යුරෝපයේ ෂෙන්ගන් සංචාරක වීසා අවුල නිසා කළු කඩ ජාවාරමක්

Graphic representation of the EU flag over the Sheghen visa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමීරා මාධ්බි
    • Role, බීබීසී ලෝක සේවය

දිගු කාලයක් තිස්සේ බලා සිටි පවුලේ උත්සවයක් වෙනුවෙන් ඉතාලියට යාම සඳහා යසාන් මහත් බලාපොරොත්තුසහගතව සිටියේ ය.

එහෙත්, ලන්ඩන් නුවර අධ්‍යාපනය ලබමින් සිටි එම 20 හැවිරිදි සිරියානුවාට යුරෝපා රටක් වූ ඉතාලියට යාම සඳහා වීසා ලබා ගැනීමට වේලාවක් වෙන් කර ගැනීමට ඔහුට නොහැකි විය.

"මම මාස දෙකක් උත්සහ කළා," මධ්‍යම රාත්‍රියේ ඔන්ලයින් ඔස්සේ වේලාවක් වෙන් කර ගැනීමේ පද්ධතියට පිවිස වේලාවක් වෙන් කර ගැනීමට ද උත්සහ කළ බව පැහැදිලි කරමින්, ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.

අවසානයේ, යසාන්ට ඉතාලි ගමන අත්හැර දැමීමට සිදුවූ අතර, ඔහුට හැකි වූයේ, වීඩියෝ දුරකතන ඇමතුමක් හරහා පවුලේ සාමාජිකයින් සමග සම්බන්ධ වීමට පමණි.

වීසා ලබා ගැනීමට වේලාවක් වෙන් කර ගැනීමට උත්සහ කළේ, යසාන් පමණක් නොවේ. වේලාවක් වෙන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් යුරෝපයේ ෂෙන්ගන් කලාපයට යාමට නොහැකි වූ ලොව පුරා වෙසෙන පුද්ගලයින් සමග බීබීසී පුවත් සේවය කතා කළේ ය.

උපදෙස් පැතීම

ඇත්ත වශයෙන් ම, ඇතැමුන් වේලාවක් වෙන් කර ගැනීම සඳහා උපදෙස් පතමින් ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් සමූහ සහ Quora වැනි වෙබ් සංසද වෙත පවා යොමු වී ඇති අතර, ගාස්තු අය කිරීමක් හරහා "උදව්" ලබා ගැනීමට ද පෙළඹී තිබේ.

ෂෙන්ගන් කලාපයේ රටවල් 29 සඳහා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සංචාරකයින්ට දුෂ්කර වීම හේතුවෙන් වීසා නිලධාරීන් හමුවීමේ ස්ථාන සහ ඉක්මන් හමුවීම් වෙන්කරවා ගැනීමේ මෘදුකාංග ආශ්‍රිතව කළු කඩ වෙළෙඳාමක් වර්ධනය වෙමින් පවතින බව පෙනේ.

ෂෙන්ගන් වීසා යනු ඕනෑ ම දින 180ක කාල සීමාවක් තුළ දින 90ක් දක්වා මෙම රටවල් එකකට හෝ වැඩි ගණනකට සංචාරය කරන යුරෝපා සංගම් නොවන ජාතිකයන් සඳහා වන ප්‍රවේශ බලපත්‍රයකි.

LSContact's office in Tunis in 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, LSCcontact, 2021 වසරේදී ටියුනීසියාවේ අගනුවර වන ටියුනිස්හි දිස්වූ අයුරු, යුරෝපීය කොන්සල් කාර්යාල වෙනුවෙන් වීසා අයැදුම්පත් සහ ජීව දත්ත ලබා දීම සඳහා සේවා සපයන ආයතනයකි

කොවිඩ්වලින් පසු ඉහළ ගිය ඉල්ලුම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොවිඩ් වසංගතය හේතුවෙන්, ජාත්‍යන්තර සංචාර සඳහා වූ ඉල්ලුම අතිශයින් ඉහළ ගියේ ය.

