ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගැබිනි බිරිය ඝාතනය කර ගෙළ කපා පොලිසියට රැගෙන ගිය සැමියෙකු අත්අඩංගුවට
- Author, බීබීසී සිංහල
මෙහි ඇතැම් පුද්ගලයින් කම්පනයට පත් කළ හැකි කරුණු ඇතුළත් වේ
සිය බිරිඳගේ ගෙළ කපාගෙන අද (ජූනි 03) උදෑසන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු පිළිබඳව වවුනියාව, පුලියංකුලම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
පොලිසිය ප්‍රකාශ කළේ, වවුනියාව, පුලියංකුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක එලෙස ඝාතනයට ලක්ව ඇති බව ය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වවුනියාව, පුලියංකුලම, නොච්චිකුලම්හි පදිංචි සුගීර්දරන් රාජුන් ස්වාර්ණලතා නමැති 32 හැවිරිදි ගර්භණී කාන්තාවක බව පොලිසිය තහවුරු කළේ ය.
ඇය නයිනමඩු ප්‍රදේශයේ රජයේ ප්‍රාථමික විදුහලක පාසල් ගුරුවරියක ලෙස සේවය කළ අයෙකි.
පොලිසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත 34 හැවිරිදි ස්වාමි පුරුෂයා බිරිඳගේ හිස කදින් වෙන් වන ලෙසට කපා දමා හිස රැගෙන පොලිසිය වෙත පැමිණි බව ය.
බිරිඳගේ ගෙළ රැගෙන සැකකරු පොලිසියට යයි
සිය ගැබිනි බිරිඳගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අද (03) උදෑසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය තහවුරු කළේ ය.
පුලියංකුලම, නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයක් අසලට බිරිඳ සමග පැමිණ ඇති සැකකාර සැමියා, ඇය තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සිරුර රක්ෂිත ප්‍රදේශයේ දමා හිස කඳින් වෙන්කර ස්කූටර් වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන පුලියන්කුලම පොලිසිය වෙත රැගෙනවිත් ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු බිරිඳගේ හිස සහිත යතුරු පැදිය පුලියංකුලම පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙනවිත් ස්ථානාධිපතිවරයාට සහ සෙසු නිලධාරීන්ටසිදුකළ අපරාධය පිළිබඳ දැනුම් දී පොලිසියට භාර වී ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.
ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති අතර, මියගිය කාන්තාවගේ සිරුර අදාළ රක්ෂිත ප්‍රදේශයේ තිබී සොයා ගත් බව පොලිසිය පැවසීය.
ඝාතනයට හේතුව කුමක් ද?
පොලිසිය පවසන පරිදි මියගිය කාන්තාවගේ අනියම් සම්බන්ධයක් පිළිබඳව ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ, මිය ගිය කාන්තාව පාසල් සිසුවෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට කිහිප දෙනෙකු විසින් සැමියාට දුරකතනය ඔස්සේ අවස්ථා කිහිපයකදී වාචික හිංසනයට ලක්කරනු ලැබ ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
සැකකරු වවුනියාව පුලියන්කුලම, නොච්චිකුලම්හි පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු වේ.
ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුලියංකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.