා) නියෝග කළේය.

අදාළ විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන කර විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තාකරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ පොලිසියට නියෝග කළේය.

ඝාතනය සම්බන්ධයෙන් කරන විමර්ශනය සඳහා දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ සහ සේවකයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

අබිරහස් මරණය

ඔහුගේ දෑත් පිටුපසට කර ප්ලාස්ටික් වලින් තැනූ දෙයකින් ගැටගසා තිබී ඇති අතර ඔහුගේ ශරීරය සහ ගෙල වයරයකින් වාහනයේ ආසනයට තබා ගැටගසා තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ගෙල සිර කිරීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි වෛද්‍ය වාර්තා අනුව පෙනී යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී (දෙසැම්බර් 15වැනිදා) පස්වරුවේ ෂාෆ්ටර් සොයා ගැණුනි.

පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු එදිනම රාත්‍රියේ මිය ගියේය.

විමර්ශන සිදුවන්නේ කෙසේද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා මිනීමරුම් විමර්ශන කොට්ඨාසය , කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුලු කණ්ඩායම් හතරක මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ වාහනයේ යම් සාක්ෂියක් තිබේදැයි යන්න සෙවීම සඳහා අවශ්‍ය විමර්ශන පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

සී.සී.ටී.වී සහ දුරකතන අංක සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.තවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය විමසා තිබේ.

අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත්තේ, මෙම අපරාධ මැඩලීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මිනී මැරුම් හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන්නැයි මෙහිදී අමාත්‍යවරයා ජේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ

ෂාෆ්ටර් යනු කවුද?

දිනේෂ් ෂාෆ්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු හා පසුව ක්‍රිකට් පරිපාලකයෙකු වූ චන්ද්‍රා ශාෆ්ටර්ගේ පුත්‍රයායි.

ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 51 කි. ඔහු කොළඹ 7 මල්පාරේ පදිංචිව සිටියේය.

දිනේෂ් ෂාෆ්ටර් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

නීති උපාධිධාරියෙකු වන දිනේෂ් ශාෆ්ටර් බ්‍රිතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතන සාමාජිකයෙකු වෙයි.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකු වන ඔහු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ සහ ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල ප්‍රදේශයට යන බව තම බිරිඳට පවසමින් දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.

හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් හමුවීමට යන බව ඔහු නිවැසියන්ට පවසා තිබේ.

බ්‍රයන් තෝමස් ෂාෆ්ටර්ගෙන් රුපියල් කෝටි 14 ක ණය මුදලක් ලබාගෙන නැවත ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව අනාවරණය කළේය.

පස්වරු 2.00 ට පමණ නිවසින් පිටව ගිය සැමිගේ දුරකතනයට බිරිඳ ඇමැතුම් කිහිපයක් ලබාගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොතිබූ අතර පසුව ඇය දුරකතන යෙදුමක් භාවිත කර තම සැමියාගේ ජංගම දුරකතනය ඇති ස්ථානය පිළිබඳව සොයා තිබේ.

ෂාෆටර්ගේ ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමිය තුළ තිබෙන බවට සංඥා ලැබීමත් සමග ඇය දිනේෂ් ෂාෆ්ටර්ගේ සමාගමේ නිලධාරියෙකු එම ස්ථානයට යවා තිබේ.

එම නිලධාරියා පැමිණ පරීක්ෂා කිරීමේදී දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ අත් හා ගෙල බැඳ දමා සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති අතර සුසාන භූමියේ සේවකයෙකු හා එක්ව ඔහුව රෝහල් කර රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

බ්‍රයන් තෝමස්ගේ විදේශ ගමන් තහනම්

දිනේෂ් ෂාෆ්ටර් මුණගැසීමට යන බව බිරිඳට දැනුම් දුන් බව කියන හිටපු ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබේ.

