අදානි සමාගමේ මන්නාරම සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ

මන්නාරම, වෙඩිතලතීව් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ගෙන තිබූ තීරණය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ ය.

ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණයට දැනුම් දුන්නා ය.

අදාළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කරුවෝ එම ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉල්ලා අස්කර ගත්හ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අඟහරුවාදා (මාර්තු 18) එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබිණි.

ව්‍යාපෘතිය සිදු නොකරන බව අධිකරණයට දැනුම් දෙයි

මෙහිදී, පෙත්සමක් ඉදිරිපත් කර තිබූ වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම කරුණට අදාළව නීතිපතිවරයා ඉකුත් පෙබරවාරි 21 වන දා අධිකරණයට මෝසමක් ගොනු කර තිබෙන බව සඳහන් කළේ ය.

ඒ හරහා අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා ද සඳහන් කළේ, ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන නොයාමට රජය තීරණය කර ඇති බව ය.

ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන හෙයින් අදාළ ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු දැනුම් දුන්හ.

අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේ ය.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් තුළින් සඳහන් කර තිබුණේ, මන්නාරම, වෙඩිතලතීව් ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය ක්‍රියාත්මක වුවහොත් දැඩි පාරිසරික හානියක් සිදුවිය හැකි බව ය.

ශ්‍රී ලංකාව තුළට සංක්‍රමණික පක්ෂීන් පිවිසෙන ප්‍රවේශ මාර්ගයේ මෙම සුළං විදුලි බලාගාරය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ හරහා රට තුළට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට හානි සිදුවීමට හැකියාව තිබෙන බවත් පෙත්සමෙන් අනතුරු අඟවා තිබිණි.

ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් සමග ඇති කරගෙන තිබූ මෙම විදුලි බලාගාරය ඉදි කිරීමට අදාළ ගිවිසුම ඉන්දියානු රජය සමග ඇති කර ගත් ගිවිසුමක් සේ සලකා කටයුතු කිරීමට ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

අදානිගේ සුළං බල ව්‍යාපෘතිය කුමක් ද?

යෝජිත මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය (අදියර II) යටතේ මෙගා වොට් 250ක ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබිණි.

ඒ සඳහා අලුතින් සුළං ටර්බයින් 52ක් ස්ථාපනය කිරීමට ද සැලසුම් කර තිබිණි. පරිසර ඇගයීම් වාර්තාවේ දැක්වෙන පරිදි දැනට ක්‍රියාත්මක තම්බපවනි සුළං බලාගාරයට සමාන්තරව, මන්නාරම දූපතේ වැඩි ප්‍රදේශයක් ආවරණය වන පරිදි නව සුළං ටර්බයින් ස්ථානගත කිරීමට සැලසුම් කෙරිණි.

වාර්ෂිකව ගිගාවොට් පැය 1048ක විදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබිණි. එමගින් වාර්ෂිකව හරිතාගාර වායු මෙට්‍රික් ටොන් මිලියන 0.8කින් අඩු කෙරෙන අතර වාර්ෂිකව ඉන්ධන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 18ක ඉතිරියක් වන බවට ගණන් බලා තිබේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2014 අප්‍රේල් 17 වන දින අංක 1852/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 'බලශක්ති සංවර්ධන ප්‍රදේශය තුළ' හෙක්ටයාර 202ක භූමි ප්‍රදේශයක් තුළ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.