ලොව පුරා මුස්ලිම් බැතිමතුන් උපවාසයට එළඹෙන රාමසාන් සමය ගැන මේ තොරතුරු ඔබ දැන සිටියාද?

මුස්ලිම් බැතිමතුන් උපවාසයට එළඹෙන රාමසාන් සමය ගැන මේ තොරතුරු ඔබ දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, AFP

රාමසාන් උපවාස සමය හෙට මාර්තු (24) සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය ඊයේ (23) නිවේදනය කළේය.

නව අඩ සඳ ඊයේ දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය, සමස්ත ලංකා ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඊයේ මෙම නිවේදනය ඒකාබද්ධ නිකුත් කරනු ලැබීය.

දින 30 ක් හෝ 29 ක් මෙම උපවාස කාලය පවතින අතර ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරන අතර ඇතැම් මුස්ලිම් ප්‍රජාවෝ තාරකා විද්‍යාත්මක ගණනය කිරීම අනුව රාමසාන් උපවාසය ආරම්භ කරති.

රාමසාන් යනු කුමක්ද?

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වේ. රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත් වේ. මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බු මාසය ලෙස හඳුන්වනු ලබයි.

පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වනු ලබන රාමසාන් උපවාස සමය අල්ලාහ් දෙවියන් විසින් මුස්ලිම් බැතිමතුන්ට අනිවාර්ය කරන ලද සිවුවැනි වගකීම ද වේ.

“විශ්වාසවන්තයනි ! ඔබට පෙර වූ සමාජයන් වෙත අනිවාර්ය කළ පරිදි ඔබට ද උපවාස ශීලය රැකීම අනිවාර්ය කර තිබේ. (එහෙයින්) ඔබට පවිත්‍ර වීමට අවස්ථාව තිබේ.” යනුවෙන් ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් වී ඇත.

සමාව දීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන්වූ මාසය ලෙසද රමලාන් මාසය සැළකේ. උපවාසය රැකිය යුත්තේ ද ඒ මාසයේදීමය.

උපවාසය

උපවාස දිනවල දී අලුයම 4.30 පමණ කාලයේ සිට සවස 6.30 පමණ වන පැය 14ක කාලයක් පුරා නිරාහාරව ගත කරමින් රැක ගන්නා මේ ශීලයේ අරමුණු රැසකි.

අනිකුත් මාස වල මෙන්ම රාමසාන් උපවාස සමය තුළ ද සිය දෛනික කටයුතු සිදු කරන අතරේ ආගමික කටයුතුවලට ද මුල් තැන දී කටයුතු කළ යුතු බව ඉස්ලාමය පවසයි.

ආගමික ප්‍රතිපත්තියට අනුව ජීවිතය හැඩගස්වන ඉස්ලාමය රාමසාන් මාසයේදී මිනිසාට කුසගින්නේ මහිමයත්, සිත පාලනය කර ගනිමින් දෛනික කටයුතුවල යෙදීමටත්, විඩාබර ශරීරයේ දුක් කරදර උපේක්‍ෂාවෙන් යුතුව විඳ දරා ගැනීමටත් උගන්වනු ලැබේ.

ඒ සියලු කරුණු මැද තන්හාව මර්දනය කොට චිත්ත පාරිශුද්ධත්වයෙන් යුතුව අසරණයන්ට උදව් උපකාර කරන ලෙසද ඉස්ලාමය පවසයි.

මුස්ලිම්වරුන්ගේ උපවාසය රැකීම යනු නිරාහාරව සිටීම පමණක් නොවේ. මේ සමයේ දී ආදරය සමඟ ධාර්මික චින්තනය ද මුසු විය යුතු බව ඉස්ලාමයේ දැක්වේ.

ශුද්ධ වූ රාමසාන් මාසය තුළ කොළඹ ජුම්මා මස්ජිඩ් පල්ලියේදී මුස්ලිම්වරයෙක් යාඥා කරන අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශුද්ධ වූ රාමසාන් මාසය තුළ කොළඹ ජුම්මා මස්ජිඩ් පල්ලියේදී මුස්ලිම්වරයෙක් යාඥා කරන අවස්ථාවක්

අනෙකුත් මාසවලදීත් දාන ධර්ම කටයුතු ඉටු කරන්නට ඉස්ලාමයේ පවසා තිබුණද රාමසාන් මාසයේ දී මෙය වැඩි වශයෙන් සිදු කරන ලෙස පැවසෙයි.

