ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනතාවට විවෘත වූ ඊජිත්තු ශිෂ්ටාචාරය ම දැක ගත හැකි මහා කෞතුකාගාරය
- Author, කේන් පියරි
පෞරාණික ලෝකයේ ඉතිරිව ඇති අවසාන ආශ්චර්යය වන ගීසාහි මහා පිරමීඩය සෙවණේ ඉදිකරන ලද, දිගු කලක් බොහෝ දෙනෙකු බලා සිටි ඊජිප්තු මහා කෞතුකාගාරය අවසානයේ එහි දොරටු විවෘත කර තිබේ.
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය මෙන් දෙගුණයක් විශාල අක්කර 120ක (වර්ග කිලෝමීටර 0.5) භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම කෞතුකාගාරයේ, ටූටන්කාමන් රජුගේ සොහොනේ තිබූ මීට පෙර නොදුටු වස්තු ඇතුළුව, වස්තූන් 70,000ත් 100,000ත් අතර ගණනක් ප්‍රදර්ශනය කෙරේ.
2002දී ප්‍රකාශයට පත් කර 2012දී විවෘත කිරීමට නියමිතව තිබූ මෙම කෞතුකාගාරය පිරිවැය, දේශපාලන කැලඹීම්, කොවිඩ්-19 වසංගතය සහ කලාපීය ගැටුම් හේතුවෙන් නැවත නැවතත් ප්‍රමාදයන්ට මුහුණ දුන්නේ ය.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් පමණ වැය වී ඇති අතර, එයින් වැඩි ප්‍රමාණයක් අරමුදල් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියෙන් සැපයීය.
අභිරහස් සහ දැනුමේ දේශය
අගමැති මුස්තාෆා මද්බූලි විසින් ඊජිප්තුව "ලෝකයට පිරිනමන තෑග්ගක්" ලෙස හඳුන්වන මෙම කෞතුකාගාරය, ඊජිප්තු සංස්කෘතියේ ප්‍රමුඛත්වය සහ බලපෑම ඉස්මතු කිරීම සහ අර්බුදයකට මුහුණ දී සිටින ආර්ථිකයක් නංවාලීම අරමුණු කරයි.
"පුරාණ ඊජිප්තුව සෑම කෙනෙකුගේ ම ම සිත් ඇද ගන්නවා," කයිරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සලීමා ඉක්‍රම් පවසයි. "ග්‍රීකයන්, රෝමවරුන් සහ ෆිනීෂියානුවන් පවා ඊජිප්තුව අභිරහස් සහ දැනුමෙන් පිරුණු දේශයක් ලෙස සැලකුවා."
නූතන ඊජිප්තු වැසියන් ඔවුන්ගේ උරුමයන් සමග නැවත සම්බන්ධ කිරීමට ද මෙම කෞතුකාගාරය බලාපොරොත්තු වේ.
"ඉන් විශාල ජාතික අභිමානයක් ඇති කිරීමට නියමිතයි," මහාචාර්ය ඉක්‍රම් පවසයි, "එය පුරාණ ඊජිප්තුව දෛනික ජීවිතයට සහ එක් එක් ඊජිප්තු වැසියාගේ ජාතිකවාදී ආඛ්‍යානයට වැඩි වැඩියෙන් ගෙන ඒවි."
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද 2025 නොවැම්බර් 1 වන දින[පැවති විවෘත කිරීමේ උත්සවයට ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මයර් සහ බෙල්ජියමේ ෆිලිප් රජු ඇතුළු ලෝක නායකයින් 60ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
මෙම උත්සවය TikTok ඔස්සේ සජීවීව විකාශය කෙරුණු අතර ආණ්ඩුකාර බලප්‍රදේශය පුරා ප්‍රධාන චතුරශ්‍රවල පුළුල් තිර යොදා ප්‍රදර්ශනය කිරීමට ද නියමිතව තිබිණි.
ටූටන්කාමන්ගේ නැවත පැමිණීම
ටූටන්කාමන්ගේ සොහොන් ගැබෙහි තිබූ ඔහුගේ රන් වෙස් මුහුණ ඇතුළු වස්තු 5,000ක් ප්‍රථම වරට මෙහිදී එකට ප්‍රදර්ශනය කෙරේ.