යුරෝපා සංගමය, 2022 වසරේදී නිකුත් කළ වීසා මිලියන 7.3ට සාපේක්ෂව 2023 වසරේදී මිලියන 10ක් නිකුත් කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයට අනුව, 2024 පළමු මාස ​​තුන තුළ සංචාරකයින් මිලියන 285ක් ජාත්‍යන්තර වශයෙන් සංචාරය කර ඇති අතර, එය 2023 එම කාල සීමාවට වඩා 20%කින් වැඩි අගයකි.

ෂෙන්ගන් වීසා අයැදුම්පත් බාහිර ආයතන හරහා භාර ගැනෙන අතර, යුරෝපා රටවල රජයයන් වෙනුවෙන් ක්‍රියා කරන නියෝජිතායතන විසින් හසුරුවනු ලැබේ. එම ආයතන අයදුම්කරුවන්ගේ ලේඛන එකතු කිරීමට සහ ඔවුන්ගේ ජීව දත්ත ලියාපදිංචි කිරීම සඳහා වේලාවන් ලබා දෙයි.

අප TLSContact සහ VFS Global යන බාහිර ආයතන දෙකක් සම්බන්ධ කර ගත් විට, ඔවුන් පැවසුවේ, ඔවුන්ගේ වෙබ් අඩවිවල නිකුත් කරන නිලධාරීන් හමුවීමේ ස්ථාන තීරණය කරනු ලබන්නේ, ඔවුන් නියෝජනය කරන රටවල කොන්සල් කාර්යාල විසින් බව ය.

යුරෝපා සංගම් කොමිසමේ ප්‍රකාශක ක්‍රිස්ටියන් විගාන්ඩ් බීබීසීයට පැවසුවේ, කොවිඩ් සංචාරක සීමා කිරීම් හේතුවෙන් ඇතැම් සාමාජික රටවල කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව අඩු කිරීමට සහ බාහිර සමාගම් සමග ගිවිසුම් අවලංගු කිරීමට සිදුවුණු බව ය. ඉන් සිදුවූයේ, වැඩි ඉල්ලුමකට මුහුණ දීමට තිබියදී පහසුකම් අඩු කිරීමකි.

අයැදුම්පත් සැකසීම සඳහා වැඩි කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමට අරමුදල් සැපයීම සඳහා මෑතකදී යුරෝ 10ක වීසා ගාස්තු වැඩිවීමක් ඇතුළුව හමුවීමේ පොරොත්තු කාලය අඩු කිරීමට යුරෝපා සංගම් කොමිසම පියවර ගනිමින් සිටින බව ද ඔහු පවසයි.

Romania bordershowing Svhenghan and non-Shenghen transfer lanes

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුමේනියාව සහ බල්ගේරියාව 2024 මාර්තු 31 වන දා ෂෙන්ගන් කලාපයට සම්බන්ධ විය

'වීසා සාප්පු සවාරි'

සංචාරකයින් ෂෙන්ගන් කලාපයට ඇතුළු වන රට වෙත ඔවුන්ගේ වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු ය. එසේ නැතහොත්, ඔවුන් ෂෙන්ගන් රටවල් කිහිපයකට සංචාරය කරන්නේ නම් වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ, සංචාරය තුළදී ඔවුන් වැඩි කාලයක් ගත කරන රටට ය.

ඇතැම් රටවල කොන්සල් කාර්යාල අනෙක් ඒවාට වඩා වැඩි ඉල්ලුම් පත් සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන්, බොහෝ සංචාරකයින්ට වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අධික වියදම් දැරීමට සිදුවේ, ඇතැමුන් එම ක්‍රමය විස්තර කරන්නේ, "වීසා සාප්පු සවාරි" ලෙස ය.

ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනයේ උප සභාපති අනිල් කල්සි පවසන්නේ, මෙම තත්ත්වය තුළ "නිසි වේලාවට වීසා නිලධාරීන් හමුවිය හැකි ඕනෑ ම රටක් තෝරා ගැනීමට සංචාරකයින්ට බල කෙරෙන," බව ය.

ඇතැම් සංචාරකයෝ යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුකූල වීම සඳහා, ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්තයට අමතරව, වීසා නිලධාරීන් හමුවීමට වැඩි අවස්ථා ඇති අතිරේක රටකට පැමිණීමට වැඩි මුදලක් වැය කිරීමට පෙළඹෙති.

මෙම ක්‍රමය බොහෝවිට නිලධාරීන් හමුවීමට නොහැකිකමට ප්‍රතිචාරයක් වුව ද, යුරෝපා සංගම් කොමිසමේ ක්‍රිස්ටියන් විගන්ඩ් පවසන්නේ, එය පොරොත්තු කාලය තවත් වැඩි වීමට හේතු වන සාධකයක් බව ය.

වීසා නිලධාරීන් හමුවීමට ඇති අවස්ථා හිඟවීම සම්බන්ධයෙන් පසුගිය වසරේ කළ විමසීමකදී, ලන්ඩන් නුවර පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය බීබීසී පුවත් සේවයට පැවසුවේ, වීසා ඉල්ලීම් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් "වීසා සාප්පු සවාරි" දිරිමත් වන බව ය.

එහෙත්, බොහෝ දෙනෙකුට, වීසා සාප්පු සවාරි ක්‍රමය ඉතා මිල අධික හා කාලය ගත වන ක්‍රමයක් වන අතර, ඒ හරහා තමන් සංචාරය කිරීමට කැමති රට සඳහා ඉක්මන් වීසා නිලධාරී හමුවීමක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් සංචාරකයින් පොළඹවන කළු කඩ වෙළෙන්දන්ට කවුළුවක් නිර්මාණය වී තිබේ.

කළු කඩ බොට්

ලන්ඩන් නුවර වාසය කරන ඊජිප්තු ජාතික නිර්වාණා, ඉතාලියේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා නියමිත වේලාවට වීසා නිලධාරීන් හමුවීම වෙනුවෙන් කළු කඩ ජාවාරම හරහා ස්ටර්ලිං පවුම් 100ක් (ඩොලර් 130 ක් පමණ) ගෙවා තිබිණි.

"මනමාලිගේ නෑදෑ හිතවතුන් බොහෝ දෙනෙකුට නියමිත වේලාවට වීසා ලබා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ට විවාහ මංගල්‍යය මග හැරුණා," යැයි 37 හැවිරිදි ඇය පවසයි.

ගාස්තුවක් ගෙවන ගනුදෙනුකරුවන් සඳහා හමුවීම් වේලාවක් වෙන්කරවා ගැනීමට, ඇය "බොට්" භාවිත කරන මිතුරෙකු විසින් නිර්දේශ කරන ලද වෙබ් අඩවියක් භාවිත කළා ය.

Bot service to arrange Shenghen visa appointments
ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙලිග්‍රෑම්හි මෙම 'බොට්' සේවාව දින තුනක් ඇතුළත හමුවීම් සංවිධානය කිරීමට පොරොන්දු වේ - මෙම රූපයේ සේවා නාමය සඟවා ඇත

රොබෝ සඳහා කෙටි යෙදුමක් වන "බොට්" යනු මිනිස් ක්‍රියාකාරකම් අනුකරණය කරන නමුත් ඉතා ඉහළ වේගයකින් සහ සංඛ්‍යාතයකින් යුත් පරිගණක වැඩසටහනකි. කළු කඩ නියෝජිතයින් ඒවා නිකුත් කළ වහා ම හමුවීම් නිරීක්ෂණය කිරීමට සහ හමුවීම් රැසක් වෙන් කිරීමට ඒවා භාවිත කරයි.

