ලෝකයේ වේදනාව විදහාපාන වීදි සිතුවම්

2020 ග්‍රීෂ්ම ඍතුවේ දී, ලොව පුරා නගරවල තාප්ප බිත්ති මත පුද්ගලයෙකුගේ මුහුණු රූපයක් සිතුවමට නැගී තිබිණි: ඒ, 2020 මැයි 25 වන දින පොලිස් නිලධාරි ඩේවිඩ් ෂෝවින් විසින් අමානුෂික ලෙස හුස්ම සිරකර මරා දමන ලද කළු ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ රූපයකි. එම සිතුවම් අතරින් බහුතරයට පදනම් වී තිබුණේ, ෆ්ලොයිඩ් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ 2016 වසරේ දී ගන්නා ලද ඔහුගේ ඡායාරූපයකි. බොහෝදෙනෙක් ඔහු ඝාතනය කිරීමේ දී දුන් වධහිංසා සහ ඔහුගේ අවසන් වචන ගැන සඳහන් කළහ. ඇමෙරිකාවේ සිට සැතපුම් දහස් ගණනක් එපිටින් පිහිටි යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන මහද්වීපවල නගරවල ද ෆ්ලොයිඩ් වෙනුවෙන් වීදි සිතුවම් නිර්මාණය කරමින් උපහාර දැක්වීමේ විරෝධතා රාශියක් සිදු කෙරිණි.

කරච්චියේ දී, ට්‍රක් රථවල සිතුවම් අඳින චිත්‍ර ශිල්පී හේදර් අලි ඉංග්‍රීසි හෑෂ්ටැග් ('#blacklivesmatter') සහ උර්දු ගී පද ("මේ ලෝකය සුදු හෝ කළු ජාතිකයින්ට අයිති නැත, එය අයිති හදවත් ඇති අයට යි") යනුවෙන් සඳහන් කර සිතුවමක් පින්තාරු කළේ ය; වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ්හි, යුද්ධයෙන් විනාශ වූ නටබුන් අතර ෆ්ලොයිඩ් පෙනී සිටියේ ය; නයිරෝබිහි, ඔහුව සිත්තම් කර තිබුණේ 'යුක්තිය' යන අර්ථය ඇති "හාකි" යන ස්වාහීලී වචනය සමගිනි (කෙන්යානු චිත්‍ර ශිල්පී ඇලන් මුවන්ගි, හෙවත් මිස්ටර් ඩීටේල් සෙවන්, විසින් ඇඳි සිතුවමක); පලස්තීන චිත්‍ර ශිල්පී ටාකි ස්බාතින් බටහිර ඉවුරේ බාධකය මත ෆ්ලොයිඩ් සිතුවම් කළේ ය; බර්ලිනයේ මවර්පාක්හි බිත්තියක් මත ඩොමිනිකානු ජාතික චිත්‍ර ශිල්පියෙකු වන එමී ෆ්‍රීතින්කර් විසින් ෆ්ලොයිඩ් සිත්තම් කෙරිණි. ඒ සමගම ප්‍රසිද්ධ ඇමෙරිකානු කළු ජාතික චරිත රාශියක් ද ඇඳ තිබුණි: මැල්කම් එක්ස්, මාර්ටින් ලූතර් කිං, ඇන්ජෙලා ඩේවිස්, ෂෝන් මයිකල් බාස්කියට් සහ සංගීතඥ ප්‍රින්ස් එහි වූහ.