“ඔබ ඉටුකරන දාන ධර්මයන් හෙළිදරව් කර දීම මැනවි. එහෙත් ඔබ ඉටු කරන ධර්ම කාර්යයන් දුගීන්ට දීම ඔබට ඉතා කුසල් සහිතය. තවද එයින් ඔබගේ පව්වලින් කොටසක් මැකී යන්නේය” අල් කුර්ආනයේ එසේ සඳහන් වේ.

උපවාසය රැක ගනිමින් ම ධාර්මික පුණ්‍ය කටයුතුවල නිතරවිය යුතු බවත්, ඒ අනුව ජීවත්විය යුතු බවත් ඉස්ලාමයේ එසේ පැහැදිලි කර ඇත.

“බොරු කීමත්, එසේ හැසිරීමත් අත් නොහරින්නේ නම් ඔහු නොකා නොබී උපවාසය රැකීමෙන් පලක් නැත. අල්ලාහ් ඒ උපවාසය පිළි නොගනී. මෙවැනි උපවාසයෙන් අල්ලාහ් ඈත් වන්නේය” යැයි මුහම්මද් නබිතුමාණෝ පවසති.

උපවාස ශීලයෙන් මිදී සිටිය හැකි අවස්ථා

උපවාසය අනිවාර්ය කර තිබුණ ද උපවාස ශීලයෙන් මිදී සිටිය හැකි අවස්ථා කීපයක් ද ඉස්ලාමයේ සඳහන් වේ.

විශේෂයෙන් ගර්භණී මවුවරු, කිරිදෙන මවුවරු, මාසික ඔසප් ක්‍රියාවලියට භාජනය වී සිටින කාන්තාවන්, වයස්ගතව ඉතා දුර්වලව සිටින්නන්, මානසික රෝගවලින් පෙළෙන්නන්, කුඩා දරුවන් සහ දීර්ඝ සංචාරයක යෙදී සිටින්නන්ට මේ උපවාස ශීලය අනිවාර්ය නොවේ.

මෙවැනි අය විසින් තමන්ට උපවාසයේ යෙදීමට නොහැකි වූ සෑම දිනයක් වෙනුවෙන්ම උපවාසයෙන් පසු සහල් වැනි ධාන්‍ය සේරු භාගයකින් පමණ අසරණ හෝ දිළිඳු අයට පරිත්‍යාග කළ යුතුය.

උපවාසයේ යෙදීමෙන් මිනිසා කුසගින්න ඉවසා ගනියි. පිපාසය ඉවසා ගනියි. ආශාව හා හැගීම් ඉවසා ගනියි. සත්‍යයම කතා කිරීමටත්, නිසි මගෙහි ගමන් කිරීමටත් ඉස්ලාමයට අනුකූලව ජීවත්වීමටත් පන්නරය ලබා ගන්නා බව ඉස්ලාමයේ එන්නකි.

රාමසාන් උපවාසය අවසන් කිරීමෙන් පසු රාත්‍රී කාලයේදී උපවාස සමයට පමණක් විශේෂිත වූ තරාවිහ් නැමැති වන්දනය ද ඉටුකරනු ලබන මුස්ලිම් ප්‍රජාව

මෙම මාසය තුළ ශුද්ධ වූ අල් කුරානය අනෙකුත් මාස වලට සාපේක්ෂව වැඩියෙන් පාරායනය කිරීම ද සිදුකරනු ලබයි.

කොළඹ ජූමා මස්ජිද් හි පැවති විශේෂ රාමසාන් යාඥාවකට සහභාගී වී සිටින මුස්ලිම් කාන්තාවන් සහ ළමුන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ ජූමා මස්ජිද් හි පැවති විශේෂ රාමසාන් යාඥාවකට සහභාගී වී සිටින මුස්ලිම් කාන්තාවන් සහ ළමුන්

රාමසාන් උපවාස සමයේ ඉටුකල යුතු තුනවන වගකිම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සකාත් යන පදය පාරිශුද්ධත්වය, අභිවෘද්ධිය, වර්ධනය යන අරුත් දෙයි.

'සකාත්' දීමෙන් එසේ දෙන්නාගේ ආර්ථීකය දියුණු වන බවත් ධනය ආරක්ෂා වී ඔහුගේ සිත පිරිසිදු වී පාරාර්ථකාමිත්වය, අනුන්ගේ සුව දුක් සොයා බැලීම යනා දී යහගුණාංග වර්ධනය වන බව ඉස්ලාමය පවසයි. තවද ආත්මාර්ථකාමිත්වය, අහංකාරය, මසුරුකම යනාදී අයහපත් ගුණාංගයන්ගෙන් මිදෙන බවද ඉස්ලාමය පවසයි.