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් ලබාගත් බව කියන රුපියල් කෝටි 14ක ණය මුදල සම්බන්ධයෙන් ඔහු බ්‍රයන් තෝමස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිලි කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් මීට පෙර අත්අඩංගවට ගෙන ඇපමත මුදා හැර තිබුණි.

ඝාතනය සිදුවු දිනයේ තමා එනතුරු සිටින බවට දිනේෂ් ෂාෆ්ටර්ගෙන් තම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණු බව බ්‍රයන් තෝමස් මාධ්‍ය වෙත පවසා තිබේ.

තමාට ලැබුණු කිසිදු පණිවිඩයක් මකා දමා නැතැයිද ඔහු සඳහන් කළේය.

බ්‍රයන් තෝමස් මාධ්‍ය වෙත පවසා තිබුණේ තමා අවශ්‍ය දුරකතන විස්තර සියල්ල සහ දුරකතනය පොලිසිය වෙත භාර දුන් බවය.

බ්‍රයන් තෝමස් පමණක් නොව සොයා ගත හැකි සෑම හෝඩුවාවක් ඔස්සේම විමර්ශන පවත්වන බව බව පොලිසිය පැවසීය.

මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු දන්වා තිබේ.

පොලිසිය කළ කරුණු දැනුම් දීම අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස්ගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබීය.

බ්‍රයන් තෝමස්ට විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බවත් එම අංක දෙකටම අදාළව විදේශ ගමන් තහනම අධිකරණය විසින් පනවා තිබේ.

පොලීසිය ඉල්ලා සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකතනයේ සඳහන් ඇමතුම් සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් අදාළ සමාගම් වෙතින් කැඳවීමට නියෝග කරන ලෙසය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා ද අවසර දෙනු ලැබීය.

බ්‍රයන් තෝමස් , දිනේෂ් ෂාෆ්ටර් අයත් සමාගමකින් රුපියල් කෝටි 143කට අධික මුදල් ලබා ගැනීමට අදාළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණි.

23 දෙනෙකුගෙන් ප්‍රකාශ

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් 23 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

පවුලේ සාමාජිකයින්, රෝහල්ගත කිරීමට සහය වූ පුද්ගලයින් ඒ අතර වෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසය මගින් ප්‍රකාශ 16ක් සටහන් කර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ,“නොදුරු දින කිහිපය තුළම මේ සම්බන්ධව නිසි හෝඩුවාවක් සහිතව විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමටත්, අපරාධ කරුවන් කව්රුන්ද යන්න හොයා ගන්න ලැබෙයි කියන විශ්වාසය විමර්ශන නිලධාරීන් පළ කර තිබෙනවා”යනුවෙනි.

හැඟීම් සහ පුද්ගලිකත්වයට ගරු කරන්න…!

දිනේෂ් ශාෆ්ටර්ගේ හදිසි අභාවය පිළිබඳව ෂාෆ්ටර් පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පවුලේ සාමාජිකයින් මේ හදිසි මරණය වටා ඇති කරුණු අනාවරණය කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවය.

තමන්ගේ හැඟීම් සහ පුද්ගලිකත්වයට මේ මොහොතේ ගරු කර සැබෑ කරුණු සනාථ කර ගැනීමට ඉඩ සලසන ලෙස ෂාෆ්ටර් පවුල මාධ්‍යයෙන් හා මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් තම පවුලේ යහපත්ම තැනැත්තා බවත් ඔහු පවුලේ ආත්මය හා හදවත බඳු අයෙකු බවත් පවසන ෂාෆ්ටර් පවුල සිහිපත් කරන්නේ ඔහු ව්‍යාපාර හා ක්‍රීඩා ක්ෂේත්‍රයට නිහඬ දායකත්වයක් ලබා දුන් අයෙකු බවයි.

පවුලට, මිතුරන්ට, පරම්පරා ගණනාවකට පමණක් නොව නූපන් අයට ද ඔහුගේ නොනිමි මෙහෙය සදා අනුස්මරණීය වනු ඇතැයි ෂාෆ්ටර් පවුල නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.