මෙම සිතුවම් මානව සංවේදනයට සහ බ්ලැක් ලයිව්ස් මැටර් (Black Lives Matter/කළු ජාතික ජීවිත වටනේ ය) ව්‍යාපාරයේ ආරම්භයට සාක්ෂි දැරුවේ ය. බිතුසිතුවම් යනු පෞරාණික ක්‍රමවේදයක් (ඉපැරණි ග්‍රීසියේ සහ රෝමයේ බිතු සිතුවම් කලාව තෙක්) මෙන් ම සමාජය පිළිබඳ සමකාලීන ප්‍රකාශයකි. ස්වාධීන බිතුසිතුවම් සහ අණ කිරීමක් මත සිදුවුණු ප්‍රසිද්ධ චිත්‍ර නිසා ද Black Lives Matter වෙත අවධානය යොමුවිය. ඉතිහාසය දැඩි ලෙස ප්‍රශ්න කරන වසරක සහ ගෝලීය වසංගතයක් හේතුවෙන් සාම්ප්‍රදායික ගැලරි සහ කෞතුකාගාර වසා දමා ඇති වසරක, වීදි චිත්‍ර විවිධ දෘෂ්ටි කෝණයන් ඉස්මතු කළේ ය. ෆ්ලොයිඩ්ගේ ඝාතනය ප්‍රසිද්ධියේ සිදුවූ භීෂණයක් (කැමරාවක සටහන් කරගත්) බවට පත්වූ නමුත්, එවැනි භීෂණ සිදුව ඇත්තේ ඔහුට පමණක් නොවේ. පරම්පරා ගණනක අහිංසක කළු ඇමෙරිකානු වින්දිතයින්ගේ නම් බිත්ති ස්මාරකවල දැකිය හැකි ය. ඒ අතර, බ්‍රියෝනා ටේලර් (2020 මාර්තු 13 වන දා ඇයගේ ම නිවස තුළදී පොලිසිය විසින් මරා දමන ලදී), 12 හැවිරිදි තමීර් රයිස් (2014 නොවැම්බර් 22 වන දා පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය), 14 හැවිරිදි එමෙට් ටිල් (1955 අගෝස්තු 28 වන දා ජාතිවාදීන් පිරිසක් විසින් ඝාතනය කරන ලදී) වූහ.

ජාත්‍යන්තර චිත්‍ර ශිල්පීහු ඔවුන්ට ආවේණික වූ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරති: ෆ්ලොයිඩ් පිළිබඳ නයිරෝබිහි ඇඳි සිතුවම කෙන්යාවේ පොලිස් කෲරත්වය පිළිබඳ චෝදනා දෙස අවධානය යොමු කරයි: ෆ්‍රීතින්කර් නමැති කලාකරුවා පැවසුවේ, ඔහුගේ බර්ලින් බිතු සිතුවම ෆ්ලොයිඩ්ගේ මරණය මවාපෑමකට වඩා ඔහුගේ ජීවිතයට ගෞරව කිරීමක් විය යුතු බව ය. එහෙත්, ඔහු සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ, "කිසි ම හේතුවක් නැතිව මගේ රටේ ගොඩක් මිනිස්සු පොලිසිය නිසා ඝාතනය වෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා ඒක කොහොම දෙයක් ද කියලා මම දන්නවා," යනුවෙනි. අනීස් හම්දූන් සමග ඉඩ්ලිබ්හි බිතු සිතුවමක් නිර්මාණය කළ අසිස් අස්මාර් 'ද නැෂනල්' පුවත්පතට පැවසුවේ, "කලාව විශ්වීය භාෂාවක්. අපේ මනුෂ්‍යත්වයට අපෙන් අවශ්‍ය වෙන්නේ අසාධාරණයට මුහුණදෙන අනෙක් මිනිස්සු එක්ක එක්වෙන එක. විනාශ වෙච්චා ගොඩනැගිලිවල බිත්ති මත චිත්‍ර අඳිනකොට අපි ලෝකයට කියන්නේ, මේ ගොඩනැගිලි යට මියගිය මිනිස්සු ඉන්නවා, ගෙවල් අතෑරලා ආපු මිනිස්සු ඉන්නවා කියලා. ඒකෙන් පේනවා ඇමෙරිකාවේ වුණ අසාධාරණය වගේ මෙතනත් අසාධාරණයක් වුණා කියලා," යනුවෙනි.

බිතු සිතුවම්වල තාවකාලික ගුණාත්මකභාවයක් මෙන් ම කල්පවත්නා බලයක් ද රැඳී තිබේ. The City Beneath: A Century of Los Angeles Graffiti නමැති ග්‍රන්ථයේ කතුවරිය යන සූසන් ඒ. ෆිලිප්ස් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ පළකළ ලිපියක් මඟින් තර්ක කළේ, "දේශපාලනික බිතුසිතුවම් කියන්නේ පළාත් පාලන ආයතන සහ පොලිසිය වීදි වසා දැමීමට උත්සහ දරන පසුබිමක නාගරික අවකාශය භාවිත කිරීම සඳහා කරන තීරණාත්මක මැදිහත්වීමක්. විරෝධතා විසුරුවා හැරීමෙන් පසුව පවා ඔවුන්ගේ සාමූහික හඬට සාක්ෂියක් ලෙස සිතුවම් ඉතිරි වෙනවා. සිතුවම් ඉක්මනින් සෝදා හැරිය හැකි වුවත්, ඉතිහාසයේ කොටසක් බවට පත්වීම වැළැක්විය නොහැකියි."

