ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයේ පැතිරෙන HMPV ගැන ඔබ දැනගත යුතු දෑ මොනවා ද?
ලොවපුරා ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි කළ කොරෝනා වසංගතය ආරම්භ වු බවට සැක කෙරෙන චීනයේ මේ දිනවල යළි පැතිරන යන වෛරස් රෝගී තත්ත්වයක් සම්බන්ධව ලෝකයේම අවධානය යොමුව තිබේ.
චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus - HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ස්වසන රෝග වෛරසයන් බව මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.
මෙම රෝග තත්ත්වය පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇත්තේ කොරෝනා වසංගතය නිසා ඇති වූ බලපෑම හේතුවෙනි.
චීනයේ පැතිරන යන වෛරසය සම්බන්ධව මෙන්ම එහි බලපෑම් සම්බන්ධව බීබීසී සිංහල විමසා බැලීමක් කළේය.
'වෛරස තත්ත්වය සතියෙන් පහව යනවා'
චීනයේ පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය විය යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
"ශීත ඍතුවේ දී ස්වසන ආසාදන බහුලව දක්නට ලැබෙන අතර එය අනතුරු ඇඟවීමට හේතුවක් නොවේ."
2001දී සොයාගනු ලැබූ HMPV වෛරසය, අලුත් වෛරසයක් නොවන බවත්, සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ස්වසන ආසාදන ඇති කරන රෝගයක් බව මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.
කෙසේවෙතත්, HMPV වෛරසය ළමයින්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අයට බරපතල විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
මෙම වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව ද මහාචාර්ය චන්දිම ජීවන්දර සිය X ගිණුමේ සටහන් කර ඇත.
බෝ වන්නේ කෙසේ ද?
HMVP බොහෝවිට පැතිරීම සිදුවන්නේ අසාදිත පුද්ගලයෙකුගේ කැස්ස හෝ කිවිසුම් යාමෙන් පිටවන ශ්‍රාවයන් හරහායි.
ස්පර්ශ කිරීම හෝ අතට අත දීම වැනි සමීප පුද්ගලික සම්බන්ධතා හරහා හෝ HMPV තැවරුණු වස්තූන් හෝ මතුපිට ස්පර්ශ කිරීමෙන් පසුව මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන් ද පැතිර යාමට හැකි ය.
සාමාන්‍යයෙන් HMPV පැතිරීම සිදුවන්නේ මිනිසුන් වැඩි කාලයක් නිවෙස් තුළ ගත කරන ශීත මාසවලයි.
ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන්
"ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වය පැන නැගී නොමැත." යනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
"ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්ත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මෙම තත්ත්වය සමාන බවත්ය. වත්මන් ස්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති." යැයි ද එහි සඳහන් වේ.
මෙරට සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවන බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත.
චීනයේ ස්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයක් බවත් නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැති බවත් මෙම තත්ත්වය සාමාන්‍ය ස්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැති බවත් එහි සඳහන් කර තිබේ.
'චීනයේ සංචාරය කිරීම ආරක්ෂිතයි'
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් (ජනවාරි 03 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන උපරිම වන බවය.
පෙර වසර හා සසඳන විට රෝග දරුණු ලෙස අඩු වන අතර කුඩා පරිමාණයෙන් පැතිරී ඇතැයි ඇය කියා සිටියා ය
චීන පුරවැසියන්ගේ සහ විදේශිකයන්ගේ සෞඛ්‍යය ගැන චීන රජය සැලකිලිමත් වන බවට සහතික විය හැකි බවද ඇය අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් පැවසුවේ, චීනයේ සංචාරය කිරීම ආරක්ෂිත බව ය.