ප්‍රසංගයක් සඳහා නෙදර්ලන්තයට යාමට ලන්ඩන් නුවරදී වීසා නිලධාරීන් හමුවීමට වේලාවක් වෙන් කර ගැනීමට මාස තුනක් උත්සහ කිරීමෙන් පසු, සිරීන් විසින් VFS ග්ලෝබල් වෙබ් අඩවියෙන් හමුවීමක් ලද විගස ඇයට දැනුම් දීමක් කරන බව පැවසූ බොට් එකක් බාගත කිරීම සඳහා පවුම් 30ක් ගෙවා තිබිණි.

ලෙබනන් ජාතික 26 හැවිරිදි ඇය බලාපොරොත්තු වූයේ, මෙය ඇගේ පෞද්ගලික දත්ත කළු කඩ නියෝජිතයෙකු සමග බෙදා ගැනීමට වඩා ආරක්ෂිත විකල්පයක් වනු ඇති බව ය.

මෙම සේවාව ම ලබා දෙන තවත් ටෙලිග්‍රෑම් නාලිකාවක් පාරිභෝගිකයින්ට දින එකක් හෝ තුනක් ඇතුළත හමුවීමක් ලබා දෙන බවට පොරොන්දු වේ.

එහෙත්, එවැනි දැනුම්දීමක් අපේක්ෂාවෙන් ගෙවීම් කළ තවත් දහස් ගණනක් සිටින බව විශ්වාස කරන, සිරීන්ට බොට්ගෙන් පවා පිළිසරණක් නොලැබිණි. ඇය ප්‍රතිචාර දැක්වූ සෑම අවස්ථාවකදී ම හමුවීමේ අවස්ථා වෙනත් අයෙකු වෙන් කරගෙන තිබිණි.

"ඒක හරි වේදනාවක්. අන්තිමට මම අත්හැර දැම්මා," ඇය පවසයි. වසරකට පෙර ප්‍රවේශ පත්‍රය මිල දී ගෙන තිබියදීත්, ප්‍රසංගය මග හැරීම නිසා සයිරීන් දැන් හිත හදාගෙන සිටී.

කොන්සල් කාර්යාල සහ වීසා ඒජන්සි "නිලධාරීන් හමුවීමේ වංචාවට" එරෙහිව ක්‍රියාත්මක වීමට තාක්ෂණය භාවිත කරයි.

TLScontact ආයතනය බීබීසී පුවත් සේවයට පැවසුවේ, එය කළු කඩ වෙළෙන්දන්ට එම ක්‍රියාවලිය අසීරු කිරීම සඳහා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (one-time passwords) වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ය. එය පුරෝකථනය කිරීම වළක්වා ගැනීම සඳහා නව හමුවීම් "අහඹු ලෙස මුදා හැරීම" ස්වයංක්‍රීයව සිදු කරයි.

VFS Global ආයතනය විසින් ද එවැනි ම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබන අතර, ඔවුන් bots වෙන්කරවා ගැනීම් පිළිබඳව "අතිශයින් සැලකිලිමත් වන" බව බීබීසී පුවත් සේවය වෙත පැවසීය.

Road sign for the town of Sheghen in Luxembourg

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂෙන්ගන් යන නම භාවිත කෙරෙන්නේ, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය 1985 වසරේදී මුල් ගිවිසුමට ලක්සම්බර්ග්හි ගිනිකොණදිග පිහිටි ෂෙන්ගන් නගරයේදී අත්සන් තැබීම හේතුවෙනි.

පෞද්ගලික නිකුත් කිරීමේ කවුළු

අහමඩ් (ඔහුගේ සැබෑ නම නොවේ) සංචාරක නියෝජිතායතන හිමිකරුවෙකු වන අතර, ඔහු කළු කඩ වෙළෙඳාමෙහි නිරත නොවන බව පැවසුව ද, කළු කඩ වෙළෙඳාම් ක්‍රියාත්මක වන ආකාරය හුරුපුරුදුය.