1922දී බ්‍රිතාන්‍ය ඊජිප්තු විද්‍යාඥ හොවාර්ඩ් කාටර් කාලයේ වැලි තලාවෙන් වැසී ගොය ටූටන්කාමන්ගේ සොහොන සොයාගත් දා සිට ඔහු හදවත් ආකර්ෂණය කර ගෙන ඇත.
දශක ගණනාවක් තිස්සේ ලොව පුරා නගරවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු, දැන් ඔහුගේ රන් වෙස් මුහුණ, සිංහාසනය සහ ඔහු සමග තැන්පත් කර ඇති 5,000කට අධික මහජනතාව නොදුටු වස්තු පළමු වරට පූර්ණ ලෙස ප්‍රදර්ශනය කෙරේ.
"ටූටන්කාමන්ගේ සොහොනේ කොටස් එක තැනක දකින්න ලැබීම දර්ශනීය වේවි," මහාචාර්ය ඉක්‍රම් පවසයි.
"අනාගත සංචාරක කණ්ඩායම් බොහොමයක් ටූටන්කාමන් රජුන්ට අයත් කෞතුක භාණ්ඩ කෙරෙහි අවධානය යොමු කරලා, කෞතුකාගාරයේ ඉතිරි කොටස ඉතිහාසය ගැන උනන්දුවක් තියෙන අයට ඉතිරි කරාවි කියන සැකය මට තියෙනවා," යැයි දැනටමත් මහා ඊජිප්තු කෞතුකාගාරය (GEM) නැරඹීමට පැමිණ ඇති මැන්චෙස්ටර් කෞතුකාගාරයේ ඊජිප්තු සහ සුඩාන භාරකරු ආචාර්ය කැම්බල් ප්‍රයිස් පවසයි.
"ප්‍රධාන ගැලරි එක හා සමානව විශ්මයජනකයි, සෑම අයිතමයකට ම හොඳ ඉඩක් ලබා දීලා තියෙනවා. මම අතිශයින් ම තෘප්තිමත් වුණා. ඒක මාව හැඟීම්බර කළා."
ටූටන්කාමන් රජුගේ වස්තුවලට අමතරව, ප්‍රධාන ශාලාවේ අමුත්තන් පිළිගන්නා, වසර 3,200කට වඩා පැරණි මහා රැම්සෙස් රජුගේ සුවිසල් ප්‍රතිමාව ඇතුළු අනෙකුත් කැපී පෙනෙන කොටස් ද පිහිටා ඇත.
ක්‍රි.පූ. 7000 තරම් ඈතට දිවෙන අනෙකුත් බොහෝ පුරා වස්තූන් මෙන්, මෙම ප්‍රතිමාව ද වර්ණවත් ගමනක් ගොස් ඇත.
එය එහි නව නිවසට උත්සවශ්‍රීයෙන් ගෙන යාමට පෙර කයිරෝවේ ප්‍රධාන දුම්රිය ස්ථානය ඉදිරිපිට වසර 51ක් තබා තිබිණි.
ලොව පැරණිතම සහ වඩාත් හොඳින් සංරක්ෂණය කර ඇති නැව් ලෙස ශ්‍රේණිගත කරන ලද වසර 4,600ක් පැරණි අවමංගල්‍ය නෞකාවක් වන කුෆු රජුගේ සූර්ය බෝට්ටුව සඳහා වෙන් වූ විශේෂ කොටසක් ද ඇත.
ඊජිප්තුවේ උරුමය නැවත අත්පත් කර ගැනීම
නමුත් ඊජිප්තුවේ ඉන්ඩියානා ජෝන්ස් ලෙස බොහෝ විට හඳුන්වන විවෘතව අදහස් පළ කරන පුරාවිද්‍යාඥ සාහි හවාස්ට, කෞතුකාගාරය විවෘත කිරීම නිධන් ප්‍රදර්ශනය කිරීමට වඩා වැඩි දෙයකි. එය මෘදු බලය පිළිබඳ ප්‍රකාශයක් වන අතර ඊජිප්තුවේ උරුමය නැවත අත්පත් කර ගැනීමේ උත්සහයකි.
"අපි අපේ ම ස්මාරකවල විද්‍යාඥයන් වීමට කාලයයි," ඔහු පවසයි. "රජවරුන්ගේ නිම්නයේ රාජකීය සොහොන් 64ක් හමු වුණා. එක ඊජිප්තු ජාතිකයෙක්වත් ඒවා කැණීම් කළේ නැහැ."
