IMF:පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එකම මාවතකද?

ශ්‍රී ලංකාවෙන් සහ පාකිස්ථානයෙන් වාර්තා වන 'ආර්ථික ප්‍රවෘත්ති' අනුව සළකා බලන විට, දෙරටේම සාමනකම් රාශියක් දැකගැනීමට ලැබෙන බැවින් ඉහත ප්‍රශ්නය යමකුට මතුවීම පුදුමයක් නොවේ.

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයන්ට අනුව ආදායම් වැඩිකර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කළ මෙම නව බදු සංශෝධනය විසින් උද්ධමනයෙන් දැඩි ලෙස අසීරුතාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ, මධ්‍යම පාන්තික ප්‍රජාව වඩාත් පීඩාවට පත්ව සිටිති.

IMF වෙතින් හදිසි ණය මුදලක් අපේක්ෂාවෙන් පසුවන පාකිස්ථානයද මේ ආකාරයෙන්ම දැවැන්ත බදු සංශෝධනයක් සිදුකිරීමට සූදානම් බව පෙබරවාරි (13) නිවේදනය කළේය.

IMF නිර්දේශයන්ට අනුව සිදුකෙරෙන මෙම නව බදු සංශෝධනය හරහා පාකිස්ථාන රජය මෙම මාසයේදී පමණක් රැස්කරගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 170කි.

නව බදු මගින් රටේ සර්පිලාකාර උද්ධමනය (spiraling inflation) වේගවත් විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබියදීත්, මෙම සංශෝධනය පාකිස්ථානය විසින් සිදුකිරීම විශේෂත්වයකි.

දැන් පාකිස්ථානය පසුවන්නේ මෙම පියවර ක්‍රියාත්මක 'නොකර බැරි' ස්ථානයකය.

2019 වසරේදී IMF විසින් අනුමත කෙරුණු ඩොලර් බිලියන හයක ණය මුදල මෙතෙක් ලබාගැනීමට පාකිස්ථානය සමත්වී නැත.

හේතුව IMF වෙතින් ඉදිරිපත් කළ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රට අපොහොසත් වීමයි.

එම ණය මුදලේ පළමු කොටස වන ඩොලර් බිලියන 1.1 නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් සාර්ථක වී නැත.

කෙසේවෙතත් (පෙබරවාරි 11 වැනිදා) IMF සහ පකිස්ථාන පාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම නව බදු සංශෝධනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීමට පාකිස්ථාන රජය එකඟතාව පළකර ඇත්තේ එහිදීය.

"තවත් බදු පැනවීම යනු දැනටමත් ඉහළ ආහාර සහ බලශක්ති පිරිවැයකට මුහුණ දී සිටින පාකිස්ථානයේ බහුතර ජනතාවට ඉදිරියේදී තවත් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. නමුත් පාකිස්ථානයට IMF ණය අවශ්‍ය නම් වෙනත් මාර්ගයක් නැහැ," යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන පකිස්ථාන ආර්ථික විද්‍යාඥයකු වන එතිෂම්-අල්-හක් සඳහන් කරයි.

විසඳුම IMF ද ?

ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්ථානයද වාර ගණනාවකදී IMF සහයෝගය ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව 17වරක් එලෙස සහාය අපේක්ෂා කර ඇති අතර මේ පාකිස්ථානයේ 14වැනි වාරයයි.

1980 ගණන්වල අග භාගයේ සිට පාකිස්ථානය එලෙස සාකච්ඡා ආරම්භ කළ බොහෝ IMF ණය පැකේජයන් අවසන් වී ඇත්තේ සාර්ථකත්වයකින් තොරවය.

