ඉල් මහේ උතුර - දකුණ සමරන විරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake
ශ්‍රී ලංකාවේ උතුරත් - දකුණත් තම අයිතීන් වෙනුවෙන් දිවි දුන් විරුවන් ස්මරණය කරන මාසය නොවැම්බරය යි.
උතුරේත් දකුණේත් ජනතාව සිය අයිතීන් වෙනුවෙන් විවිධ අවස්ථාවලදී සන්නද්ධ අරගලවලට යොමුවූ අතර බොහෝ දෙනෙකුට තම ජීවිත වලින් වන්දි ගෙවන්නට විය. තවත් බොහෝ පිරිසක් අතුරුදහන්වුවන් අතරට එක්වුහ.
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදි පක්ෂය ප්‍රමුඛ පිරිස් දකුණේ දී 'ඉල් මහා විරුවන්' ලෙස එම පිරිස් ස්මරණය කරද්දි උතුරු නැගෙනහිර ජනතාව තම අයීතින් වෙනුවෙන් සටන් කර දිවි දුන් තම ඥාති හිතමිත්‍ර ආදීන් 'මහා විරුවන්' ලෙස අනුස්මරණය කරති.
දකුණේ ජනතාවට බාධාවකින් තොරව එම විරුවන් ස්මරණය කිරීමට හැකි වුවත්, උතුරේ ජනතාවට තවමත් එම අනුස්මරණය කිරීම් පවත්වන්නට සිදුව ඇත්තේ, විවිධ වූ තහංචි හා බාධා මැදය.
'නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇත'
“අපිට දුකයි තමයි, එයා සමාජයට කරපු යහපත් දෙයක් නිසා එයා ජීවත් වෙලා ඉන්කොට ලබාගන්න දේට වඩා එයා මැරිලා දීපු ආදර්ශ ගැන අපිට හැඟීමක් තියෙනවා.” යැයි තම වැඩිමහල් සොහොයුරා ගැන අභීමානයෙන් යුතුව අදහස් පළ කළ ගාල්ල, හවුපේ පදිංචි ශාන්ත සමන්සිරි බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
1987 දී ජාතික ප්‍රශ්නය විසඳීමේ අරමුණින් එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජය හා ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ගේ රජය එක්ව අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීම සහ එජාප පාලනයට එරෙහිව ජනතාව විමුක්ති පෙරමුණ නායකත්වය දුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කළේය.
එම කැරැල්ලේ දී දහස් ගණන් තරුණ තරුණියන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වු අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් විය.
1989 නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මරණයට පත් වූ අතර සෑම වසරකම එම දිනය කැරැල්ලෙන් මිය ගිය සියලු දෙනා අනුස්මරණය කර 'ඉල් මහ විරු සමරුව' ලෙස සැමරේ.

ඡායාරූප මූලාශ්‍රය, Front Line Socialist Party
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“අපේ අයියා තමයි හවුපේ ඉස්කෝලෙන් එකටම විශ්ව විද්‍යාලයට තේරුණු කෙනා, එයා ගියේ කොළඹ කැම්පස් එකට. අපේ තාත්තාත් වාමාංශික අදහස් තිබුන කෙනෙක්. අයියාත් ඒ වගේමයි. අයියා ගියේ කොළඹ කැම්පස් එකට ඒ ගියාට පස්සේ අන්තරේ එක්ක වැඩ කළා. අවුරුද්දක් දෙකක් යද්දි රටේ තිබුණ කලබල එක්ක කැම්පස් වහලා දැම්මා ඊට පස්සේ අයියා ගමට ආවා.” යි අතීත මතක හාරා අවුස්සමින් සමන්සිරි කියා සිටියේය.
