මෙවර මහ මැතිවරණයේදී සුළු ජාතීන්ගේ ඡන්ද කෙසේ බෙදී යයි ද?

“ජාතීන් හැටියට බෙදිලා දේශපාලනය කරලා එකතු වෙන්න බැහැ. එකතු කරන්න නම් සියලු ජාතීන් සිටින සහ ඔවුන්ගේ නායකයින් සිටින එක ව්‍යාපාරයක් හදන්න ඕනෑ. එම ව්‍යාපාරය ජාතික ජන බලවේගය යි.” ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 10 වන දා වවුනියාවේ පැවති මහ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පළ කළ අදහසකි.

ජනධිපතිවරණයේදී සුළු ජාතීන්ගේ ප්‍රදේශ ජය ගැනීමට නොහැකි වූ වත්මන් ජනාධිපතිවරයා තම ධූරයේ දිවුරුම් දී ජාතිය අමතමින් තමාව විශ්වාස නොකළ පුරවැසියන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේ ය.

ජනාධිපතිවරණයෙන් පසුව තව දින කිහිපයකින් පවත්වන මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර හා වතුකරයේ සිටින සුළු ජාතීන් නියෝජනය කරන ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම කෙබඳු වේවි ද? එහි වාසිය ලැබෙන්නේ කාට ද?

අවසන් මහ මැතිවරණයේ ප්‍රතිඵලය

2020 වසරේ පැවති මහමැතිවරණයේදී දෙමළ ජනයා බහුලව ජීවත්වෙන වන්නි හා යාපනය දිස්ත්‍රික්ක ජය ගනු ලැබුවේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය යි.

එවර මඩකලපුව දිස්ත්‍රික්කය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජය ගනිද්දී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජය ගැනීමට සමගි ජන බලවේගය සමත් විය.

වතු කම්කරුවන් බහුලව වෙසෙන නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ජය ගැනීමට එවර ආණ්ඩු බලය හිමි කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය.

'NPP එකට තව ඡන්ද ලැබෙයි'

ඉදිරි මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ‍, කඳුකර දෙමළ ප්‍රජාවගේ ඡන්ද මෙන් ම මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ප්‍රදේශවල ඡන්දවල වාසිය කවුරුන්හට ලැබෙනු ඇති දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියා සිටියේ, ජාතික ජන බලවේගයට තවත් ඡන්ද ලැබෙනු ඇති බව ය.

සුළු ජාතිකයන් නියෝජනය කරන පක්ෂවලට එම ජනතාව ඡන්ද ලබා දුනහොත් එම නියෝජිතයින්ට ආණ්ඩුවෙන් පිටත සිටිමින් ආණ්ඩුවට සහය දීමේ හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

"දූෂණ විරෝධය ගැන, ආර්ථිකය වර්ධනය කරන හැටි ගැන මේ ආණ්ඩුව කියන දේවල් සමහර මිනිස්සු පිළිගන්නවා. ඒ හේතුව උඩ සමහර ඡන්ද ලැබෙයි,” ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පැවසීය.

කෙසේ වෙතත්, දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද එම ප්‍රදේශ නියෝජනය කරන දෙමළ පක්ෂවලට ලැබෙනු ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

“ස්වාධීන අපේක්ෂකයන්ට මේ සැරේ පොඩි අවස්ථාවක් තියෙනවා”

කඳුකර වතු ආශ්‍රිත දෙමළ ජනතාවගේ ඡන්ද යම් ප්‍රමාණයක් පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව ආණ්ඩු පක්ෂය වෙත ලැබෙනු ඇති බවට වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනි ජේසුදාසන් විශ්වාසය පළ කරයි.

“ස්වාධීන අපේක්ෂකයන්ට මේ සැරේ පොඩි අවස්ථාවක් තියෙනවා. ඒක වතුකරයේ වෙන්න පුළුවන්, උතුරු නැගෙනහිර වෙන්න පුළුවන්, ස්වාධීනව ඉල්ලන අයට යම් පක්ෂපාතීත්වයක් තියෙනවා කියලා පේනවා, මිනිස්සු කියන දෙයක් තමයි පරණ අයට දීලා දීලා එපා වෙලා කියලා. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට යම් ඡන්දයක් යනවා. ඒ වගේ ම අලුතින් ඉදිරිපත් වෙන අයට ඡන්ද ප්‍රමාණයක් යයි කියන එක තමයි තියෙන්නේ.”

ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයා උතුරෙන් ලක්ෂ දෙකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනු ලැබුව ද මේ වන විට එම ඡන්ද පදනම වෙනස් වී ඇති බව පෙනෙන්නට ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

“පාර්ලිමේන්තු මැතිවරණයේදී පුද්ගලයන්ට නේ දෙන්නේ. එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවට යම් පක්ෂපාතීත්වයක් තිබෙන බව මිනිස්සුන්ගෙන් පැහැදිලි වෙනවා,” යැයි යාපනයේ සිට දුරකතන ඔස්සේ බීබීසි සිංහල සේවය හා කතා බහට එක්වු ඇන්තනී ජේසුදාසන් පැවසුවේය.