මෙවරද පාකිස්ථානය, 2019 සාකච්ඡා ආරම්භයේ සිටම, සිය රජයේ වියදම් පාලනය කිරීමට හෝ ආදායම ඉහළ නැංවීමට කිසිදු අර්ථවත් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකර නැත. ඊට අමතරව, පසුගිය වසරේ පැමිණි විනාශකාරී ගංවතුර සහ අඛණ්ඩ දේශපාලන කැලඹීම් මගින් උග්‍ර වූ තත්ත්වයන් හමුවේ රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳවැටුණු අතර, 2023 පෙබරවාරි මාසය ආරම්භ වනවිට පාකිස්ථානයේ විදේශ සංචිතය ඩොලර් බිලියන තුනක සීමාව දක්වා දැවැන්ත කඩාවැටීමකට ලක්විය.

එම සංචිතය ප්‍රමාණවත් වූයේ පාකිස්ථානයට සති දෙකක කාලයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පමණකි.

කෙසේවෙතත් අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ වත්මන් පාකිස්ථාන ආණ්ඩුව මුහුණදී සිටින්නේ 'ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී' පන්නයේ අර්බුදයකටය.

බංකොලොත් නොවී රටේ ආර්ථිකය ආරක්ෂා කරගැනීමට නම්, පාකිස්ථානය අනිවාර්යයෙන් IMF නිර්දේශයන් ක්‍රියාත්මක සිදුකළ යුතුව ඇත.

එහෙත් නව බදු සංශෝධනයක් ඇතුළු ජනතාව තවදුරටත් පිඩාවට පත්කෙරෙන දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කළහොත්,මේ වසර අගදී පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික මැතිවරණයට මුහුණදීමට ආණ්ඩුවට අසීරුවනු ඇත.

2019 දී යැයි සඳහන් කෙරුණද, සැබවින්ම පාකිස්ථානයේ දැනට ක්‍රියාත්මක IMF ණය වැඩසටහන ප්‍රථම වරට යෝජනා වූයේ 2013 වසරේදීය.

2013 දී එවකට අගමැති නවාස් ෂරීෆ් මාස 36 ක් පුරා විහිදෙන ඩොලර් බිලියන 6.6 ක IMF ණයක් සඳහාවූ කොන්දේසි වලට එකඟ විය.

එහෙත් ඔහුගේ ආණ්ඩුව බදු පදනම පුළුල් කිරීමට හෝ අලාභ ලබන රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අසමත් විය.

ඉන් අනතුරුව වත්මන් ණය වැඩසටහන 2019 දී යළි ආරම්භ කරන ලද්දේ, පසුගිය වසරේ පාර්ලිමේන්තු ඡන්දයකින් නෙරපා හරින ලද එවකට අගමැති ඉම්රාන් ඛාන් විසිනි.

එම ණය වැඩසටහනද පසුගිය වසර දෙක තුළ අවම වශයෙන් තුන් වතාවක් මඟහැරී ඇති අතර, දැන් නැවතත් කරළියට පැමිණ ඇත.

පකිස්ථානයේ නවතම මුදල් ඇමති ඉෂාක් ඩාර් පත් කෙරුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF නියෝජිත කණ්ඩායමක් ඔක්තෝම්බර් මාසයේදී පැමිණෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළ නමුත්, IMF විසින් පාකිස්ථානයට ප්‍රතිචාර දක්වන ලද්දේ 2023 ජනවාරි අගදීය.

පාකිස්ථාන ණය වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති IMF නේවාසික නියෝජිත එස්තර් පෙරෙස් රුයිස් සඳහන් කර ඇත්තේ, ප්‍රායෝගිකව ගත් කල, රජය විසින් විශාල වශයෙන් සහනාධාර ලබා දෙන ඉන්ධන, විදුලිය සහ ගෑස් මිල ඉහළ නැංවීම සහ නව බදු හඳුන්වාදීම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කරමින් සිටින බවය.

පාකිස්ථානයේ බලශක්ති අංශයේ ශක්‍යතාව යථා තත්ත්වයට පත් කිරීමට සහ බලශක්ති අංශයේ අඛණ්ඩ ණය තොගය අඩුකිරීම කෙරෙහිද IMF අවධානය යොමුව ඇතැයි පෙරෙස් රුයිස් පෙන්වාදී ඇත.

