විලාසිතා දැවැන්තයෙකුට එරෙහිව පිරිමින් ලිංගිකව සූරාකෑබවට චෝදනා

ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිච් (Abercrombie & Fitch) ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික සහකරුට, ඔවුන් ලොව පුරා පැවැත්වූ ලිංගික උත්සව අවස්ථා සඳහා බඳවාගන්නා ලද පිරිමින්ගෙන් සූරාකෑම පිළිබඳ චෝදනා එල්ලවී ඇත.

මයික් ජෙෆ්රීස් සහ මැතිව් ස්මිත් සමග පවත්වන උත්සව සඳහා තරුණයින් සපයාගැනීමට අතරමැදියෙකු භාවිතා කරන ලද ඉතා සංවිධානාත්මක ජාලයක් බීබීසී විමර්ශනයකින් සොයාගැනුණි.

ඔවුන් මේ උත්සවවලට සහභාගී වූ බව පිරිමින් අටදෙනෙකු බීබීසීයට පවසන ලද අතර, ඔවුන්ගෙන් සමහරෙකු ඔවුන් සූරාකෑමට හෝ අපයෝජනයට ලක්වූබවට ඉඟිකළේ ය.

ජෙෆ්රීස් සහ ස්මිත්, අදහස් දැක්වීම සඳහා සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත.

නමුත්, ඔහු කිසිදු වරදක් සිදුකළබව මෙම යුවළගේ අතරමැදියා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ පිරිමින් මෙම උත්සවවලට පැමිණියේ "හොඳින් ඇස් ඇරගෙන" බව පැවසීය.

හොලිස්ටර් (Hollister) සන්නාමය ද හිමි ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිච් සමාගම, මෙම චෝදනා ලද හැසිරීමෙන් එය "තුෂ්ණිම්භූතබවට හා පිළිකුලට" පත්වූබව පැවසීය.

බීබීසීය අනාවරණය කළ ලේඛන සහ සාක්ෂි ස්වාධීනව සමාලෝචනය කළ එක්සත් ජනපදයේ හිටපු අධිචෝදකයින් දෙදෙනෙකු, ලිංගික ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ගොනුකළ හැකි ද යන්න තීරණය කිරීමට පරීක්ෂණයක් ඉල්ලා ඇත. එක්සත් ජනපද නීතියට අනුව ලිංගික ජාවාරම යන වරදට, මුදල් ලබාගෙන ලිංගිකව හැසිරීම සඳහා වෙනත් ප්‍රාන්තයකට හෝ රටකට යෑමට වැඩිහිටියෙකු බලහත්කාරකමින්, වංචාවෙන් හෝ බලපෑම් කිරීම හරහා පෙළඹවීම ද ඇතුළත් වේ.

අවවාදය යි: මෙම ලිපියේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර අඩංගු ය

මයික් ජෙෆ්රීස්, 1990 දශකයේ සිට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ, ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිච් (A&F) සමාගම අසාර්ථකවෙමින් පැවති පැරණි ඇඳුම් සන්නාමයක සිට නවයොවුන් විය සඳහා ඇඳුම් විකුණන ඩොලර් බිලියන ගණනක් වටිනා සමාගමක්බවට පරිවර්තනය කරන ලද්දේ ලිංගික ආකර්ෂණය විකිණීමෙනි. ඔහු ඊට හැඟීම් අවුස්සනසුළු දැන්වීම් පුවරු හා උඩුකය නිරුවත් ඇමෙරිකානු නිරූපන ශිල්පීන් යොදාගත්තේ ය.

වරක්, එක්සත් ජනපදයේ වැඩිම වැටුපක් ලද ප්‍රධාන විධායක නිලධාරියෙකු වූ ඔහු, කාර්යය මණ්ඩලයට වෙනස්කොට සැලකීම, ඔහුගේ අතිවිශාල වියදම් පිළිබඳ කණස්සල්ල සහ ඔහුගේ ජීවන සහකරු වන මැතිව් ස්මිත් A&F තුළට යොදන නිල නොවන බලපෑම හා සබැඳි පැමිණිලිවලට මුහුණදුන් මතභේදාත්මක චරිතයකි.

