ඊශ්‍රායල ගාසා යුද්ධය: 'මුළු WhatsApp ගෘප් එකම නිහඬයි. හැමෝම මියගිහින්'

A selfie of the Al Naouq children and their uncle Ahmed

ඡායාරූප මූලාශ්‍රය, Ahmed Alnaouq

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 වසරේ දී ගත් මෙම ඡායාරූපයේ සිටින සියලු දරුවන් අතරින් ජීවතුන් අතර සිටින්නේ ඉදිරියේ සිටින පිරිමි ළමුන් දෙදෙනා පමණි

අවවාදයයි : මෙම ලිපියේ අඩංගු කරුණු මගින් ඇතැම් පාඨකයන් කම්පනයට පත්විය හැකිය.

වේලාව අලුයම 4:00ට පමණ වූ අතර අහමඩ් හදිසියේ අවදිවිය. සාමාන්‍යයෙන් ගැඹුරු නින්දකට වැටෙන ඔහුට, මොකක්දෝ වරදක් සිදුව ඇතැ යි දැනෙන්නට විය.

යුද්ධය ආරම්භ වූ දා සිට ඔහු ඔහුගේ පවුලේ WhatsApp සමූහය නිරන්තරයෙන් පරීක්ෂා කරමින් සිටියේ ය. ඊශ්‍රායලය ගාසා තීරයේ විදුලිය සැපයුම විසන්ධි කර තිබීම හේතුවෙන් ඔහු ජීවත් වන ලන්ඩනයේ සිට ඔහුගේ පියා සහ සහෝදර සහෝදරියන් සම්බන්ධ කර ගැනීම දුෂ්කර කාර්යයක් විය. නමුත් දින දෙකකට පෙර ඔහුගේ සහෝදරිය වන වල්ලාහ්ගෙන් සමූහයට පණිවිඩයක් ලැබී තිබිණි.

ඇගේ නිවසට බෝම්බ ප්‍රහාරයකින් හානිවී තිබිණි. "ගේ ඇතුළෙ ජනෙල් දොරවල් සේරම කැඩිලා ගිහින්," වල්ලාහ් WhatsApp සමූහයේ ලිවීය. "ඒත් දෙවියෝ අපිව ආරක්ෂා කළා, ඒක තමයි වැදගත් ම දේ. අපි හැමෝම හොඳින්."

"ගෙදර නම් හදා ගන්න පුළුවන්," අහමඩ් ප්‍රතිචාර දැක්වීය. "වැදගත් ම දේ ඔයාල හොඳින් ඉන්න එක."

වල්ලාහ් සහ ඇගේ දරුවෝ සිව්දෙනා ගාසා තීරය මධ්‍යයේ පිහිටි ඩේර් අල්-බලාහි ඔවුන්ගේ පියාගේ නිවස වෙත ගියහ.

එදා රෑ අහමඩ් අවදිවූ විට පවුලේ WhatsApp සමූහය තුළ කිසිදු පණිවිඩයක් නොවීය. තවත් කිහිප දෙනෙකු එවා මකා දමන ලද පණිවිඩ පමණක් ඔහුට දැකගත හැකි විය.

පවුලේ අය මියගොස් ඇතිබව ඔහු දැනගත්තේ, සිදුවී ඇත්තේ කුමක්දැ යි දැන ගැනීමට ගාසාවේ සිටින මිතුරෙකු ඇමතූ අවස්ථාවේ දී ය.

Alnaouq family

ඡායාරූප මූලාශ්‍රය, Alnaouq family

ඡායාරූප ශීර්ෂ වැකිය, අහමඩ්ගේ ලේලිය තාලා (9), සහෝදරයා මොහොමඩ්, ඔහුගේ සහෝදරිය ඇලා, පියා නස්රි, බාල සොහොයුරා මහමුද් සහ ලේලිය ඩීමා (10). ප්‍රහාරයෙන් මේ සියල්ලෝම මියගියහ