මේ අතර පාකිස්ථානය තම මුදල් ඒකකයේ ග්‍රහණය ලිහිල් කර ඇති අතර, ණය පැකේජය නැවත පණ ගැන්වීමේ මූලික පියවරක් ලෙස පසුගිය වසර අවසානයේදී ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය.

'බ්ලූම්බර්ග්' විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව, පකිස්ථාන රුපියල 2023 ජනවාරි මාසයේදී 15%කින් පමණ පහත වැටුණු අතර, එය වසර 34කට පසු සිදුව ඇති විශාලතම මාසික පහත වැටීමයි. 2022 දෙසැම්බර් 30 දක්වා වසර තුළදී ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණවීම 44.8%කි.

දෙරටේම විදේශ සංචිත සහ ණය ශ්‍රේණිගත කිරීම් පහළට

බිලියන 3.1ක් වන පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතය සති දෙකක ආනයනන වෙනුවෙන් පමණක් ප්‍රමාණවත් වන නමුත් ගෝලීය මිණුම් ලකුණ වන්නේ, ඕනෑම රටකට අවම තරමින් මාස තුනකකට සරිලන භාණ්ඩ ආනයනය වෙනුවෙන් සංචිත පැවැතිය යුතුය යන්නයි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය 2023 ජනවාරියේදී ඩොලර් බිලියන 2.1ක මට්ටමට යම් වර්ධනයක් පෙන්නුම් කර ඇති නමුත්, එම ප්‍රමාණයද සෑහෙන්නේ සති දෙකක ආනයන වෙනුවෙන් පමණකි. ඒ නිල වශයෙනි.

එහෙත් මෙම සංචිතයෙන් ඩොලර් බිලයන 1.5ක වටිනාකමක් පවතින්නේ චීන 'රෙන්මිම්බි' ණයක් වශයෙන් වන අතර, එම මුදල භාවිතයට ගත නොහැකි අයුරින් චීනය කොන්දේසි පනවා ඇත.

පාකිස්ථානයේ ණය ශ්‍රේණිගත කිරීම්ද මේ වන විට අවසන් අඩියටම වැටී තිබේ.

පෙබරවාරි 14වැනිදා 'ෆිච් රේටින්ග්ස්' නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පාකිස්ථානයේ ණය ශ්‍රේණිගත කිරීම (IDR) 'CCC+' මට්ටමේ සිට 'CCC-' දක්වා පහත හෙළා ඇත.

2022 දෙසැම්බර් 01 වැනිදා ෆිච් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ (IDR) මට්ටමද 'CC' සිට 'CCC' දක්වා පහත හෙළනු ලැබීය.

කොවිඩ් වසංගතය සහ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, ගෝලීය උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් පාකිස්ථානයේ පාරිභෝගික භාණ්ඩ මිල දශක පහකට ආසන්න කාලයක් තුළ ඉහළම අගයට පැමිණ තිබේ.

දැන්, IMF හා සම්බන්ධ ඕනෑම මිල ඉහළ දැමීමක් පාකිස්ථාන උද්ධමනයේ වේගය වැඩි කරයි.

පසුගිය මාසයේ පාකිස්ථානයේ උද්ධමනය 27.6%ක් වූ අතර, තවමත් එය ශ්‍රී ලංකාවේ අගය වන 54.2%ට (2023 ජනවාරි) වඩා තරමක් යහපත්ව පවතියි.

2022 ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 32ක හානියක් සිදුකළ බවට ඇස්තමේන්තු කර ඇති මහා ගංවතුර හේතුවෙන් රටින් තුනෙන් එකක පමණ භූමියක් ජලයෙන් යටවීමෙන් පසු, පාකිස්ථානයේ ආර්ථික වර්ධනය 2023දී 2% දක්වා අඩු වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

පාකිස්ථානයේ IMF ණය වැඩසටහන ප්‍රමාදවීම සඳහා බලපෑ ඇති ප්‍රධානම සාධකය වන්නේ 2013දී පටන්ම පවතින රටේ දේශපාලන අස්ථාවරභාවයයි.