2014 දී, සමාගමේ විකුණුම් පහත වැටීමෙන් පසු ජෙෆ්රීස් ඉන් ඉවත්වූ අතර, එවකට සමාගම සිදුකළ ගොනුකිරීම්වලට අනුව ඩොලර් මිලියන 25ක් පමණ වටිනා විශ්‍රාම පැකේජයක් සමග නික්මගොස් තිබුණි.

මේ විලාසිතා දැවැන්තයා, නිව් යෝර්ක්හි ඔහුගේ නිවෙස්වල සහ ලන්ඩනය, පැරීසිය, වැනීසිය සහ මරාච් ඇතුළු ලොව පුරා සුඛෝපභෝගී හෝටල්වල ඔහු විසින් පවත්වන්නට යෙදුනු උත්සවවල දී තරුණ වැඩිහිටි පිරිමින් ලිංගික සූරාකෑමට ලක්කළබවට වන චෝදනා බීබීසීය දැන් අනාවරණයකර ගෙන තිබේ.

වසර දෙකක් පුරා සිදුකළ විමර්ශනයක අංගයක් ලෙස, 79-හැවිරිදි ජෙෆ්රීස් සහ ඔහුගේ 60-හැවිරිදි බ්‍රිතාන්‍ය සහකරු ස්මිත්, 2009 සහ 2015 අතර පැවැත්වූ ලිංගික ක්‍රියා සම්බන්ධ උත්සවවලට සහභාගීවූබව හෝ සංවිධානය කළබව කියන 12 දෙනෙකුට බීබීසීය කතාකර ඇත.

මේ උත්සවවලට සහභාගීවූ පුද්ගලයින් අටදෙනා, ඔවුහු අතරමැදියෙකු විසින් බඳවා ගැනුණුබව විස්තර කළහ. මේ අතරමැදියා නාසය නොමැති තැනැත්තෙකුබවත්, නාසය පිහිටි ස්ථානය සර්ප සම් කැබැල්ලකින් ආවරණයකර ගෙන සිටිනබවත් ඔවුහු පැවසූහ. බීබීසීය මේ තැනැත්තා ජේම්ස් ජේකබ්සන් ලෙස හඳුනාගෙන ඇත.

බීබීසීය, මේ පිරිමින්ගේ සාක්ෂි ප්‍රකාශයන් පුළුල් කරුණු පරීක්‍ෂාවකට ලක්කළ අතර, ඒ ප්‍රකාශයන් කැපී පෙනෙන සමානකම් රැසක් දරයි.

අපි, පිරිමින්ගේ ප්‍රකාශවල ප්‍රධාන කරුණුවලට සාක්ෂි සපයන ඊමේල්, ගුවන් ටිකට්පත් හා සවිස්තරාත්මක ගමන් සැලසුම් ඇතුළු ලියවිලි රැසක් ලබාගත්තෙමු. එසේම අපි හිටපු ගෘහ සේවක සේවිකාවන් ද ඇතුළු තවත් මූලාශ්‍රයයන් දුසිම් ගණනක් සම්මුඛ සාකච්ඡාවන්ට භාජනය කළෙමු.

ඔවුන් බඳවාගත් අයුරු පිළිබඳව බීබීසීයට පැවසූ පිරිමින්ගෙන් අඩක් පමණම, මුල දී ඔවුන් එම උත්සවවල ස්වභාවය සම්බන්ධයෙන් නොමඟ යවනු ලැබූබව හෝ ඒවාට ලිංගිකත්වය සම්බන්ධ වගක් නොකීබවට චෝදනා කළේ ය. ඔවුන් ඒ උත්සව ලිංගික ආකාරයේ ඒවාබව දැන සිටිමුත්, ඔවුන්ගෙන් බලාපොරොත්තුවූයේ කුමක්දැ යි නොදැන සිටිබව තවත් සමහරු පැවසූහ. මේ සියල්ලන්ටම ගෙවීම් සිදුකර තිබුණි.