ෆ්ලොයිඩ්ගේ ඝාතනය සිදුවූ ඇමෙරිකාවේ දකුණු මිනියැපොලිස්හි කප් ෆුඩ්ස් වෙළඳසැල් ගොඩනැගිල්ල මේ වන විට අනුස්මරණීය සිතුවම්වලින් සරසා තිබේ. එහි විශේෂ චලනය වන කොටසක් නිර්මාණය කරන ලද්දේ, දේශීය චිත්‍ර ශිල්පිනියක සහ ගුරුවරියක වන මෙඩෝලී ස්ට්‍රෝං විසිනි. ෆ්ලොයිඩ්ගේ මරණාසන්න ආයාචනය සිහි කරමින් 'මමා' ලෙස නම් කර ඇති එය ඇමෙරිකානු ධජයක් ඉදිරිපිට දුක්වන කළු ජාතික මව්වරුන් නිරූපණය කරයි.

"මම ත් අම්මා කෙනෙක්. ජෝර්ජ් අම්මා කියලා කෑ ගහනකොට, ඔහු අවසන් හුස්ම හෙළනකොට, මට ත් ඇඬුණා," මෙඩෝලී ස්ට්‍රෝං BBC Culture වෙත පැවසීය. "අපි මොකක් හරි ලොකු ප්‍රශ්නයක ඉන්න වෙලාවට, එහෙමත් නැත්නම් බය වුණ වෙලාවට අපි කතා කරන්නේ දෙවියන්ට හෝ අම්මාට යි. මගේ පුතාට පොලිසියෙන් අඩන්තේට්ටම් කළා. මම දන්න කියන ගොඩක් අය පොලිසියේදී අපයෝජනයට ලක්වූ අවස්ථා මම දැකලා තියෙනවා. එම බොහෝ සිදුවීම්වල බිය සහ අත්දැකීම්වලින් අපට දැනෙන වේදනාව මා සිතුවම් කළ මුහුණුවලින් මට දැනෙනවා.. මේ සිතුවම ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන වුණත්, ඒක පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් දරුවන් අහිමි වූ සියලු ම මව්වරුන් වෙනුවෙන් කැප කරනවා."

අප කොතැනක සිටිය ද, සමාජ මාධ්‍ය මෙම වීදි සිතුවම් සහ ප්‍රකාශ අපට වඩාත් සමීප කරවයි. දේශීය සහ ගෝලීය මට්ටමින් වීදි බිතුසිතුවම්වල ධනාත්මක බලවේගය ජයග්‍රහණය කරයි ("එය ප්‍රජාව සවිබල ගන්වන අතර එය අභිමානයක් ලබා දෙයි. මෙම රූපවල නියෝජනය වන පුද්ගලයින් සහ සංස්කෘතිය ප්‍රජාවකට වටිනාකමක් දෙයි. ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගත් කල, එය මෙතරම් කාලයක් යටපත් කර තිබූ හඬට අවකාශයක් ලබා ගැනීමට ඉඩ සලසයි"). ඒ සමග ම, මාධ්‍ය දැනුමක් ඇති කලාකරුවන් ඇතැම් විට ප්‍රජා හඬ යටපත් කරන ආකාරය පිළිබඳව ද ඇය සියුම් කරුණු ඉදිරිපත් කරයි:

"මම තවමත් මේක පිළිගන්නවා," ඇය පවසයි. "හැම කෙනෙකුට ම මතයක් තියෙනවා. හැමෝම ඒ ගැන ක්‍රියා කරන්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව. සුදු වාර්ගික කලාකරුවන් තමන්ගේ ඉතිහාසය පිළිබඳ සලකුණු තබන එක වරදක් විදිහට මම දකින්නෙ නෑ. ඒත් මම විශ්වාස කරනවා, කළු ජාතික, දේශීය සහ අඳුරු සම සහිත කලාකරුවන්ට ත් (BIPOC artists) තැනක් ලැබිය යුතුයි කියලා. බොහෝ විට අපි පැත්තකට වෙලා හිටියේ. ඒත්, දැන් සමාගම් සහ අනුග්‍රාහකයන් අපගේ වැඩ සොයා යන ප්‍රවණතාවක් දකිනවා; එය 'සුදු අයගේ වරද පිළිගැනීමක්' හෝ 'හුදු ජනප්‍රිය ප්‍රවණතාවක්' දැයි විශ්වාස නෑ. නමුත් BIPOC කලාකරුවන් සැම විට ම මෙහි සිට ඇති අතර ඉදිරියට ත් සිටින බව වටහා ගත යුතු යි."