රටට IMF සහාය අවශ්‍ය බවට ආර්ථික විද්‍යාඥයන් වසර දෙකහමාරකට පමණ පෙර සිට අනතුරු අඟවා තිබුණද, ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයද IMF වෙත යෑමට අවසානයේ තීරණය කරන ලද්දේ 2022 අප්‍රේල් 12 වැනිදා සිය විදේශ ණය පැහැරහරින බව මහ බැංකුව විසින් තීරණය කිරීමෙන් අනතුරුවය.

එතැන් සිට අද දක්වාම ආර්ථිකය තිරසර කිරීමට අවශ්‍ය IMF නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිවී ඇති ප්‍රධානතම හේතුවද, සිය ජනවරම පිළිබඳ විශ්වාසය අවම ආණ්ඩුවක් සහිත දේශපාලන අස්ථාවරභාවයයි.

IMF ණය වැඩසටහන 'කවදා ක්‍රියාත්මක වේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩුවීමට සාපේක්ෂව මෙරට බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

සුළු හා මහා පරිමාණ සහල් මෝල්හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට පෙබරවාරි (16 වැනිදා) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්ථානයේද පවතින්නේ IMF ණය වැඩසටහන 'කවදා ක්‍රියාත්මක වේද?' යන අවිනිශ්චිතතාවයි.

පකිස්ථාන ආණ්ඩුවේ නිල කාලය අවසන් වන 2023 අගෝස්තු මාසයෙන් පසුව මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. මේ නිසා දේශපාලන පක්ෂ 13ක සභාගයක් වන ෂරීෆ්ගේ ආණ්ඩුවේ සහායක පක්ෂ දැනටමත් ජනතා සහන කප්පාදු කෙරෙන පියවරයන්ට ප්‍රතිරෝධය පළකර ඇත. ජනවාරි මාසයේදී රටපුරා සිදුවූ දැවැන්ත විදුලිය ඇනහිටීම, පැරණි සම්ප්‍රේෂණ ජාලය සහ විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් හිඟවීම වැනි බලශක්ති අභියෝග මාලාවක් මධ්‍යයේ වුවද පාකිස්ථානය විදුලි මිල ඉහළ නොදමන බව විදුලිබල ඇමැති කුරාම් දස්ට්ගිර් ඛාන් පසුගිය සතියේ ප්‍රකාශ කරන ලද්දේ ඒ අනුවය.

එමනිසා පසුගිය සිකුරාදා එකඟතාව පළකරන ලද බදු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ඇත්තේද විෂමතාවකි.

බීබීසී සිංහල සේවය සමග මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි පෙන්වාදෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ, විශේෂයෙන් මූල්‍ය විනයක් නොමැතිවීම සහ අපනයන වර්ධනයක් නොමැතිවීම යන කාරණාවලදී, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව බොහෝ සෙයින් එක හා සමාන බවයි.

"පාකිස්ථානයෙත් තියෙන්නේ ශ්‍රී ලංකාව වගේම තත්ත්වයක්. ඒගොල්ලන්ටත් ලොකු අයවැය හිඟයක්, ජංගම ගිණුමේ හිඟයක්, අපනයන වර්ධනය අඩුවීමක්, බදු ආදායම් අඩුවීමක්, දේශපාලන වාසි වෙනුවෙන් විදුලි සහ ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවත්වාගෙන යෑමක් වගේ සමානකම් ගොඩක් තියෙනවා. පාකිස්ථානයේ මූල්‍ය විනයක් නොමැතිවීමයි, අපනයන වර්ධනයක් නොමැතිවීමයි ප්‍රධානම සමානකම් විදිහට දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඒ අය බදු සංශෝධන කරන්න යනවා. එතනදී තමයි බලාගන්න වෙන්නේ මොනවගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා," ඔහු පැවසුවේ ය.