අතරමැදියා හෝ වෙනත් බඳවාගන්නන් විසින් A&F සමග විලාසිතා නිරූපනය කිරීමේ ඉඩක් ඇතිබව ඉස්මතුකළැ යි, මින් කිහිපදෙනෙක් බීබීසීයට පැවසූහ. එක් අයෙකු හැර අන් සියල්ලන්ම මෙම අත්දැකීමෙන් ඔවුනට හානියක්වූ ලෙස දැනුණුබව පැවසීය.

එකල 23 හැවිරිදි වූ ඩේවිඩ් බ්‍රැඩ්බරි පවසන පරිදි, 2010 දී ඔහු ජේකබ්සන්ට හඳුන්වාදුන් ඒජන්තයෙකු විසින්, ජේකබ්සන් A&Fහි "හිමිකරුවන්" වෙත දොරගුළු විවර කරන්නා ලෙස හැඳින්වූ නමුත් ලිංගිකත්වය පිළිබඳ කිසිදු සඳහනක් නොකළබව පැවසුවේ ය. මේ හමුවීමේ දී, එවකට A&Fහි නිල ඡායාරූප ශිල්පියාවූ බෲස් වීබර් ඔහුගේ ඡායාරූපය ගත යුතුයැ යි ජේකබ්සන් යෝජනා කළබව ඔහු කියා සිටියේ ය.

"ජිම් මට පැහැදිලිවම කිව්වා, මම එයාට මුඛ සංසර්ගයේ යෙදෙන්න ඉඩ නොදුන්නොත්, මට ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිච් එක්කවත්, මයික් ජෙෆ්රීස් එක්කවත් හම්බවෙන්න වෙන්නේ නෑ කියලා," බ්‍රැඩ්බරි පැවසීය.

"මම අප්‍රාණික වුණා," ඔහු පැවසුවේ ය. "ඒක හරියට, එයා ප්‍රසිද්ධිය විකුණනවා වගේ. ඒකට ගෙවන්න ඕන මුදල තමයි යටත්වීම." බ්‍රැඩ්බරි පැවසූ පරිදි, "හැමෝම [නිරූපන ගමන] පටන්ගන්නේ මෙතැනින්යැ"යි ඔහුට ඒත්තු ගන්වා ඇත. ජේකබ්සන් ඔහුට ඩොලර් 500ක් ලබාදුන්බවත්, එය ඔහුගේ කාලය සඳහායැ යි පැවසූබවත් ඔහු සිහිපත් කළේ ය.

ආපසු හැරී බලන විට, ඔහු මෙම සිදුවීම "red flag" ලෙස සිතිය යුතුව තිබුණත්, ජේකබ්සන් යනු "මට ආපහු හම්බවෙන එකක් නැති අප්‍රසන්න, වයසක මිනිහෙක්" ලෙස ඔහු සිතූබව බ්‍රැඩ්බරි පවසයි.

බ්‍රැඩ්බරි, නිව් යෝර්ක්හි ලෝන්ග් අයිලන්ඩ් ප්‍රදේශයේ හැම්ප්ටන්ස්හි පිහිටි ජෙෆ්රීස්ගේ පැරණි නිවසේ (මෙම නිවස මෑතක දී ඩොලර් මිලියන 29කට අලෙවි විය) දිවා කාලයේ දී පැවැත්වුණු උත්සවයකට ආරාධනාවක් පිළිගත්තේ ය. මයික් ජෙෆ්රීස් යනු "තමාගේ වෘත්තීය නිර්මාණය කළ හැකි බලවත් මිනිසෙකුයැ"යි ඔහු තේරුම් ගෙන සිටිබව බ්‍රැඩ්බරි පැවසුවේ ය. උත්සවයට පෙර, ජිම් ඔහුට A&F තෑගි වවුචර කිහිපයකින් ඇඳුමක් මිලට ගන්නැ යි පැවසූබවත්, එනිසා මෙය "නීත්‍යානුකූල" හා "නිල" යමක් ලෙස හැඟුනුබවත් ඔහු පැවසීය.