යුද්ධය ආරම්භ වූ දා සිට අහමඩ් ද, ගාසාවේ සිට පැමිණ ඔහු සමග මහල් නිවාසයේ දිවි ගෙවන මිතුරන් ද ජීවත්වන්නේ දූරස්ථ නිරයක ය. ඔවුන්ගේ ජංගම දුරකතන, විනාශය සහ මරණය ගැන තොරතුරු අඩංගු ගබඩාවකි. සෑම දිනක ම පාහේ ඔවුන්ට අසල්වාසියෙකු, මිතුරෙකු හෝ ඔවුන් සමග පාසල් ගිය අයෙකු ඝාතනයට ලක්වී ඇතැ යි දැන ගන්නට ලැබේ. නමුත් යුද්ධය ඔහුගේ පවුල කරා ද සෘජුවම පැමිණෙනු ඇතැ යි ඔහු කිසි විටෙකත් විශ්වාස නොකළේ ය.

ඔවුන්ගේ නිවස පිහිටා ඇත්තේ ඩේර් අල්-බලා මධ්‍යයේ ය. එය මීට පෙර කිසි දා ඉලක්ක නොවූ ප්‍රදේශයකි.

"මම හිතුවේ මේක එයාලට භයානක කාලයක් විතරයි, එයාලට කරදරයක් වෙන එකක් නැහැ කියලයි," ඔහු පවසයි. "මම හිතුවේ එහෙම යි."

ගුවන් ප්‍රහාරයකින් පවුලේ නිවස මුළුමනින් ම විනාශ වී ගිය අවස්ථාවේ දී සමස්තයක් වශයෙන් පුද්ගලයින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් අතර ඔහුගේ පියා, ඔහුගේ සහෝදරියන් තිදෙනෙකු, සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දරුවන් 15 දෙනෙක් විය.

Ahmed with his nephew Abdullah in 2019. Abdullah was 6 when he died.

ඡායාරූප මූලාශ්‍රය, Alnaouq family

ඡායාරූප ශීර්ෂ වැකිය, අහමඩ් 2019 දී අවසන් වරට ඔහුගේ පවුල දුටු විට ඔහුගේ බෑණනුවන් වූ අබ්දුල්ලා සමග
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මියගිය අයගේ නම් ලැයිස්තුව කෙතරම් දිගු ද යත්, ඝාතනයට ලක්වූ පවුලේ එක් එක් සාමාජිකයන්ගේ නම් සහ වයස් මතක්කර ගැනීමේ දී අහමඩ් පැකිළෙයි.

දරුවන්ගෙන්, ඔහුගේ දහතුන් හැවිරිදි බෑණනුවන් හා වැඩිමල්ම දරුවා වූ එස්ලම් පිළිබඳව අහමඩ් හොඳින් ම දැන සිටියේ ය. එස්ලම් උපත ලබන විට අහමඩ් නිවසේ දිවි ගෙවූ නව යොවුන් වියේ සිටි ගැටවරයෙකු විය. ඔහුගේ සහෝදරිය රැකියාවට ගිය විට ඔහුගේ මව එස්ලම් රැක බලාගත් බැවින්, අහමඩ් බොහෝ අවස්ථාවල දී ළදරු වියේ පසුවූ එස්ලම්ට කැවීමට, පෙවීමට මෙන් ම, ඇඳුම් මාරු කිරීමට මවට උදව් විය.

එස්ලම් වයසින් වැඩෙත් ම, ඔහුට ඔහුගේ මාමා මෙන් වීමට අවශ්‍ය බව ඔහු පැවසීය. ඔහු ඔහුගේ පන්තියේ ප්‍රථමයා වූ අතර, ඔහුට ද එක්සත් රාජධානියට පැමිණීමට මඟ සාදා ගැනීමට වෙහෙස මහන්සි වී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් බව අහමඩ් පවසයි.

එස්ලම් ඔහුගේ කුඩා සහෝදරියන් සමග ඝාතනයට ලක් විය. දස හැවිරිදි ඩීමා, නව හැවිරිදි තාලා, පස් හැවිරිදි නූර් සහ දෙහැවිරිදි නස්මා මෙන් ම ඔහුගේ ඥාති සොහොයුරියන් වන රගාද් (අවුරුදු 13), බකර් (අවුරුදු 11), නව හැවිරිදි වියේ පසු වූ එස්ලම් සහ සාරා යන දැරියන් දෙදෙනා, අට හැවිරිදි වියේ පසුවූ මොහොමඩ් සහ බසීමා සහ හය හැවිරිදි වූ අබ්දුල්ලා සහ තමීම් ඔවුන් අතර විය.