ඔහු පවසන්නේ, ඇතැම් කළු කඩ ජාවාරම්කරුවන් සහ ගනුදෙනුකරුවන් සඳහා හමුවීම් සොයන සංචාරක නියෝජිතායතන හිමිකරුවන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ, වීසා සේවා නියෝජිතායතන සේවකයින් සමග සබඳතා ගොඩනඟා ගැනීමෙන් බව ය. හමුවීමට නියමිත වේලාවන් සහ දිනයන් මෙම සේවකයන් බොහෝවිට හෙළි කරන බව ඔහු පවසයි.

"පාර්ශ්ව දෙක අතර සිදුවන ගනුදෙනුව මත පදනම්ව, සංචාරක නියෝජිතායතනවලට හෝ කළු කඩ අලෙවිකරුවන්ට අපේක්ෂිත මුදා හැරීමේ වේලාවට කෙටි වේලාවකට පෙර පෞද්ගලික නිකුත් කිරීමේ කවුළුවක් හරහා ප්‍රතිලාභ ලබන්න පුළුවන්," අහමඩ් පවසයි.

වීසා නිලධාරීන් හමුවීම කළු කඩ ජාවාරම් පිළිබඳ දැනුම ඇති විවිධ මූලාශ්‍රවලින් මේ හා සමාන චෝදනා ඇසීමෙන් පසු, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ෂෙන්ගන් කලාපීය රටවල රජයයන් වෙනුවෙන් ක්‍රියා කරන වීසා සේවා ආයතන සම්බන්ධ කර ගැනීමට බීබීසී පුවත් සේවය සමත් විය.

TLScontact ආයතනය පැවසුවේ, චෝදනා අසත්‍ය බවත් "එම චෝදනා ගොඩනගන්නේ තමන් සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් ඇති කර ගැනීමට උත්සහ කරන කළු කඩ ක්‍රියාකරුවන් විය හැකි," බවයි.

සමාගම තවදුරටත් මෙසේ පැවසීය: "අපේ ආයතනය තුළ සිටින ජ්‍යෙෂ්ඨ සේවකයින් ඉතා සීමිත සංඛ්‍යාවකට විතරයි, අපේ හමුවීමේ මේස වෙත ප්‍රවේශය විය හැකි යි. ඔවුන්ගේ ක්‍රියාවන් අපගේ තොරතුරු තාක්ෂණ පද්ධති සහ අප නියෝජනය කරන රජයේ වීසා දෙපාර්තමේන්තු මගින් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ.

VFS Global ආයතනයේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ප්‍රධානී අරිප්‍රසාද් විශ්වනාදන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, "එවැනි විෂමාචාරයක් පිළිබඳව සමාගමට කිසිදු තොරතුරක් ලැබී නොමැති වුවත් ඒ පිළිබඳව විමර්ශනය කරන," බව ය.

VFS ආයතනය පවසන්නේ, "පෞද්ගලික වෙන්කිරීමේ කවුළු" නොමැති බවත්, "හමුවීමේ ස්ථාන සැමට එකවර ම ප්‍රසිද්ධියේ ලබා ගත හැකි බවත් ය".

වීසා මෙහෙයුම් අධීක්ෂණය කිරීමේදී යුරෝපා සංගම් කොමිසමට කාර්ය භාරයක් ඇති අතර, විගන්ඩ් පවසන්නේ, බාහිර සේවා සපයන්නන් ඔවුන්ගේ ගිවිසුම්ගත බැඳීම් ඉටු කරන බවට වග බලා ගැනීම සහ යුරෝපා සංගම් නීති රීති සහ වීසා කේත ප්‍රතිපාදන අනුගමනය කිරීම යුරෝපා සංගම් සාමාජික රටවල වගකීම බව ය.