ටූටන්කාමන්ගේ සොහොන ඇතුළුව ඊජිප්තුවේ ප්‍රධාන සොයාගැනීම් බොහොමයක් විදේශීය පුරාවිද්‍යාඥයින් විසින් ම සිදු කරන ලද බව හවාස් පෙන්වා දෙයි. ඊජිප්තු වැසියන් තම උරුමය අධ්‍යයනය කිරීමට සහ ආරක්ෂා කිරීමට පෙරමුණ ගත යුතු බවටත්, ඔවුන් එසේ කරන බව සහතික කිරීම ඔහුගේ ජීවිතයේ මෙහෙවර බවට පත් කර ගත යුතු බවටත් ඔහු දිගු කලක් තිස්සේ තර්ක කර ඇත.
ලක්සර්හි පුරාවස්තු පිළිබඳ සාමාන්‍යාධිකාරී ආචාර්ය අබ්දෙල්ගෆාර් වජ්ඩි කෞතුකාගාරය එම දිශාවට තැබූ පියවරක් බවට එකඟ වෙයි.
"2002 සිට ඊජිප්තුවේ ඊජිප්තුව පිළිබඳ අධ්‍යයනය නව හා ගතික අවධියකට පිවිස ඇත," ඔහු පවසයි. "හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් වර්ධනය වෙමින් පවතිනවා වගේ ම, ඊජිප්තු විද්වතුන් සහ සංරක්ෂකයින් දැන් බොහෝ ප්‍රධාන කැණීම් සහ උරුම ව්‍යාපෘති සඳහා නායකත්වය දෙනවා."
කෞතුකාගාරය සියලු ම ඊජිප්තුවරුන්ට විවෘත ස්ථානයක් ලෙස නම් කර තිබුණද, ඇතමුන්ට ඊට ඇතුළු වීම මිල අධික වනු ඇත. ඊජිප්තුවරුන් සඳහා වැඩිහිටි ටිකට් පතක් ඊජිප්තු පවුම් 200ක් (ඇ. ඩොලර් 4ක් පමණ) වේ. එය විදේශීය අමුත්තන්ගෙන් අය කරනු ලබන පවුම් 1,200න් (ඇ. ඩොලර් 25) කොටසක් වන නමුත් බොහෝ දේශීය පවුල් සඳහා එය තවමත් මිල අධික ය.
"ඔබට මළවුන් රැකබලා ගැනීම පමණක් කරන්න බැහැ, ඔබ ජීවත්ව සිටින අයව රැකබලා ගත යුතුයි," මහාචාර්ය ඉක්‍රම් පවසයි. "මෙය හැමෝට ම පොදුයි, නමුත් සමහර ඊජිප්තු වැසියන්ට ඇතුළු වීමේ ටිකට් පත ටිකක් ගන්න අමාරුයි."
පුරාවිද්‍යාවේ නව යුගයක්
හවාස්ට, ඊජිප්තු මහා කෞතුකාගාරය විවෘත කිරීම අතීතය ආරක්ෂා කිරීම පමණක් නොව, සොයාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ඊජිප්තුවේ අනාගතය සුරක්ෂිත කිරීමක් ද වේ.
එහි දැවැන්ත ගැලරිවලට අමතරව, මෙම සංකීර්ණයේ කලාපයේ වඩාත් ම දියුණු සංරක්ෂණ සහ පර්යේෂණ රසායනාගාර කිහිපයක් ඇත. එහි සිට ඊජිප්තු සහ ජාත්‍යන්තර කණ්ඩායම් ඉදිරි දශක ගණනාවක් පුරා අධ්‍යයනය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ නව සොයාගැනීම් හෙළි කිරීම දිගට ම කරගෙන යනු ඇත.
"මම දැන් කැණීම් කරන්නේ රජවරුන්ගේ නිම්නයේ ලක්සෝර්වල. මම සකාරාවල කැණීම් කරනවා," හවාස් පවසයි. "අපේ ස්මාරකවලින් අපට හමු වී ඇත්තේ 30%ක් පමණයි - තවමත්, 70%ක් වැලි යට තිබෙනවා."
කෞතුකාගාරය එහි සුවිසල් ශාලා ජනතාවට විවෘත කළ ද, ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨතම වස්තු තවමත් එහි කාන්තාර යට සැඟව පවතී. මේ, එහි පුරාවිද්‍යාවේ නව යුගය ආරම්භය සනිටුහන් කළා පමණි.
අතිරේක වාර්තාකරණය බීබීසී අරාබි