සාකච්ඡා ආරම්භ කර මාස නවයකට සහ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ මාස පහකට පසුවත් ශ්‍රී ලංකාවට මෙතෙක් තමන් වෙනුවෙන් වෙන්කරන ලද ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ පළමු වාරිකය නිදහස් කරගැනීම වෙනුවෙන් වූ IMF විධායක මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නොහැකි වී ඇත්තේ, සිය ණය හිමියන් වෙතින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් පොදු අනුමැතියක් ලබාගැනීමට නොහැකිවීම හමුවේය.

ඒ අතරින් ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය මූලික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් කැමැත්ත පළකර ඇති නමුත් චීනය සිය එකඟතාව පිළිබඳ පැහැදිලි අදහසක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

එමනිසා ලබන මාසයේ රැස්වන IMF විධායක මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය අනුමැතිය ලැබෙනු ඇද්දැ යි යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. චීන සාධකය පදනම් කරගත් මෙම ගැටළුකාරී තත්වයට, ඉදිරියේදී පාකිස්ථානයටද බොහෝවිට මුහුණදීමට සිදුවනු ඇතැ යි කථිකාචාර්ය මොරමුදලි වැඩිදුරටත් සඳහන් කළේය.

"පාකිස්ථානයෙත් චීන ණය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාමේදී. පාකිස්ථානයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න වෙයි බොහෝවිට. තවම පාකිස්ථානය ණය ගෙවීම පැහැර හැරලා නැහැ. නමුත් ඒක වෙන්න ලොකු හැකියාවක් තියෙනවා. එවැනි අවස්ථාවක, අපේ වගේම චීනය පාකිස්ථානයෙත් ප්‍රධාන ණයහිමියෙක් නිසා, ඒගොල්ලන්ටත් අපිට ඇවිත් තියෙන ප්‍රශ්නෙම එන්න යම් ආකාරයක ඉඩකඩක් තියෙනවා. එතැනදී චීනය මොනවගේ භූමිකාවක් නිරූපණය කරයිද කියලා කියන්න අමාරුයි."

බංග්ලාදේශයට IMF ණය ගන්න මාස 3කින් අනුමැතිය

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සිය අභ්‍යන්තර සහ බාහිර ගැටලු හේතුවෙන් IMF ණය පහසුකම ලබාගැනීමට නොහැකිව ලතවෙමින් සිටියදී, බංග්ලාදේශය ඉතාම කෙටි කාලයක් ඇතුළත තම රට වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක විස්තීරණ ණය පහසුකමක් සහ 'බංග්ලාදේශය සඳහා ඔරොත්තු දීමේ හා තිරසාරත්ව පහසුකම' යටතේ තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් IMF විධායක මණ්ඩලය ලවා අනුමත කරවා ගැනීමට සමත්විය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ IMF විධායක මණ්ඩලය විසින් අලුතින් නිර්මාණය කරන ලද ඔරොත්තු දීමේ සහ තිරසාර පහසුකම (RSF) වෙත ප්‍රවේශ වූ පළමු ආසියානු රට බවට බංග්ලාදේශය පත්වීමයි.

මෙහිදී බංග්ලාදේශයට සිය ණය වෙනුවෙන්වූ අනුමැතිය මාස තුනකට අඩු කාලයකදී හිමිවීමද තවත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් පළමුවැනිදා IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹෙද්දී, බංග්ලාදේශය සිය ගිවිසුමට එළඹුණේ 2022 දෙසැම්බර් නව වැනිදාය.

එතැන් සිට IMF විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශයන්ට අනුව සිදුකෙරුණු යම් යම් ප්‍රතිසංස්කරණවලින් අනතුරුව බංග්ලාදේශය සිය ණය වෙනුවෙන් අනුමැතිය ලබාගත් බව IMF විධායක මණ්ඩලය විසින් 2023 ජනවාරි 30 වැනිදා නිවේදනය කළේය.