මුස්ලිම්වරයකු තමා සතු දේපළ, ධනය යනාදියෙන් නියමිත වූ කොටස අල්කුර්ආනය පවසා ඇති පිරිස් අටකට පමණක් දන් දීම ඉස්ලාමීය භාවිතයේ 'සකාත්' යැයි හඳුන්වනු ලැබේ.

මෙය ඉස්ලාමයේ මූලික නැමදුම් ක්‍රියාවන්ගෙන් එකක් වන අතර ඉස්ලාමීය ආර්ථීක ක්‍රියාකාරකම්වල වැදගත් අංගයක් ලෙස ද දැක්විය හැකි ය. මෙය සාමූහික ව ඉටු කිරීමට ඉස්ලාමය තරයේ පවසයි.

සකාතය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ඉන් ඇති වන අයහපත් ප්‍රතිවිපාක පිළිබඳව ද අල්කුර්ආන් හා අල් හදීස්හි අවවාද කර ඇත.

සකාතයේ පරමාර්ථයන් ලෙස ජනයා අතර දුගී භාවය නැති කර ආර්ථික විෂමතාවය අඩු කිරීම, ධනවතුන් තමන්ගේ ධනය සමාජ සේවය සඳහා යෙදීමේ පුහුණුව ලබාදීම සහිත දියුණු කිරීම, සිඟමනේ යෙදිම නතර කිරිම, ධනවතුන් අතර ලෝභකම නැති කර පරිත්‍යාගශීලී භාවය ඇති කිරීම යන කරුණු සඳහන් වේ.

සකාත් අනිවාර්ය වීමට අදාල කොන්දේසි ලෙස මුස්ලිම්වරයකු වීම, නිදහස් මිනිසෙකු වීම, වස්තුව තමා සතු වීම,වස්තුව නියම ප්‍රමාණයෙන් තිබිය යුතු වීම, වර්ෂයක් සම්පූර්ණ වී තිබීම, වර්ධනය වන වස්තූන් වීම, මූලික අවශ්‍යතාවලට අමතරව වැඩිපුර තිබීම යන කරුණු සදහන්ය.

සකාත් දීම අනිවාර්ය වන වස්තූන් ලෙස රත්තරන්, රිදී, මුදල්, ධාන්‍ය වර්ග (තිරිඟු, වී යනාදිය), පශු කාණ්ඩයට අයත් සතුන් (එළු, හරක්, ඔටු) යන සතුන්, පලතුරු වර්ග (රටඉඳි, මිදි), වෙළෙඳ භාණ්ඩ ඇතුලත් වේ.

සකාත් ලැබීමට සුදුසු අය කවුරු ද යන්න අල්කුර්ආනය පැහැදිලිව දක්වා ඇත.

(සකාත් නම්) දන් දීම, ආදායමක් නොමැත්තන්, දුගීන්, සකාත් එකතු කරන අය, ඉස්ලාමය වෙනුවෙන් සිත් පැහැදී පැමිණි අය, වහල්භාවයෙන් නිදහස ලැබුවන්, ණය බරින් පීඩාවට පත්ව සිටින්නන් (ඉස්ලාමය අනුමත වියදම් සඳහා), අල්ලාහ්ගේ මාර්ගයෙහි නියැලී සිටින්නන්, ආගම අනුමත කළ ගමන් බිමන්වල යෙදී සිටින්නන් යන කාණ්ඩ අටක පිරිස් සුදුසුකම් ලබයි.

ශුද්ධකාරක ධන බද්ද රාමසාන් මාසයේ ධනවතුන් විසින් දුප්පතුන්ට ගෙවිමද අනිවාර්යවේ.

"සකාත්" යනු තමා හා තමන්ගෙන් යැපෙන්නන්ට සරිලන තරමේ වත්කමක් ඇති කෙනෙකු ඔහුට අතිරේකව ඇති වත්කම එයට අදාළ ප්‍රමාණය පූර්ණ වූ විට යම් නිශ්චිත දුප්පත් පාර්ශවයන්ට ලබාදීම අදහසයි. සකාතය අනිවාර්ය වන ද්‍රව්‍යයන් ලෙස රන්, රිදි, වෙළඳ භණ්ඩ, සතුන්, කෘෂි බෝග, මිල මුදල් යන දේවල් අඩංගු වේ. ඒවාට සකාත් ගෙවිම අනිවාර්ය වේ.

