කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම: ආණ්ඩුවේ අලුත් සංශෝධනය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) සංශෝධනය කරමින් කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීතිය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් ජනවාරි 30 වන දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ආහාරපාන පිළිගන්වන සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීමට සේවායෝජකයන්ට අවස්ථාව සලසා දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සේවයේ යෙදවිය හැක්කේ කාව ද? කොන්දේසි මොනවා ද?
'කාන්තා වැසිකිළි සේවිකාවක වශයෙන් අවුරුදු 18ට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද, සම්පූර්ණ කවර ස්ත්‍රියක වුව ද පෙරවරු 6.00ට හෝ පස්වරු 6.00න් පසුව සේවයෙහි යෙදවිය හැකි ය' යන්න වෙනුවට 'කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක වශයෙන් අවුරුදු දහඅටට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුව ද පස්වරු 6.00ට පසු හෝ පසුදා පෙරවරු 6.00ට පෙර සේවයෙහි යෙදවිය හැකි ය' යනුවෙන් නීතිය සංශෝධනය කෙරෙන බව ගැසට් නිවේදනයේ දක්වා ඇත.
එසේ කාන්තාවන් රාත්‍රී සේවයේ යොදවන විට සේවා මුරය පස්වරු 6.00ත් පසුදා පෙරවරු 6.00ත් අතර වේලාවක අවසන් වන අවස්ථාවේදී එම සේවා මුරය අවසන් වී පෙරවරු 6 දක්වා එම සේවිකාවට සුදුසු නවාතැනක් සැපයීම හෝ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළු සෞඛ්‍යාරක්ෂාව සහ ශුභසාධනය සම්බන්ධයෙන් සේවායෝජකයා වගකිව යුතු බව ද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Government Press
නීතිය සංශෝධනය කළේ ඇයි?
"කලින් අනිත් ඒවාට තිබුණා මේක. අලුතින් එකතු කළේ ඔය පනතට සංශෝධනයක් පමණ යි. හෝටල්වල ආහාරපාන පිළිගන්වන කාන්තාවන් රාත්‍රී සේවයේ යොදවන්න පුළුවන් කියන එක තමයි අපි සංශෝධනයක් විදිහට එකතු කළේ," මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.
හෝටල්වල කාමර පිරිසිදු කරන්නියන් වැනි සේවාවල නිරත කාන්තාවන්ට මීට පෙර සිට ම රාත්‍රී සේවයේ යෙදවීමට අවස්ථාව පැවති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"හෝටල් කාර්මාන්තය පුළුල් වෙනවා, සංචාරක කර්මාන්තය පුළුල් වෙනවා. එක පැත්තකින් සහ 34%ක් වගේ තමයි කාන්තාවන් ශ්‍රම බළකායට එකතු වෙලා තියෙන්නේ රටේ. ඔය සියලු කරුණු සැලකිල්ලට අරගෙන තමයි සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. ජාතික කම්කරු උපදේශන සභාවේ මේ ගැන කතා කළා," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාන්තාවන් සේවයේ යෙදවීමට අවසර ගෙන ඇති ආයතන ගණන
රාත්‍රී සේවා මුරයට කාන්තාවන් යෙදවීම සම්බන්ධව මීට සති කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කියා සිටියේ, කම්කරු දෙපාර්තුමේන්තුවේ අවසර සහිතව ඇතැම් ආයතනවල කාන්තාවන් රාත්‍රී සේවා මුරයට යොදා ගෙන ඇති බව ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදි 2024 වසරේදී ආයතන 751ක් සහ 2025.09.30 දක්වා ආයතන 554ක් වෙත කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අවසර ලබා දී ඇත.
කාන්තාවන් රාත්‍රී සේවයේ නිරත වීමේදී ඇති වන ගැටලු මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම කළ යුතු නමුත් ඊට පෙර ඔවුන්ට එසේ නම්‍යශීලී වීමට නොහැකි වී ඇති කරුණුවලට විසඳුම් ලබා දිය යුතු බව ස්ටෑන්ඩ් අප් මූමන්ට් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය පෙන්වා දෙයි.
"එයාලට නම්‍යශීලී වෙන්න බැරි වෙලා තියෙන්නේ එයාලට ලොකු කෙයාර් වර්ක් ප්‍රමාණයක් පැටවිලා තියෙනවා තමන්ගේ නිවෙස්වල. තමන්ගේ වැඩිහිටියන් රැක බලාගන්න, දරුවන් රැකබලා ගන්න, නිවෙස්වල වැඩ මේ වගේ කාරණා උඩ තමයි එයාලට ෆ්ලෙක්සිබල් වෙන්න බැරි වෙලා තියෙන්නේ. නැතිනම් රාත්‍රී සේවයේ හෝ අමතර වැඩි වෙලාවක් වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒවාට රජයෙන් පිළියම් කරන්නේ නැතිව ඩේ කෙයාර් සෙන්ටර් වගේ දරුවන් රැකබලා ගන්න, වැඩිහිටියන් රැක බලා ගන්න ඒ කෙයාර් වර්ක්වලට අවශ්‍ය නිසි තැන ඒ දේවල්වලට පිළියම් රජය සකස් නොකර මොන තරම් ෆ්ලෙක්සිබල් කළත් වැඩක් නැහැ."
එසේ නොකරීමෙන් සිදුවන්නේ තවදුරටත් කාන්තාව අගතියට හා පීඩාවට පත්වීම සහ සූරාකෑමට ලක්වීම බව අශීලා දන්දෙණිය අවධාරණය කරයි.
"රජයක් විදියට කාන්තාවන්ට අමතර වෙලාවන්වල වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකට උත්තර සපයන්න අවශ්‍ය යි. ඒකට අවශ්‍ය පිළියම් ටික යොදන්න අවශ්‍ය යි. පිළියම් යොදලා මේ දේවල් කරන එක හොඳයි. ඒකට අපේ කිසි ම විරුද්ධත්වයක් නැහැ."































