ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Snow Moon: අද රාත්‍රියේ පායන පුර සඳ අපට මෙතරම් වැදගත් වන්නේ ඇයි?
- Author, ජෙරමි හවෙල්
- Role, බීබීසී ලෝක සේවය
බදාදා (පෙබ. 12) පායන පුර සඳ උතුරු අර්ධ ගෝලයට ශීත ඍතුවේ පායන අවසාන පුර සඳ (එය Snow Moon ලෙස හැඳින් වේ) වන අතර සමකයට දකුණු ප්‍රදේශයට ගිම්හාන ඍතුවේ පායන අවසාන පුර සඳ වේ.
වැලන්ටයින් දිනයේදී ද සඳ පූර්ණ වශයෙන් දිස්වනු අතර ඉන් එදින සන්ධ්‍යාවට අමතර රෝමාන්තික බවක් එක් කරනු ඇත.
දළ වශයෙන් සෑම දින 29කට වරක් පූර්ණ සඳක් ඇති වන්නේ, සූර්යයා ඍජුව පෘථිවියේ පිටුපස ස්ථානගත වී ඉන් නිකුත් වන ආලෝක කිරණ සඳ මත වැටී එමගින් සඳේ මුළු මුහුණතම ආලෝකමත් වන විට ය.
ඉකුත් වසරේ අග භාගයේ අප දුටු පූර්ණ චන්ද්‍රයා, සඳ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 14% ගුණයකින් විශාලව සහ 30% ගුණයකින් දීප්තිමත්ව, එනම් "සුපිරි සඳක්" ලෙස දුටු සිව් වන පූර්ණ සඳෙහි අවසන් අවස්ථාව වනු ඇත.
සුපිරි සඳක් ලෙස හැඳින්වෙන මෙම චන්ද්‍රයා දක්නට ලැබෙන්නේ වසරකට තුන් වතාවක් හෝ සිව් වතාවක් පමණක් වන අතර ඒ හැම අවස්ථාවක ම එය අඛණ්ඩව දිස්වීම සිදුවේ.
ලොව පුරා සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් හැඩගැස්වීමේදී පූර්ණ චන්ද්‍රයා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ, අප විසින් ආකාශයේ සිදුවන මෙම සංසිද්ධියට සම්බන්ධ මිථ්‍යාවන්, ක්‍රියාකාරකම් සහ අර්ථයන් කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන විමසා බැලීමකි.
අපේ මුතුන් මිත්තන්ට පුර සඳ වැදගත් වූයේ කෙසේ ද?
චන්ද්‍රයාගේ ගමන එනම්, එහි පුරපක්ෂය සහ අවපක්ෂය, කාලය නිර්ණය කිරීම සඳහා ප්‍රාථමික යුගයේ සිට භාවිත කර ඇත.
නූතන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් 1957දී සොයාගත් ඉෂාංගෝ අස්ථිය උදාහරණයක් ලෙස ගෙන බලමු.
බොහෝ විට බැබූන් සත්වයෙකුගේ පාදයෙන් ලබා ගත් බවට විශ්වාස කෙරෙන මෙම අස්ථිය වසර 20,000කට වඩා පැරණි යැයි ගණන් බලා ඇති තිබේ. එය දින දර්ශනයේ මුල් ආකාරයක් බවට විශ්වාස කෙරේ.
බෙල්ජියම් භූ විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලද මෙම අස්ථිය එකිනෙකට වෙනස් කැටයම්වලින් යුක්ත වේ. ඉන් ඇතැම් ඒවා නොගැඹුරු කව ලෙස කැටයම් කර ඇති අතර, අනෙක් ඒවා ගැඹුරු හෝ තරමක් ගැඹුරු කව ලෙස කැටයම් කර ඇත. හාවඩ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් මාෂැක්, මේවායින් චන්ද්‍රයාගේ විවිධ අවධි නියෝජනය වන්නට ඇති බවට ත්, අස්ථිය මාස හයක චන්ද්‍ර දින දර්ශනයක් ලෙස භාවිත කරන්නට ඇති බවට ත් අනුමාන කළේ ය.