ස්ට්‍රොංගේ අදහසට අනුව මෙම අර්බුදය සඳහා කල්පවත්නා වෙනසක් අවශ්‍ය වේ: "අපිව නිකම් ම පාවිච්චි කරන්න එපා. අපේ හඬ සවිබල ගන්වන්න අවශ්‍ය සම්පත් සහ වේදිකාව අපට සපයන්න. එය ප්‍රවණතාවක් තෘප්තිමත් කිරීම පමණක් නොව සැබෑ වෙනසක් සඳහා ප්‍රයත්න දැරීමක් විය යුතු යි. ඒ වගේ ම සැබැවින් ම අපට ඇහුම්කන් දෙන්න. අපි කිහිප දෙනෙකුට සවන් දෙන්න. එක් කලාකරුවෙක් පමණක් තෝරාගෙන ඔහුව හෝ ඇයව සමස්ත කණ්ඩායමේ ප්‍රකාශයකයා බවට පත් නොකළ යුතු යි. අපි අපේ ප්‍රජාව ඇතුළේ විවිධත්වයක් දරනවා. අපට වෙනස් ආකාරයේ දේවල් ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා."

සාධාරණ කෝපය

Black Lives Matter ව්‍යාපාරයට සම්බන්ධ සිතුවම්වල සාධාරණ කෝපයක් නිරූපණය වන නමුත් ඒවායේ සුන්දරත්වයක් ද දැකිය හැකි ය: ශ්‍රේෂ්ඨ චින්තකයින්, නිර්මාණකරුවන් සහ ක්‍රියාකාරීන්ගේ නම්; එකමුතුකම සහ ශක්තිය දැක්වෙන රූප ඒ අතර වේ. කළු වර්ණය සහිත පුද්ගලයින්ගේ අත්දැකීම් හුදෙක් කම්පනයක් ලෙස ලඝු කළ නොහැක; එහි සැමරුම් සහ ආස්වාදජනක පරාසය සම්පූර්ණයෙන් ම පිළිගත යුතු ය. Black Lives Matter සමග නිශ්චිතව සම්බන්ධ නොවූ, නමුත් ඔවුන්ගේ කෘතීන් එහි ශක්තිය මූර්තිමත් කරන සැලකිය යුතු සමකාලීන කලාකරුවෝ ද සිටිති. ලන්ඩන්හි චිත්‍ර ශිල්පියෙකු සහ අධ්‍යාපනඥයෙකු වන ඩ්‍රෙෆ් (නීකායේ සානේ) විසින් අඳින ලද සිතුවම් බ්‍රසීලය ඇතුළු ලෝකය පුරා ස්ථාන රැසක දක්නට ලැබේ.

"මගේ අරමුණ තමයි පෙළඹවීමක් ඇති කිරීම; ඔබට කම්පනයක් ඇතිවූ විට ඔබ කරන්නේ කුමක් ද?" ඩ්‍රෙෆ් BBC Culture වෙත පැවසීය. "දවස පුරා ම අපි ඍණාත්මක දේවලින් පහර කෑමට ලක්වෙනවා. ඒ ගැන අපි කරන්නේ මොනවා ද? එය ධනාත්මක දෙයකට හැඩ ගැසිය යුතු යි... සන්දර්භය කුමක් වුවත්, සත්‍ය, ප්‍රබෝධවත්, අර්ථාන්විත, සිතුවිලි අවුස්සන කාර්යයක් කිරීමට යි මට අවශ්‍ය වන්නේ."

ඩ්‍රෙෆ්ගේ බලපෑම්සහගත සිතුවම් අතරට නිව් යෝර්ක්හි හිප්-හොප් බිතු සිතුවම ද ඇතුළත් වේ ("අපේ කාර්යය වූයේ ප්‍රවේශ විය නොහැකි සහ ළඟා වීමට අපහසු ස්ථාන වෙත අපගේ නිර්මාණ ගෙන ඒමයි; මම වැඩ කරන්නේ ඒ මානසිකත්වය සමග යි"). ඔහුගේ සිතුවම් විලාසය කාලෝචිත වන අතර පැහැදිලිව ම ඔහුගේ ම නිර්මාණ බව පෙනී යයි. බ්‍රිතාන්‍යයේ, ඔහුගේ වීදි-ආලේඛ්‍ය සිතුවම් මාලාවට බහු සංස්කෘතික දේශීය වීරයන්ගේ සැමරුමක් වන Migrations නමැති චිත්‍රය ද ඇතුළත් වේ - විශේෂයෙන් කැරිබියන් සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයන් සිය ගණනක් වැරදි ලෙස පිටුවහල් කෙරුණු Windrush අර්බුදය ඉන් ප්‍රතිනිර්මාණය කෙරිණි.