හැම්ප්ටන්ස්හි දී, ඔහුගේ A&F නිරූපන ශිල්පියෙකුවීමේ අභිලාෂයන් ගැන බ්‍රැඩ්බරි විසින් ජෙෆ්රීස් සහ ස්මිත් සමග කතාකර ඇත. පසුව, ජෙෆ්රීස් ඔහුගේ නාසයට "පොපර්ස්" (කරකැවිල්ල ගතියක් සහ ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි මත්ද්‍රව්‍යයක්) ඇල්ලූබවත්, පසුව ඔහු සමග ලිංගිකව හැසිරුණු බවත් ඔහු පැවසුවේ ය.

මයික් ජෙෆ්රීස් සහ මැතිව් ස්මිත් පිරිමින් සිව්දෙනෙකු පමණ එක්ව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනබව ද, නැතිනම් එකිනෙකා හා ලිංගිකව හැසිරීමට එම පිරිමින් "යොමු කරන" බව ද, මෙම උත්සවවලට සහභාගීවූ පිරිමි බීබීසීයට පැවසූහ. අවසානයේ දී, එම උත්සවයේ කාර්යය මණ්ඩලය විසින් ඩොලර් දහස් ගණනක මුදල් අඩංගු ලියුම් කවර ඔවුනට ලබාදුන්බව පිරිමි පැවසූහ.

උත්සවය පැවැත්වූ ස්ථානය “හුදකලා එකක්” වීමත්, ජෙෆ්රීස්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලය A&F නිල ඇඳුමෙන් සැරසී, උත්සවය අධීක්‍ෂණය කරමින් සිටීමත් නිසා, මෙයට "'බැහැ' කියන්න හරි, 'මට මේක කරන්න තරම් පහසුවක් දැනෙන්නේ නෑ' කියන්න හරි තරම් ආරක්‍ෂිතබවක්වත් දැනුණේ නැතැ,"යි බ්‍රැඩ්බෙරි පැවසුවේ ය.

ජෙෆ්රීස් වෙනුවෙන් ලිංගික උත්සව සංවිධානය කරන "හොඳින් ක්‍රියාත්මක යන්ත්‍රය" පිළිබඳ තොරතුරු ද බීබීසී විමර්ශනය හරහා අනාවරණය විය:

  • ඔහුගේ උත්සවවලට සහභාගීවීම සඳහා "බඳවාගන්නන්" විසින් පිරිමින් සොයාගැනෙන අතර, මේ සෑම යොමුවක් සඳහාම ජේකබ්සන්ගෙන් ඩොලර් 500ත් 1,000ත් අතර මුදලක් ලබාගනියි
  • මේ පිරිමින්, "අතරමැදියා" හෝ "නළුවරණ නියෝජිතයා" ලෙස හැඳින්වූ ජේකබ්සන්, ලිංගික උත්සව සඳහා පිරිමින් සොයාගෙන ඇත. ඔහු ඔවුන්ගේ ඡායාරූප ජෙෆ්රීස්ට සහ ස්මිත්ට යොමු කළබව බීබීසීයට වාර්තා විය
  • මේ පිරිමින් ජෙෆ්රීස්ට සහ ස්මිත්ට හඳුන්වාදීමට පෙර, ජේකබ්සන් විසින් ඔවුන්ගෙන් මුඛ සංසර්ගය ඉල්ලීමෙන් හෝ ලබාදීමට ඉදිරිපත්වීමෙන් ඔවුනට යෝජනාකර හෝ ලිංගිකව "කුසලතා පරීක්ෂණයට" ලක්කළබවට බොහෝ පිරිමින් චෝදනා කරයි
  • උත්සවවලට සහභාගී වන ඇතැම් පිරිමින්ගේ රෝම ඉවත් කිරීම සඳහා පුද්ගලික "හැඩගන්වන්නෙකු" කුලියට ගෙන ඇත. ඇතැමුන් මෙම අත්දැකීම විස්තර කළේ "පුද්ගලත්වය සිඳීමක්" ලෙසිනි
  • රහසිගතබව පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට සිදුවූබව සියලුම පිරිමි පැවසූහ. එය කියවීමට ඔවුනට ලැබුණේ සුළු කාලයක්බවත්, එහි පිටපත් ළඟ තබාගැනීමට ඉඩ නොලැබුණුබවත් පැවසූ ඔවුහු, මේ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කළහොත් තමාට එරෙහිව නඩු පවරනබව තේරුම්ගත්බවත් පැවසූහ
  • A&F නිල ඇඳුමින් සැරසී සිටි ජෙෆ්රීස්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ කුඩා කණ්ඩායමක්, ලිංගික ක්‍රියාවල දී පවා පිරිමින් අධීක්‍ෂණය කළ අතර ඔවුන්ට මුදල් ලබා ලබාදී ඇත
  • ස්මිත්, මුදල් ගෙවීම් සංවිධානයකර ඇති අතර, යොමු කිරීමේ ගාස්තු සඳහා මුදල් ද ඇතුළුව සම්පූර්ණ මෙහෙයුම සඳහා ජෙෆ්රීස් අරමුදල් සැපයූබව කියනු ලැබේ

