සැකකරුවෙකුට පහරදී මරා දැමීම: හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම

2005 වසරේ පෑලියගොඩ පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදී මරණය සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට කොළඹ මහාධිකරණය අද (මාර්තු 04 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2005 වසරේ පෑලියගොඩ පොලිසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහරදී මරණය සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (මාර්තු 04 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය.

පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක චමින්ද කුමාර සහ පොලිස් සැරයන් අනුර වීරවර්ධන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම දඬුවම් නියම කරනු ලැබීය.

මහජනතාව යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට බවත් ඒ අනුව නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවම් අධිකරණය විසින් විත්තිකරුවන්ට නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

2005 වසරේ ජූලි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රැහැන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අබේසිංහ නොහොත් රංජිත් නැමැති විත්තිකරුවකුට පොලිස් ස්ථානය තුළදී විකට් පොලු වලින් පහරදී මරණය සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතර දෙනකුට එරෙහිව නඩු පවරා තිබුණි.

එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පෑලියගොඩ පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන එල්. දසනායක සහ සැරයන් මොහොමඩ් අජිස් යන නිලධාරීන් දෙදෙනා චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය.

'අමානුෂික ආකාරයෙන් පහර දීලා'

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රැහැන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පොලිස් ස්ථානයේ ජනේලයකට හේත්තු කර මාංචු දමා විත්තිකරුවන් දෙදෙනා විසින් පහර දීමක් සිදු කර ඇති බව ය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ සටහන් යෙදීමට විත්තිකරුවන් කටයුතු කර නොමැති බවත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පසුදා මරණයට පත්වන තුරු අදාළ සැකකරුට විත්තිකරුවන් විසින් අමානුෂික ආකාරයෙන් පහර දී ඇති ආකාරය සාක්ෂි වලින් අනාවරණය වී ඇතැයි විනිසුරුවරයා සඳහන් කළේය.

වෛද්‍ය වාර්තාවේ අන්තර්ගත කරුණු උපුටා දක්වමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා “මෙම සැකකරු බිම ඇද වැටීමෙන් ඔහුගේ තුවාල ඇතිවූ බව විත්තිකරුවන් සඳහන් කර තිබුණා. එමෙන්ම අදාල මරණකරු මත් ලෝලියකු බවටත් විත්තිය විසින් ප්‍රකාශ කර තිබුණා.”

“එහෙත් වෛද්‍ය වාර්තාවලට අනුව මියයන අවස්ථාව වන විට ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර තිබූ බවක් අනාවරණය වුණේ නෑ. එසේම මෙම විත්තිකරුගේ සිරුරේ තුවාල 26 ක් දක්නට ලැබෙනවා. එසේම මරණකරුගේ උරහිසට යටින් තිබෙන අස්ථි සියල්ල බිඳී ගොස් තිබෙනවා.”

“මෙම තුවාල බිම ඇද වැටීමෙන් ඇති වූ තුවාල නොවන බවයි වෛද්‍යවරුන්ගේ මතය. මෙම තුවාල මොට ආයුධයකින් පහර දීම නිසා ඇති වූ තුවාල බව වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. විකට් පොල්ලක් වැනි දෙයකින් පහර දුන්නොත් මෙවැනි තුවාල ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා." ඒ අනුව මොට ආයුධයකින් පහර දීම නිසා පේෂි හානි වී අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍යවරයා නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මෙම විත්තිකරු මරණයට පත්වී සිටි බව සාක්ෂි වලින් අනාවරණය වී ඇති බව ය.

'සෙසු පොලිස් නිලධාරීන්ටත් ආදර්ශයක් වන පරිදි උපරිම දඩුවමක් නියම කරන්න'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දඬුවම් නියම කිරීමට පෙර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ චතුරි විජේසිංහ අධිකරණය හමුවේ සඳහන් කළේ සමාජයේ සිටින සෙසු පොලිස් නිලධාරීන්ට ද ආදර්ශයක් වන පරිදි උපරිම දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටින බව ය.

නීතිය අතට ගෙන තමන්ට ඕනෑම දෙයක් සිදුකළ හැකි බව සිතන පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් විය හැකි දඬුවමක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වු විත්තිකරුවන් දෙදෙනා කියා සිටියේ තමන් සෑම අවස්ථාවකදීම කටයුතු කළේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව බවත් දැන් සියලු උසස් නිලධාරින් බේරී ගොස් සියලු වැරදි තමන් මත පැටවී ඇති බව ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පොලිස් නිලධාරින් යනු සාමය රැකීම සඳහා නීතියෙන් බලය පැවරී තිබෙන නිලධාරී පිරිසක් බවත් ඔවුන්ට විමර්ශන සිදු කිරීම හැර සැකකරුවන්ට දඬුවම් පැමිණවීමේ බලයක් නීතියෙන් හිමිවී නොමැති බවත් කියා සිටියේය.

මහජනයා යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට වන අතර මෙම වරදට අධිකරණයෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් විත්තිකරුවන්ට නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.