Abdullah

ඡායාරූප මූලාශ්‍රය, Alnaouq family

ඡායාරූප ශීර්ෂ වැකිය, මියයන විට අබ්දුල්ලාගේ වයස අවුරුදු හයකි

අහමඩ් අවසන් වරට එම දරුවන් දැක තිබුණේ වීඩියෝ ඇමතුමක් හරහා ය. ඔහුට රැකියා ආයතනයෙන් ප්‍රසාද දීමනාවක් ලැබී තිබුණු අතර, පවුලේ සම්ප්‍රදායට අනුව ඔහු ඔහුගේ ඥාති දියණියන් සහ පුතුණුවන් වෙත සංග්‍රහයක් ලබා දෙන බවට පොරොන්දු වී තිබිණි.

"ඒ හැමෝට ම ඕනේ වුණේ මුහුදු වෙරළට යන්න. වෙරළේ පොඩි ගෙයක් කුලියට අරගෙන කෑම කාලා, නටලා, විනෝද වෙන්න," ඔහු පවසයි. එබැවින්, ඔහු එවැනි නිවසක් කුලියට ගෙන ඔවුන්ට රාත්‍රී ආහාර සහ කෙටි ආහාරවලින් සංග්‍රහ කළේ ය.

එදින එම දරුවන් මුහුදු වෙරළේ සිට ඔහු ඇමතුවේ ඔහු සමග කතා කිරීමට දුරකතනයට පොරබදමිනි. අද වන විට ඔවුන් 15 දෙනා ම මියගොසිණි.

අහමඩ්ගේ සහෝදර සහෝදරියන් නවදෙනාගෙන් ඉතිරිව සිටින්නේ ඔහු සහ සහෝදරියන් දෙදෙනෙකු පමණි.

ප්‍රහාරය එල්ල වී දින කිහිපයකට පසු, අහමඩ් තුන් හැවිරිදි ඕමාර් ඇතුළු සෑම දරුවෙකුගේ ම පින්තූරයක් අන්තර්ජාලයේ පළ කළේ ය. එවිට, ඕමාර් ජීවතුන් අතර සිටින බව පවසමින් ඔහුට ඔහුගේ දිවි ගලවා ගත් සහෝදරියගෙන් ඇමතුමක් ලැබිණි. "ඒක තමයි මගේ ජීවිතේ මම වැඩියෙන් ම සතුටු වුණු අවස්ථාව," ඔහු පවසයි.

බෝම්බය පතිත වූ අවස්ථාවේ ඕමාර් සිටියේ ඔහුගේ මව සහ පියා, ෂිමා සහ මුහම්මද් සමග නිදි යහනේ ය. මුහම්මද් මියගිය නමුත් ෂිමා සහ ඕමාර් ආශ්චර්යයයක් මෙන් දිවි ගලවාගත්හ.

සුන්බුන් අතරින් ගොඩගත් ජීවතුන් අතර සිටින අනෙක් පුද්ගලයා වූයේ අහමඩ්ගේ 11 හැවිරිදි ඥාති දියණිය වන මැලක් ය. ඇගේ සිරුරේ සියයට 50කට ආසන්න ප්‍රදේශයක් බරපතළ ලෙස පිළිස්සී තිබිණි.

Three children pose in front of cherry blossom

ඡායාරූප මූලාශ්‍රය, Alnaouq family

ඡායාරූප ශීර්ෂ වැකිය, මැලක් (වයස අවු. 11) සුන්බුන් අතරින් පණපිටින් පිටතට ගන්නා ලද නමුත් බරපතල තුවාල ලබා සිටියා ය. ඇගේ සොහොයුරෝ වන මොහොමඩ් (වයස අවු. 9) සහ තමීම් (වයස අවු. 6) මෙම පිපිරීමෙන් මියගියහ

මට අහමඩ් මුණගැසුණු විට, ඔහු රෝහලේ සිටින මැලක්ගේ පින්තූරයක් මට පෙන්වූ අතර ඇගේ සිරුර සම්පූර්ණයෙන් ම පාහේ වෙළුම් පටිවලින් වැසී තිබිණි. කොණ්ඩය කොටවූ බැවින් බැලූ බැල්මට ඒ පිරිමි දරුවෙකුයැ යි මට වැරදි වැටහීමක් ඇතිවිණි. එය පෙර දී දිගුව පැවති බව අහමඩ් පැවසීය. නමුත් එය ගින්නෙන් පිළිස්සී ගියා විය හැකි ය.

ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මැලක්ගේ පියා නිවසේ නොසිටි අතර එහෙයින් ඔහුගේ දිවි ගැලවිණි. නමුත් ඔහුගේ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙක් ඝාතනයට ලක් වූහ. ඔහුට කෙසේදැ යි විමසීමට අහමඩ් ඔහු වෙත කෙටි පණිවිඩයක් යැවූ විට ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය: "ආත්මයක් නැති ශරීර කූඩුවක්."

ඒ වන විට ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න වීමත් සමග ගාසා තීරයෙන් ලැබුණු දුරකතන සංඥා සම්පූර්ණයෙන් ම පාහේ ඇණහිටීම හේතුවෙන් අහමඩ්ට කිසිවෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. දෙදිනකට පසු සංඥා යළි සම්බන්ධ කෙරුණු විට මැලක් මියගොස් සිටියා ය.

වෛද්‍ය සැපයුම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වී යමින් පැවති පසුබිමක ඇයටත් වඩා හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙකු පැමිණි බැවින් ඇය දැඩිසත්කාර ඒකකයෙන් ඉවත් කරනු ලැබුණි. ඇය සිටියේ දැඩි වේදනාවකිනි. "මම දවසකට සිය වතාවක් විතර මැරි මැරිලා ඉපදුණා," ඔහුගේ දරු තිදෙනාගෙන් වැඩිමල් හා අවසන් දරුවා ද තමන් හැර යන අයුරු දෙස බලා සිටි ඇගේ පියා අහමඩ් වෙත පැවසුවේ ය.

A little boy playing in his kitchen

ඡායාරූප මූලාශ්‍රය, Alnajjar family

ඡායාරූප ශීර්ෂ වැකිය, මියයන විට යූසෙෆ්ට වයස අවුරුදු හතරකි

සන්නිවේදනය ඇණහිටීමට මොහොතකට පෙර ඔහුගේ මාමාගේ නිවසට ද ප්‍රහාර එල්ලවී ඇතැයි අහමඩ් සොයා ගත්තේය. එහිදී මිය ගියේ කවුරුන්දැ යි ඔහු තවමත් නොදනියි.

ගාසා තීරය තුළ දී පවුලේ සාමාජිකයන් 20 දෙනෙකුට වඩා වැඩි පිරිසක් අහිමිවූ පුද්ගලයන් තිදෙනෙකු සමග අපි කතා කළෙමු. ඔවුන්ගෙන් එක් අයෙකු වන දර්වීශ් අල්-මනාමාට ඔහුගේ පවුලේ සාමාජිකයින් 44 දෙනෙකු අහිමිවී ඇත. ඔවුහු අදහාගත නොහැකි අන්දමේ දුකකින් පසුවෙති.

ලන්ඩනයේ ගෘහ නිර්මාණ ශිල්පිනියක සහ කථිකාචාර්යවරියක වන යාරා ෂරීෆ්, යුද්ධය ආරම්භ වී සතියකට පසු ඊශ්‍රායල ප්‍රහාරයකින් විනාශ වූ ඇගේ නැන්දණියගේ පවුලට අයත් නිවසේ ඡායාරූප මා වෙත එව්වා ය.

"ඒක හරි ම ලස්සන ගෙදරක්," යාරා පවසයි. "ලොකු මැද මිදුලක් තිබුණු ලස්සන මන්දිරයක්." එය, දෙමාපියන්ගේ නිවාසය මත පුතුන් ඔවුන්ගේ පවුල් සඳහා නිවෙස් ඉදි කළ, පවුල් කිහිපයක් ජීවත් වූ නිවසකි. එය එක් ප්‍රහාරයකින් පරම්පරා කිහිපයක් අතුගා දැමිය හැකි සම්ප්‍රදායක් බව ඉන් අදහස් වෙයි.