ජෙෆ්රීස්ගේ හැම්ප්ටන්හි නිවසේ දී සති අන්තයේ නිතිපතා උත්සව පැවැත්වෙනබව, එහි සේවය කළ ගෘහ කාර්යය මණ්ඩලය බීබීසීයට පැවසුවේ ය. වසර ගණනක් පුරාවට සෙනසුරාදා පස්වරුවේ දී නිවසෙන් පිටවී සිටින්නැ යි ඔවුනට උපදෙස් ලැබුණුබවත්, එනිසා, අමුතු යමක් එහි සිදුවනබව සිතීමට ඔවුන් පෙළඹුණුබවත් ඇතැම්හු පැවසූහ. එසේ සිදුවන්නේ 'ලොක්කා' "කෙළියේ" යෙදෙන නිසාවෙනැ යි ඔහුට වැටහුණුබව එක් හිටපු සේවකයෙකු පැවසුවේ ය.

දැන් ලයිෆ් කෝච්වරයෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකුබවට පත්ව සිටින හිටපු නිරූපන ශිල්පියෙකු වූ බැරට් පෝල්, 2011 දී හැම්ප්ටන්හි පැවැති උත්සවයකට සහභාගීවීමට ඔහුට බලකෙරුණු වග ප්‍රකාශ කළේ ය. එකල 22 හැවිරිදි වූ ඔහු, වැඩිමහල් නිරූපන ශිල්පියෙකු විසින් මේ යුවළ සමග සිදුකෙරෙන "යම් ආකාරයක ලිංගික අත්දැකීමක්" සඳහා ඔහුගේ "හිලව්වට" බඳවා ගැනුණුබව ඔහු පැවසීය. මේ සඳහා අදාළ ශිල්පියා යොමුකිරීමේ ගාස්තුවක් ලබා තිබේ.

මේ වැඩිමහල් නිරූපන ශිල්පියා ඔහුට ආර්ථික වශයෙන් ආධාර කරමින් සිටි නිසා ද, එනිසා ඔහු කෙරෙහි ණයගැතිබවක් හැඟුණු නිසා ද එයට අවනතවීමට අවශ්‍යයැ යි ඔහුට හැඟුණුබව ඔහු පැවසීය.

ජෙෆ්රීස් සහ ස්මිත් නරඹන අතරේ උත්සවය සඳහා බඳවාගැනුණු පිරිමින්ගෙන් අයෙකු ඔහුට මුඛ සංසර්ගය සිදුකළබව පෝල් පැවසීය. අනතුරුව, සයනයට පැමිණ ජෙෆ්රීස් සිපගන්නා ලෙස යුවළ ඔහු ධෛර්යයමත් කළබව ඔහු කියා සිටියේ ය. පසුව, උත්සවය සඳහා බඳවාගැනුණු තවත් පිරිමින් දෙදෙනෙකු A&F ප්‍රධානියා සහ ඔහුගේ සහකරු සමග සංසර්ගයේ යෙදුනුබව ඔහු සඳහන් කළේ ය. එක් අවස්ථාවක දී, ජෙෆ්රීස් ඔහු පසුපස සිට ඔහු අතපත ගෑබව පෝල් පැවසීය.