හවුපේ පාසලින් කොළඹ විශ්ව විද්‍යාලයට තේරී පත්වු සමන් රංජිත් පවුලේ වැඩිමල් දරුවා වු අතර ඔහු ගමේ කා අතරත් කැපී පෙනෙන පුද්ගලයෙකු වූ බව ඔහුගේ සොයුරු සමන්සිරි බීබීසී සිංහල හා කළ කතාබහේ දී සඳහන් කළේය.
“අපේ තාත්තාට කඩයක් තිබුණා ගෙදර ආවාට පස්සේ අයියා ඕකේ වැඩට උදව් වෙන්න ගියා. දවසක් අයියා කඩේට වතුර ගේන්න යද්දි හමුදාවෙන් ඇවිත් අල්ලගෙන යනවා. අල්ලගෙන ගියාට පස්සේ අපිට හොයාගන්න බැරි වෙනවා. අම්මයි තාත්තායි හැමතැනම හොයලා ගාල්ල හිල්ටොප් කඳවුරේ ඉන්නවා කියලා ආරංචියක් එනවා. පස්සේ අයියා ඒකේ ඉඳලා තාත්තාලා ඒකෙන් බේරගෙන අයියාව උසාවි දාලා රිමාන්ඩ් කරලා තියෙලා, පස්සේ ඇප දීලා බේරගත්තා.”
“ඔය කාලයේ දේශප්‍රේමී අරගල උග්‍ර වුණානේ එතකොට මෙයා ඒවාගේ නායකත්වය අරගෙන වැඩ කළා. එතකොට දිගටම ආමි එකෙන් ඇවිත් මෙයාව හෙව්වා. කඩේට ඇවිත් නිතරම අපිට කරදර කරනවා. අම්මා තමයි අයියාගේ යාලුවෝ ආවාත් ඒ අයට සලකන්නේ, ඒ නිසා ආමි එකෙන් අම්මාට ගොඩක් කරදර කළා. සෑහෙන වෛරකින් හිටියා අම්මා එක්ක”
සමන්සිරි සිය සොහොයුරාගේ අනීතික ඝාතනය ගැන අමිහිරි මතකය වේදනාබරව අප වෙත කියා සිටියේය.
“අයියා ගෙදර ඉන්න බය නිසා වෙනත් තැනක හිටියේ. පක්ෂයට සම්බන්ධ එයාගේ වෙනත් යාලුවෙකුත් එක්ක. ඔහොම ඉද්දි 1989 දෙසැම්බර් 23 උදේ පාන්දර මුලු ගමම වට කරළා, හැම ගෙයක් පිටිපස්සෙම ආමි එකන් ඉන්නවා. ඊට පස්සේ අයියලා නැගිටලා එනකොට උදේ 6.20 ට ඒ දෙන්නට වෙඩි තියලා. අපි ගෙදර ඉන්නකොට අපිට සද්දේ ඇහුනා.” යැයි ඔහු පැවසීය.
“අයියාලාව මරලා හන්දියට ගෙනල්ලා බලෙන්ම ගමේ මිනිස්සුන්ට හන්දියට එන්න කියලා. අපි කාටවත් එතනට එන්න දුන්නේ නෑ. අම්මලාට එහෙම තුවක්කු තියාගෙන හිටියේ. ගමේ මිනිස්සු ඉස්සරහා අපේ අයියලාට අගෞරව වෙන විදියට එක එක දේවල් කියද්දි ගමේ මිනිස්සු බැනලා තියෙනවා. එක ආච්චි කෙනෙක් කෑගහලා අඬලා තියෙනවා මේ අහිංසක කොල්ලෙක්, ඇයි මැරුවේ කියලා.”