උදාහරණයක් ලෙස මූල්‍යමය වටිනාකමක් ඇති ද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවාවන් සඳහා සකාත් ගණනය කිරීමේ දී එය වර්තමාන මුදලේ වටිනාකම අනුව 2.5% ක් ගෙවීම සිදු කල යුතු වේ.

එසේම එය ඉහත සඳහන් කල රන් රිදි කෘෂි යන ද්‍රව්‍යයන් හා ඇති කරනු ලබන සතුන් හට ප්‍රමාණයන් පුර්ණ වු විට "සකාත්" ගෙවන ප්‍රමාණය එකින් එකෙට වෙනස්වේ.

රාමසාන් උපවාස සමයේ ආහාර රටාව

ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාස සමය යනු මුස්ලිම්වරුන්ට සතුට ගෙන දෙන මාසයක් ලෙස සැලකේ. වසරක් පුරා මහන්සි වී ඉප යු සිය ධනයෙන් සුළු ප්‍රතිශතයක් දුප්පත් ජනතාවට බෙදාදීම සහ දුප්පත් පොහොසත් භේදයකින් තොරව මුස්ලිම් නිවෙස්වල ආහාර සංචිත වැඩිවන මාසයක් ලෙස ද මෙය සැලකේ.

පැය 14ක කාලයක් නිරාහාරව සිටීමෙන් පසු ඉර බැස යන මොහොතේ රාමසාන් උපවාස සමය අවසන් කිරීමට මුස්ලිම් ප්‍රජාව කටයුතු කරනු ලබයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය අවසන් කරන මොහොතේ දකුණු පළාතේ මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස තිරිඟු, කැකුළු හාල් ඇතුළු කුළු බඩු යොදා සකස් කරනු ලබන විශේෂ කැඳ වර්ගයක් මුස්ලිම් පල්ලි මගින් නිවෙස්වලට බෙදා දෙනු ලබයි.

රාමසාන් උපවාස මාසය තුළ මුස්ලිම් බැතිමතුන් උපවාසය අත්හැරීමට ශ්‍රී ලංකාවේදී නම් ප්‍රාදේශීය වශයෙන් සුළු සුළු වෙනස්කම් සහිතව කැඳ වර්ග පිළියෙළ කර ගනු ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රාමසාන් උපවාස මාසය තුළ මුස්ලිම් බැතිමතුන් උපවාසය අත්හැරීමට ශ්‍රී ලංකාවේදී නම් ප්‍රාදේශීය වශයෙන් සුළු සුළු වෙනස්කම් සහිතව කැඳ වර්ග පිළියෙළ කර ගනු ලැබේ.

මෙම විශේෂ කැද වර්ගය ශ්‍රී ලංකාවේ පළාතෙන් පළාතට වෙනස් වන අතර බස්නාහිර සහ නැගෙනහිර පළාතේ ඒ සඳහා එළවළු එකතු කර වෙනත් විදියකින් සාදා බෙදා දෙනු ලබයි.

මින් පිළිබිඹු වන්නේ එකම ආගමික ජන කොටසක වත් පිළිවෙතක් වුවත් පළාත් අනුව විවිධ ආහාර සංස්කෘතීන්වල වෙනස්කමක් දක්නට ලැබෙන බවය.

මෙම කැඳ වර්ගය සමග රටඉඳි සහ සමෝසා, පැටිස් රෝල්ස් වැනි කෙටි ආහාර සමඟ පලතුරු වලින් සකස් කරන ලද බීම වර්ග ද උපවාසය අවසන් කිරීම සඳහා යොදා ගනී.

තවත් සමහර අය බිත්තර, බතල මඤ්ඤොක්කා ඇතුළු අල වර්ග තම්බා රාමසාන් උපවාස සමය අවසන් කරන මොහොත සඳහා එක්කර ගනී.

මෙම ආහාර වට්ටෝරු ද ශ්‍රී ලංකාවේ පළාතෙන් පළාතට විවිධත්වයක් උසුලයි.

කරන ශ්‍රී ලාංකිකයෝ එක්ව වාඩි වී මෙරට ඉතා ජනප්‍රිය බුරියානි අනුභව කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ කොළඹ විරෝධතා පැවති සමයේ රාමසාන් උත්සවය සමරමින් විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ එක්ව වාඩි වී මෙරට ඉතා ජනප්‍රිය බුරියානි අනුභව කරමින්.