"මේ අත්දැකීම, මම හිතන්නෙ ඒක මාව බිඳලා දැම්මා," ඔහු පැවසුවේ ය. "මං හිතන්නෙ [මේ සිද්ධිය] මගෙ අහිංසකකමේ තිබ්බ හැම බිංදුවම හොරකම් කළා. ඒක මාව මානසිකව අවුල් කළා. ඒත් අද මම දන්න භාෂාවෙන් මට මෙතන ඉඳගෙන කියන්න පුළුවන්, මගෙන් ප්‍රයෝජන ගත්තා කියලා."

බීබීසීය වෙත හෙළිදරව් කෙරුණු විශාලතම උත්සවය පවත්වා තිබුණේ 2011 වසරේ මරාච්හි තරු පහේ හෝටලයක පුද්ගලික විලා එකක දී ය. ඒ සඳහා දුසිම් ගණනක් පිරිමින් මරාච් වෙත පියාසර කරවා තිබුණි. ජෙෆ්රීස් සහ ස්මිත් මේ සඳහා මිතුරන්ට ද ආරාධනාකර ඇතැ යි බීබීසීය දනියි. ඇලෙක්ස් (අනන්‍යතාව ආරක්ෂා කරනු පිණිස ඔහුගේ ඉල්ලීම පරිදි සත්‍ය නම වෙනස්කර ඇත) මෙම උත්සවය සඳහා නර්තන ශිල්පියෙකු ලෙස බඳවාගන්නා විට, ඔහු ඔහුගේ පවුල නඩත්තු කිරීම සඳහා වෙහෙසවූ නිරූපින ශිල්පියෙකු විය. උත්සවයේ දී ඔහුට ප්‍රසිද්ධියේ ඇඳුම් ගලවා දැමීමට සිදුවනු ඇතැ යි ඔහු අපේක්ෂා කළේ ය.

ජෙෆ්රීස්, "මිනිස්සුන්ගෙ ජීවිතේ ඉතාම දුබල වූ තැන්වල දී එයාලගෙන් ප්‍රයෝජන ගත්තා, විශේෂයෙන්ම ඇමරිකාවේ පුංචි පැතිවලින් ආපු ඒ අයව මේ වගෙ ලොකු නගරවලට අරන් ගියාම," ඇලෙක්ස් පැවසීය. හිටපු ප්‍රධාන විධායක නිලධාරියා මෙහි "මහමොළකරු" බව පැවසූ ඔහු, "එයා නැත්නම් මේ කිසිදෙයක් පවතින්නේ නැතැ"යි ද පැවසීය.

එකල, වයස අවු. 20 ගණන්වල සිටි විසමලිංගික පුරුෂයෙකු වූ ඇලෙක්ස්, ඔහුගේ 'කුසලතා පරීක්ෂණය' සිදුකළ ජේකබ්සන් ඔහුගේ නර්තනයට ප්‍රශංසා කළ නමුත්, ඔහු වෙත මුඛ සංසර්ගය ලබාදී "වැඩේ ඉවර කරන්නැ"යි පැවසූබව ඔහු කියයි. "මට ණය තිබ්බා, මට මගෙ පවුල වෙනුවෙන් හම්බකරන්න වුණා," ඇලෙක්ස් පැවසීය. "මම ඒ වැඩේ කළා, ඒ වුණාට මට මහා අප්පිරියාවක් දැනුණා."

"අමාරුම කොටස අවසන්යැ"යි සිතූ ඇලෙක්ස්, සති කිහිපයකට පසු උත්සවය සඳහා මරාච් වෙත පියාසර කළේ ය. නමුත් ඔහුගේ නර්තනය ඇරඹී මොහොතක් ගතවෙත්ම ජෙෆ්රීස් ඔහු සිපගැනීමට උත්සාහ කළ බව ඔහු පැවසීය. "මම එයාව තරහ ගස්සන්නේ නැතුව ඒක කරන්න උත්සහ කළා. මම හරිම අපහසුවෙන් හිටියේ," ඇලෙක්ස් පැවසීය.