A little girl on a bike and a boy on a toy truck play in a garden

ඡායාරූප මූලාශ්‍රය, Alnajjar family

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆාතිමා (වයස අවු. 5) සහ අනාස් (වයස අවු. 3) මියයෑමට පෙර උතුරු ගාසාහි ඔවුන්ගේ නිවසේ ගෙවත්තේ දී

මෙම ප්‍රහාරයෙන් යාරාගේ නැන්දා සහ මාමා, ඇගේ ඥාති සොහොයුරියන් දෙදෙනා සහ ඔවුන්ගේ දරුවන් 10 දෙනා මෙන් ම මෙම විස්තෘත පවුලේ සාමාජිකයින් හයදෙනෙකු ඇතුළු 20 දෙනෙක් මියගියේ ය.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත් අතර එම මරණ හමාස් විසින් පාලනය කරනු සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මරණ ලැයිස්තුවේ අන්තර්ගත විය. ලැයිස්තුවේ ඒ නම් රතු පැහැයෙන් ලකුණු කර එහි ස්ක්‍රීන්ෂොට් එකක් යාරා අප වෙත එවී ය. ලැයිස්තුවේ දකුණු පස, ඔවුන්ගේ වයස් සටහන් කර තිබිණි - සාමාට අවුරුදු 16කි, ඕමාර්ට 14කි, අබ්දුල්ට 13කි, ෆාතිමාට 10කි, ඔබයිඩාට 07කි, ඇලමන් සහ ෆාතිමා යන දෙදෙනා ම පස් හැවිරිදි වියේ පසුවිය. යූසෆ්ට හතරක් සහ සාරා හා අනාස්ට වයස අවුරුදු තුනක් විය.

යාරාට ඉතිරිව සිටින්නේ ඥාති සහෝදරියන් දෙදෙනෙකු පමණි. නම් සඳහන් නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේ, මාධ්‍ය වෙත අදහස් දක්වන පිරිස් ඉලක්ක බවට පත්වනු ඇති බවට පැතිර ගිය පදනමකින් තොර කටකතාවකට බිය වීම නිසා ය.

මෙම සහෝදරියෝ ගාසාහි විවිධ ප්‍රදේශවල සිටින අතර අවමංගල්‍යය උත්සවයක් පැවැත්වීමට හෝ ශෝක වීමට එකිනෙකා වෙත ළඟා විය නොහැකි තත්ත්වයක පසුවෙති. කෙසේ වෙතත්, යාරාගේ ඥාති සොහොයුරිය ඇය වෙත එවූ පණිවිඩයක් පරිදි: "මුහම්මද්ගේත්, අම්මගේත් දරු දෙදෙනාගේත් සිරුරු තියෙන්නේ තවමත් සුන්බුන් යට," බව සඳහන් කර තිබිණි.

Three young boys receiving awards at school

ඡායාරූප මූලාශ්‍රය, Alnajjar family

ඡායාරූප ශීර්ෂ වැකිය, අබ්දුල්රහාම් සහ ඔහුගේ ඥාති සොහොයුරන් වන ඕමාර් සහ ෆාමි. ෆාමිගේ සිරුර තවමත් සුන්බුන් අතරින් ගොඩගැනීමට නොහැකි වී තිබේ

කැණීම් යන්ත්‍ර පණ ගැන්වීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන ගාසා තීරයේ නොමැති අතර, පණ ගැන්විය හැකි යන්ත්‍ර ජීවතුන් අතර සිටින අය බේරා ගැනීමට ප්‍රමුඛත්වය දෙයි.

සිකුරාදා(ඔක්තෝම්බර් 27), මම අහමඩ් සමග ප්‍රවෘත්ති නරඹන විට දුටුවේ, මියගිය අයගේ ලැයිස්තුව තිරයේ පහළට දිග හැරෙන අයුරු ය. ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ නම් එහි තිබේදැ යි මම ඔහුගෙන් ඇසුවෙමි. "12 දෙනෙක් විතරයි ඉන්නේ," ඔහු පැවසීය. අනෙක් නව දෙනාගේ සිරුරු ගොඩගෙන නොතිබිණි.