ඡායාරූප මූලාශ්‍රය, Shantha samnsiri
“අපේ අම්මට ආමි එකෙන් කිව්වා විමුක්තිය හොයාගෙන ගිය උඹේ පුතා අන්න ඇළේ ඉන්නවා කියලා. එතකොට අපේ අම්මා කිව්වා මගේ පුතා විමුක්තිය හොයාගෙන ගියේ උඹලාටත් එක්ක තමයි කියලා. පාරේ ගිය වාහනයක් නතර කරලා අයියලා ඉදගෙන ඉන්නවා වගේ බැඳලා තමයි ඒ අය බෝඩි අරගෙන ගියේ. සිංදු කිය කිය බජව් දදා තමයි උන් අයියලාව අරන් ගියේ. අපිට ළඟටවත් යන්න දුන්නේ නෑ. අපි කෑගහලා අඬද්දි අපිට තුවක්කු දික්කරලා අම්මාටත් ගහලා තමයි ගියේ.” යැයි වේදනාබර අතීතය අසීරුවෙන් හරා අවුස්සමින් ඔහු කියා සිටියේය.
මරා දැමු සමන්ගේ දේහය ඔහුගේ පවුලේ උදවියට ලබා දී නැති අතර පසුව දැනගන්නට ලැබී ඇත්තේ ඔහුගේ සිරුර ටයර් දමා පුලුස්සා ඇති බවය.
පසු කලෙක “නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇත.” ලෙස සමන් ගේ මරණ සහතිකය ලබා දීමට උත්සාහ කර ඇතත් පවුලේ උදවිය එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන්ගේ ඉල්ලා ඇත්තේ රජයේ හමුදා විසින් හෝ රජය විසින් ඝාතනය කළ ලෙස ඔහුගේ මරණ සහතිකය ලබා දෙන ලෙසයි.
'අපේ දරුවන් ව ආයුධ ගන්න තැනට රජයත්, හමුදා යාන්ත්‍රණයත් තල්ලු කළා'

“මගේ දරුවන් ව අහිමිවුණු එක මටත් මගේ පවුලටත් ලොකු වේදනාවක් වුණත්, මේ දේශයට විමුක්තියක් ලැබෙන්න ඕනේ.” යි මහවිරු පවුලක සාමාජිකයකු වු සුබ්‍රමණියම් පරමානන්දම් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
දෙමළ ජනයා වෙනුවෙන් ස්වයං තීරණ අයිතිය හා වෙනම නිජබිමක් දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් නායකත්වය දුන් LTTE සංවිධානය යුදමය වශයෙන් 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකා හමුදා විසින් ජරාජය කළද LTTE සංවිධානය උතුරු නැගෙනහිර පාලනය හොඹවන කාලයේ සිටම සෑම වසරකම නොවැම්බර් 27 වැනිදා තම අරමුණු වෙනුවෙන් දිවි දුන් අයවලුන් ස්මරණය කරන අතර ඔවුන් 'මහවිරුවන්' ලෙස මහජන ගෞරවයට ලක් කරයි.
එම මියගිය අයගේ පවුල් 'මහවිරු පවුල්' ලෙස හඳුන්වනු ලබන අතර හමුදා, පොලිස් බාධා හා තහංචි මැද අදටත් එම පවුල්වල උදවිය තම මිය ගිය සාමාජිකයින් සිහිකරන 'මහවිරු උත්සවය' පවත්වනු ලබයි.
කිලිනොච්චිය, වවුනික්කුලම් හි දිවි ගෙවන සුබ්‍රමණියම් පරමානන්දම් ද මහවිරු පවුලක සාමාජිකයකු වන අතර හිටපු LTTE සාමාජිකයකු වු ඔහු තම පුතුන් හතර දෙනෙකු LTTE සංවිධානයට භාර දී තිබුණි.
ඉන් දෙදෙනෙකු යුද්ධයේ දී මිය ගොස් ඇති අතර තවත් අයෙකු අතුරුදහන්ව ඇත. පරමානන්දම් ගේ වැඩිමහල් පුතු යුද්ධයේ දී හිසෙහි වැදුණ බෝම්බ කැබලි සහිතව ජීවත් වෙයි.