අවසානයේ දී ඔහු පිටුපස කාමරයකට ගොස් සැඟවුණුබවත්, එහිම නින්දට වැටුණුබවත් පැවසීය. නින්දෙන් අවදිවන විට ඔහු තුළ කොන්ඩමයක් තිබූබවත්, නින්දට පෙර ඔහුට ලබාදුන් ෂැම්පේන් පානයේ මත් බෙහෙත් තිබූබවට ඔහුට සැක සිතුනුබවත් ඔහු පැවසුවේ ය.

"මේ ඔක්කොම සම්බන්ධ කරලා බැලුවම, මට මත් බෙහෙත් දීලා මාව දූෂණය කළා වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද්ද සිද්ධවුණේ කියන එක මම කවදාවත් හරියටම දැනගන්න එකක් නැහැ," ඔහු පැවසුවේ ය.

ඇලෙක්ස් සහ බ්‍රැඩ්බරි ඇතුළු ඇතැම් පිරිමින් කියාසිටි පරිදි ඔවුන් එක් උත්සවයකට වඩා වැඩි ගණනකට සහභාගීවී ඇත. ඊළඟ අවස්ථාව වඩා පහසුවනු ඇතැ යි ජේකබ්සන් විසින් ඒත්තු ගැන්වීමෙන් පසු හෝ, අවසානයේ ඔවුන්ට නිරූපන ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙනු ඇතැ යි වන බලාපොරොත්තුවෙන්, "මේ ඔක්කොම ඒක වෙනුවෙන්යැ" යි සිතීමෙන් පසු ඔවුන් එසේ සිදුකර තිබේ.

මේ සිද්ධි "සෘජුවම මගේ ආත්ම අභිමානයට බලපෑවා," බ්‍රැඩ්බරි කියයි. "මගේ වයස විසි ගණන් පිරිලා තිබ්බේ කේන්තියෙන්, කම්කටොළුවලින්, කාංසාවෙන් සහ විෂාදයෙන්." නමුත් ඔහු දැන් "බලාපොරොත්තුවෙන් පිරි" වඩාත් නිහඬ දිවියක් ගතකරනබව ඔහු පැවසීය.

බීබීසීයේ සාක්ෂි විමසා බැලූ සිවිල් නීතීඥ බ්‍රැඩ් එඩ්වර්ඩ්ස්, මේ "නිර්භීත පිරිමින්" විස්තර කරන්නේ ලිංගික ජාවාරමක්විය හැකිදැ යි එක්සත් ජනපද අධිචෝදකයින් විසින් විමර්ශනය කළ යුතුබව පැවසුවේ ය.

එඩ්වර්ඩ්ස් මෙසේ පැවසීය: "ඇතැම් පිරිමින්ට බලපෑම් කළබවට සාක්ෂි තිබිය හැකියි. ඒ අතරම, අනෙක් අයට බලපෑම් කිරීමේ උපක්‍රම නොදැනෙන්නටත් ඇති."

"මතක කියාගන්න, බලපෑම් කිරීම කියන්නේ බරපතල හානියක් සිදුකරනු ඇතැ යි කියන සාධාරණ විශ්වාසය - මේ බරපතල හානිය කීර්ති නාමයට හානියක්, මූල්‍ය හානියක් හෝ ශාරීරික හානියක් විය හැකියි."

මේ පිරිමින්, කැමැත්ත ප්‍රකාශ කළ වැඩිහිටියන්බවටත්, ඇතැමුන් අතීතයේ දී වාණිජ ලිංගික ක්‍රියාකාරකම්වල නියැලී තිබීම “සාධකයක්” බවටත් ජෙෆ්රීස් සහ ස්මිත් තර්ක කළ හැකිබව එඩ්වර්ඩ්ස් ප්‍රකාශ කළ ද, මෙම වාණිජමය ලිංගික හැසිරීම් සිදුකළේ බලහත්කාරයෙන්, වංචාවෙන් හෝ බලපෑම් කිරීමෙන් ද යන්න සම්බන්ධව අතීත සිදුවීම "කිසිසේත් අදාළ නැති"බව ද ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත්, අධිචෝදකයින් සඳහා විත්තියේ භාරය "ඉතා ඉහළ"බව ඔහු පැවසීය.