පසුගිය සතියේ බෝම්බ ප්‍රහාරය එල්ලවන විට ඇගේ නිවසේ සිටි ඔහුගේ වැඩිමහල් සහෝදරිය සුන්බුන් බැලීමට ගියා ය. නමුත් ඇය අහමඩ්ට පැවසුවේ, නරක්වෙන සිරුරුවලින් වහනය වූ ගන්ධය දරාගත නොහැකි නිසා ඇය වැඩි වේලාවක් එහි නොසිටි බව ය.

අහමඩ් සිකුරාදා සිට ඔහුගේ සහෝදරියන් කිසිවෙකුට කතා කර නැත. ඔවුන්ගේ දුරකතන ප්‍රතිචාර නොදක්වන අතර, ඔවුන්ට සිදුවූයේ කුමක්දැ යි ඔහු නොදනියි.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහුට දැනුණු දේ විස්තර කිරීමට ඉංග්‍රීසි භාෂාවේ වචන ඔහුට ප්‍රමාණවත් නොවුණි. ඔහුගේ හදවත තවදුරටත් ඔහුගේ උරස් කුහරයේ නොතිබුණාක් මෙන්බව ඔහු පවසයි. ඇඬීමෙන් කිසිවක් වෙනස් නොවන නිසා අඬා පළක් නැතැ යි ඔහු පවසයි.

ඔහු නොසන්සුන් ය: "මට එක විධියකට හිටගෙන ඉන්න බැහැ වගේ මට දැනෙනවා. මට එක විධියකට වාඩි වෙලා ඉන්න බැහැ. රෑට නින්ද යන්නේ නැහැ."

"මේ හැඟීම දැනෙන එක නවත්තන්න කරන්න පුළුවන් දෙයක් නැහැ."

Eslam, Abdullah, Raghad and Sarah

ඡායාරූප මූලාශ්‍රය, Alnaouq family

ඡායාරූප ශීර්ෂ වැකිය, එස්ලම්, අබ්දුල්ලා, රගාද් සහ සාරා

මියගිය අය අතර අහමඩ්ගේ බාල සොහොයුරා වන මහමුද් ද වේ. ඔහු සේවය කළේ අහමඩ් ද සේවය කළ, පලස්තීන තරුණ තරුණියන්ට ඔවුන්ගේ කතා ලොවට පැවසීමට පුහුණු කරන 'වී ආර් නොට් නම්බර්ස්' නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ය.

මහමුද්ට ඔස්ට්‍රේලියාවේ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමිවී තිබුණි. යුද්ධයට සතියකට පසු ඔහු අහමඩ්ට පැවසුවේ, තමාට යාමට අවශ්‍ය නැති බව ත්, ගාසා තීරයට බෝම්බ හෙළීමට බටහිර රටවල් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන තමා කෝපයෙන් සිටින බව ත් ය. ඔහු Xහි (මීට පෙර ට්විටර්) මෙසේ ලිවීය. "මගේ හදවතට මේක තවදුරටත් දරා ගන්න බැහැ. අපි සමූල ඝාතනය වෙනවා." සතියකට පසු ඔහු ඔහුගේ පියාගේ නිවසේ දී ඝාතනයට ලක් විය.

ඔහුගේ පියා ගැන කතා කරන අහමඩ් පවසන්නේ, ඔහු දැන සිටි කරුණාවන්තම මිනිසා ඔහු බව ය. ඔහු කුලී රථයක් පදවමින්, ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් පවුලට අධ්‍යාපනය ලබාදීමට සහ නිවසක් තනාදීමට වෙහස මහන්සි වී වැඩ කළේ ය. ඔහු ප්‍රවෘත්තිවලට උමතුවෙන් මෙන් ලෙස සවන් දුන් අතර, මෙම ගැටුමට ඇති එක ම විසඳුම යුදෙව්වන් සහ පලස්තීනුවන් එකිනෙකා සමග සාමයෙන් ජීවත් වන ඒකීය රාජ්‍යයක් බව විශ්වාස කළේ ය.

නමුත් අහමඩ් ඔහුගේ දිවි ගලවාගත් එක ම ඥාති පුතණුවන් ගැන සිතන විට කල්පනා කරන්නේ, මෙම යුද්ධය ඔහුගේ මුළු පවුල ම අහිමි කිරීමෙන් පසු ඕමාර් කුමක් විශ්වාස කරයි ද යන්න ය.