You Are Enough නමැති සිතුවම තවත් එවැනි නිර්මාණයකි. ඉන් ප්‍රබෝධවත් නූතන කාන්තාව නිරූපණය කරයි. 18 වන සියවසේ බටහිර අප්‍රිකාවේ උපත ලද ලේඛකයෙකු වූ ඕලෝඩා ඉක්වියානෝගේ බිතුසිතුවමක් බෙල්ෆාස්ට්හි නිර්මාණය කර තිබේ; ඉක්වියානෝ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු වුව ද, මෙම සිතුවම හරහා ඔහු පිළිබඳව සමාජයීය අධ්‍යාපනයක් ලැබේ.

එහි හොඳ ම දෙය නම්, වීදි සිතුවම් තුළින් ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කරයි. "මට තේරිලා තියෙනවා, බිතු සිතුවම් කලාව යතුරක් කියලා. මට වීදි සිතුවම් ව්‍යාපාරය නිසා ලෝකයේ ඕන ම රටකට ගිහින් ඒ රටේ වාසය කරන්නෙක් මුණ ගැහෙන්න පුළුවන් මිනිත්තු කිහිපයකින්. ඒක ජාලයක්," ඩ්‍රෙෆ් පවසයි. "මම යන හැම තැනකදී ම, මම කරන දේ ගැන ඉගෙන ගන්නවා වගේ ම ඒක තවත් දියුණු කරනවා. මගේ සිතුවම්වල එක් කොටසක් තමයි ප්‍රජාවට සවන් දීම," ඔහු ප්‍රකාශ කළේ ය. "උදාහරණයක් විදිහට කිව්වොත් මම බ්‍රික්ස්ටන් (දකුණු ලන්ඩනයට අසල්වැසි නගරයක්) ගියොත් මගේ සිතුවමක් නිර්මාණය කරන්න මට අවම දින තුනක් ගත වෙනවා. මම ඒ සිතුවම් හරහා මම අත්දැකපු නැති යමක් ඒ විශේෂ ප්‍රජාවට ලබා දෙනවා. දවස් දෙකකට විතර පස්සේ මම තේ කෝප්ප කිහිපයක් බොන අතරතුර, මට ඒ රටේ දේශපාලනික තොරතුරු දැන ගන්න ලැබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ඒ ප්‍රදේශය ගැන තොරතුරු දැන ගන්නවා. සිතුවමක් හරහා ජනතාව දකින්නේ මගේ කාර්යයෙන් කොටසක් විතරයි."

ඩ්‍රෙෆ්ගේ බොහෝ කලා කෘති සැලකිය යුතු කාලයක් තිස්සේ එහි පවතියි; ඒ අතරින් තරුණ කළු ජාතික කාන්තාවකගේ රූපයක් (මීටර් 5ක් උස මීටර් 2ක් පළල) ප්‍රධාන පෙළේ බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන EastEndersහි එළිමහන් පසුතලයේ ස්ථිර අංගයක් බවට පත්විය.

EastEnders මේ කාර්යය මට කරන්න කියලා කියපුවා ම, සර්ව කාලීන වැඩක් ඔවුන්ට අවශ්‍ය වුණා," ඩ්‍රෙෆ් පැවසීය. "ඔවුන්ට අවශ්‍ය වුණා අර්ථාන්විත දෙයක් කරන්න. මම කරපු දේ පදනම තමයි මේ සියලු වචන. වෙලාවට අනුව ඒක කරන්න මට හැකි වුණා. ඔවුන්ට අවශ්‍ය වුණා අව්‍යාජ දෙයක්."

එවැනි පොප් සංස්කෘතික සංසිද්ධියක් Black Lives Matter සමග සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීම සුදුසු ය; EastEndersහි පසුබිම සැපයීම කල් ඉකුත් වූ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමක් වේ (ජීවිත කාලය පුරා මෙම වැඩසටහන නරඹන්නෙකු ලෙස මීට වසර 30කට පෙර එය ආරම්භයේදී මෙවැනි ප්‍රකාශයක් කිරීමට සිදුවේයැයි මට සිතුණේ නැත). මාධ්‍ය, ප්‍රජාවන් සහ මහද්වීප හරහා වීදි සිතුවම් එවැනි ජීව ගුණයක් සන්නිවේදනය කරයි. එය වටිනා මතකයක්, සීමාරහිත විවිධත්වයක් සහ නොමැකෙන දර්ශනයක් ගෙන එයි.