"ඉදිරියට ආපු මේ නිර්භීත පිරිමින්ගේ කතා ඇහුවම, මම හිතන්නේ ෆෙඩරල් අධිචෝදකයෝ මේ සිද්ධීන් ගැන අවධානය යොමුකරන එක ඉතාම වැදගත් කියලා මම හිතනවා," ඔහු පැවසීය.

වසර 15කට වැඩි කලක් ෆෙඩරල් අධිචෝදකයෙකු වූ ද, අපගේ සොයාගැනීම් සමාලෝචනය කළා වූ ද එලිසබෙත් ගෙඩස් මෙසේ පැවසුවා ය: "මේ තරුණයන් බලපෑම්වලට ලක්වුණා විය හැකිබවට නිසැකවම තර්කයක් තිබෙනවා. මම හිතන්නේ, අධිචෝදකකුට මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරලා, මේ ගැන සමීපව නිරීක්ෂණය කරලා, අපරාධ නඩු පැවරීමක් අවශ්‍ය ද කියලා තීරණය කරන්න තරම් හේතු තියෙනවා."

මේ වන විට 70 හැවිරිදිව පසුවන අතරමැදියා වන ජේකබ්සන් ඔහුගේ නීතිඥයා හරහා ප්‍රකාශයක් නිකුත් කරමින්, "මගේ පැත්තෙන් කිසිම බලපෑමක්, රැවටිලිකාර හෝ බලහත්කාර හැසිරීමක්" එල්ලවීය යන චෝදනාවට තමන්ට අපහාසයක් ලෙස සලකනබවත්, "අන් අය විසින් එවැනි හැසිරීමක් සිදුකළේ ද යන්න ගැන දැනුමක් නොතිබූ" බවත් පැවසුවේ ය.

නිරූපණ අවස්ථා පිළිබඳ පොරොන්දු දුන්බවක් ඔහුට මතක නැතැ යි ඔහු පැවසීය. "මා ලද ඕනෑම හමුවීමක් සම්පූර්ණ කැමැත්තෙන් සිදුවූවක් මිස බලපෑම් කිරීමක් නෙවෙයි," ඔහු පැවසීය. "මේ උත්සවවලට සහභාගීවූ, මා එක්ක සම්බන්ධ වූ හැමදෙනාම පැමිණියේ ඔවුන්ගේ ඇස් හොඳින් අරගෙන."

බීබීසීය විසින් සති කිහිපයක් පුරා ලිපි, ඊමේල් සහ දුරකථනය හරහා ජෙෆ්රීස් සහ ස්මිත් සම්බන්ධකර ගැනීමට යළි යළිත් උත්සාහ කළ අතර, ඔවුන්ට එරෙහි ප්‍රකාශයන් ගැන ඔවුන් මුළුමනින්ම දැනුවත්බව සහතික කරනුවස් සවිස්තරාත්මක චෝදනා ලැයිස්තුවකට ප්‍රතිචාර දක්වන්නැ යි ඔවුන්ට ආරාධනා කළේ ය. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

ජෙෆ්රීස් එහි නූතන නිර්මාතෘ ලෙස සලකනබව පවසා ඇති A&F සමාගම, ඔහුගේයැ යි කියනු ලබන හැසිරීම නිසා එය "තුෂ්ණිම්භූතබවට සහ පිළිකුලට" පත්වූබව ප්‍රකාශ කළේ ය. නව නායකත්වය විසින් සමාගම "අද අපගේ සාරධර්ම මත පදනම්වූ සංවිධානය" බවට පරිවර්තනයකර ඇති අතර, සමාගම "ඕනෑම ආකාරයක අපයෝජනය, හිංසනය හෝ වෙනස්කොට සැලකීම කිසිසේත් නොඉවසන" බව ප්‍රකාශ කළේ ය.