රාමසාන් උපවාස සමය අවසන් කර රාමසාන් උත්සව දිනය සැමරීමේදී මෙරට මුස්ලිම් ප්‍රජාව යොදාගන්නා ආහාර පාන මෙරට සහෝදර අන්‍ය ආගමික ප්‍රජාව අතරද ප්‍රසිද්ධියක් උසුලයි.

විශේෂයෙන්ම වටලප්පන් සහ බිරියානි ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර මුස්ලිම් සම්ප්‍රදායට අනුව සාදන රස කැවිලි වර්ග ද ප්‍රසිද්ධිය.

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල මුස්ලිම් ප්‍රජාව අන්‍ය ආගමික ප්‍රජාවන් සමග ජීවත් වීම හේතුවෙන් එහි ද උප සංස්කෘතියක්ද බිහි ව තිබේ.

රාමසාන් උත්සව දවසේ මුස්ලිම් නිවෙස් වල පිළියෙල වන ආහාර වර්ග අසල්වාසි සහෝදර ප්‍රජාව සමඟ බෙදා හදා ගැනීම, මිතුරන් හිතවතුන් සමග බෙදා හදා ගැනීම රමසාන් සමයේදි දක්නට ලැබෙන විශේෂිත වූ සංස්කෘතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක.

රාමසාන් උපවාසයේ අවසානය

ඊද්-අල්-ෆිතර් යනු මුස්ලිම්වරුන් විසින් උතුම් වූ රාමසාන් මාසයේ උපවාස ශීලය අවසන් කරමින් ෂව්වාල් මාසයේ පලමු වන දිනයේ කරන්නා වු සැමරුමයි.

මෙම දිනයේ අළුයම නැමදුමට පසුව දිය නෑමෙන් පසු අළුත් ඇඳුම්වලින් සැරසී ඊද් නැමදුම සඳහා මුස්ලිම්වරු ගමේ මස්ජිදය හෝ එළිමහන් ස්ථානයක් කරා යති.

එහිදී සාමුහිකව ඊද් නැමදුමෙහි යෙදෙන මුස්ලිම්වරුන් එය අවසන්වු පසු නිවසට පැමිණ ඥාති හිත මිතුරන් සමග සතුට බෙදා හදා ගනිමින් ඊද් සැමරුමහි සතුට සමරති.

ඉන්පසුව තම වැඩිහිටියන් සහ ඥාතීන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් සමග සතුට බෙදාහදා ගනිමින් ඔවුන්ටද විශේෂයෙන් සුභපැතිම සිදුකර නිවසට පැමිණ පවුලේ සමාජිකයින් සියලුම දෙනා සමඟ සම්ප්‍රදායිකව දිවා අහාරය ගැනිම සිදුකරයි.

ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් 2022 මැයි 3 වන දින කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊද් අල්-ෆිතර් උත්සවයේ පළමු දිනයේ ඊද් යාඥා පවත්වමින්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊද් අල්-ෆිතර් උත්සවයේ පළමු දිනයේ ඊද් යාඥා පවත්වමින්

රාමසාන් උපවාසයේ සිදුවූ අඩුපාඩු ඉවත්කර සම්පූර්ණ පවිත්‍ර කර ගැනීමට "සකතුල් ෆිත්රා" නම් දුප්පත් අසල්වැසියන්ට ධාන්‍ය ලබාදිම හැඳින්විය හැක.

රාමසාන් මස ආරම්භයේදීම ෆිත්රා දිය හැකිය. නමුත් ෂවිවාල් මස පළමු දින ඊදුල් ෆිත්ර් සලාතය සඳහා මස්ජිදයට යාමට පෙර එය දීම විශේෂිත වන්නේය.

ෆිත්රා දීම අප රටේ නම් සහල්වලින් සිදුකළ හැකිය. පවුලේ සියලු දෙනා වෙනුවෙන් සහ මෙහෙකාර, තම පාලනයට වූ සියලු දෙනා වෙනුවෙන් එක් අයෙකුට පුරවා සහල් සේරු 2ක් හෝ කපා සේරු දෙකහමාරක් දිය යුතුය. එය ඔබේ ඥාතීන්, අසල්වැසියන් හෝ දිළිඳු අය වෙත පරිත්‍යාග කිරීම උතුම් බව සඳහන් වේ.

පරිත්‍යාග කිරීමේ මාසයේ නිමාව සටහන් වන ඊදුල් ෆිත්රා දිනය අසල්වාසින් හා එක්ව සහයෝගයෙන් හා සහජීවනයෙන් යුතුව සැමරීම ඉතා වැදගත් බව ඉස්ලාමය පවසයි.