“අපිට නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියන අරමුණ ඇතිව ජීවිතය පූජා කරපු අය විදිහටත් මමත් මගේ පවුලේ අයත් මේ ගැන ආඩම්බර වෙනවා. අද පවතින ආර්ථික ගැටලු එක්ක මේ අහිමි වීම් ලොකු ගැටලුවක් වුණත් අපගේ භූමියට නිදහසක් ලැබෙන්න ඕනේ. අපේ ජනයා නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියන පිවිතුරු හැඟීමෙන් මගේ දරුවන් ජීවිතය පූජා කරලා තියෙනවා. ඒ වගේම අතුරුදන් කිරීමට ලක් වෙලා තියෙනවා. මේ දේශයට ආදරය කළ කෙනෙක් හැටියටත් දෙමාපියන් හැටියටත් අපි ගොඩාක් ආඩම්බර වෙනවා.”

සුබ්‍රමණියම් පරමානන්දම් ඇතුලුව මහවිරු පවුල්වල සාමාජිකයින් උතුරු නැගෙනහිර පුරා මෙවර ද මහවිරු සැමැරුම පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර රජයෙන් කෙරෙන බාධා කිරිම් ගැන ද ඔහු අදහස් පළ කළේය.
“අපේ දරුවන් ව වන්දනා කරන එකට රජය බාධා කරන්න හොඳ නැහැ. මේකට සංවිධානයට අයත් කිසිම සංකේතයක් භාවිත කළේ නැහැ. දරුවන්ගේ දෙමාපියන් තමා මේක කළේ. මේ සැමරුම්වලට රජය බාධා කරන්න හොඳ නැහැ කියලා ඉල්ලනවා. මේ වෙද්දී නිදහස් කරලා තියෙන සොහොන්වලට අමතරව අනෙක් සොහොන්වලට ගිහින් දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට වන්දනා කරන්න අවසර දෙන්න ඕනේ.”
“අපේ දරුවන් වෙනුවෙන් එක දවසකට පහන් පත්තු කරලා වඳින්නත්, අනිත් දවස්වලට දෙමාපියන්ට සොහොනට ඇවිත් යන්න රජය ඉඩ දෙන්න ඕනේ. දැන් සොහොන් කිහිපයක් නිදහස් කරලා තියෙනවා වගේ හමුදාව අත්පත් කරගෙන ඇති සොහොන් රජය නිදහස් කරන්න ඕනේ. එහෙම තැත්නම් විදේශ ගතව ඉන්න අපේ ඥාතීන් සහ විදේශ රටවල් ජාත්‍යන්තර නීතියට අනුව මැදිහත්වීමක් කරලා, මිය ගිය අයව ස්මරණය කිරීමට අපිට තියෙන අයිතිය තහවුරු කරලා, අපේ දරුවන් නිදන සොහොන්වලින් හමුදාව ඉවත් කරලා දෙමාපියන්ට වන්දනා කරන්න සුදුසු පරිසරයක් ඇති කරන්න ඕනේ කියලා ඉල්ලනවා.” යි ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගත් නිසා දෙමළ ජනයා ආයුධ සන්නද්ධ අරගලයට යොමු වු බව පවසන ඔහු යුද්ධය නිමා වුවද දෙමළ ජනයාගේ අයිතීන් තවමත් ලැබී නැති බව පැවසීය.
“අවුරුදු 30ක් විතර මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න දෙමළ ජාතිකවාදී නායකයන් උත්සහ කළා. ඒකෙන් හරි ප්‍රතිචාරයක් ලැබුණේ නැති නිසා අපේ දරුවන් ව ආයුධ ගන්න තැනට ශ්‍රී ලංකා රජයත්, හමුදා යාන්ත්‍රණයත් තල්ලු කළා. ඒ තල්ලු කිරීම නිසා 35,000කට වැඩි අපේ දරුවන් ජීවිතය පූජා කරන තැනට ගියා. අද වෙනකම් තිබුණ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා නැහැ.” යි සුබ්‍රමණියම් පරමානන්දම් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.