'ද හාවස්ට් මූන් - The Harvest Moon' යනු, සරත් ඍතු විෂුවයට ආසන්නව (සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල) ඇති වන පූර්ණ චන්ද්‍රයාට දෙන නමයි.
අවුරුද්දේ මෙම කාලයේදී ඉර බැස ගිය විගස ම සඳ පායන අතර ඒත් සමග ඒ වන විට කඩිනමින් තම අස්වැන්න නෙළීමට අපේක්ෂා කරන ගොවීන්ට රාත්‍රිය වන තුරු ම සඳ එළිය යටතේ තම කාර්යය සිදු කිරීමට හැකි වේ. වර්තමානයේ, සත්‍ය වශයෙන් ම, ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කෙරෙන්නේ විදුලි ලාම්පු ය.
පුර සඳට සමගාමීව පවත්වනු ලබන උත්සව මොනවා ද?
චීනයේ, සරත් සෘතුවේ මැද කාලයේ පැවැත්වෙන 'ජොන්චෝ ජියෑ - Zhongqui Jie' උත්සවය (Moon Festival ලෙස ද හැඳින් වේ) 'හාවස්ට් මූන්' දා පැවැත්වෙන අතර එදින රජයේ නිවාඩු දිනයකි. මෙම උත්සවය වසර 3,000කට පෙර සිට පැවත එන අතර සම්ප්‍රදායිකව සාරවත් අස්වැන්නක් අපේක්ෂාවෙන් පවත්වනු ලැබිණි.
ඒ හා සමානව, කොරියාවේ, චූසොක් උත්සවය යනු 'හාවස්ට් මූන්' දිස්වීමට සමගාමීව පවත්වනු ලබන දින තුනක උත්සවයකි. අස්වනු ලැබීම සැමරීමට සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට පුද සැලකිලි පැවැත්වීමට එහිදී ජනයා රැස්වෙති.
හින්දු සංස්කෘතිය තුළ, චන්ද්‍රයා පූර්ණ වශයෙන් දිස්වන දියනයන් 'පූර්ණිමා' ලෙස හඳුන්වන එවැනි දිනවල ඔවුහු උපවාස කරමින් ආගමික වතාවත්වල නිරත වෙති. 'කාර්තික් පූර්ණිමා' දිනය නොවැම්බර් මාසයේ යෙදී ඇති බැවින් එම මාසය හින්දු දින දර්ශනයේ වඩාත් ම ශුද්ධ වූ මාසය ලෙස සැලකෙයි. ත්‍රිපුරාසුර යක්ෂයා පරදා ශිව දෙවියන් ලද ජයග්‍රහණයත් විෂ්ණු දෙවියන්ගේ පළමු අවතාරය වන මත්ස්‍යයෙකු බවට පත් වූ අවස්ථාවත් එදින සනිටුහන් කරයි. චාරිත්‍ර වාරිත්‍රවලට ගංගාවල නෑම, මැටි පහන් එක පෙළට දැල්වීම ඇතුළත් වේ.
බුදුන් වහන්සේ උපත ලැබුවේ මීට වසර 2500කට පෙර පුර චන්ද්‍රයා පූර්ණව දිස්වුණු දිනයක බවට බෞද්ධයෝ විශ්වාස කරති. උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ පිරිණිවන් පෑම සිදුවූයේ ද එවැනි ම දිනකදී බවට ඔවුහු විශ්වාස කරති. සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසවල චන්ද්‍රයා පූර්ණ ලෙස පෑයූ දිනක එය සැමරෙන අතර එම දිනය 'බුද්ධ පූර්ණිමා' ලෙස හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ සෑම මසක ම චන්ද්‍රයා පූර්ණ ලෙස දිස්වන දිනයක් ම 'පෝය' ලෙස හැඳින්වෙන අතර එදින රජයේ නිවාඩු දිනයක් ද වේ. එදින මත්පැන් සහ මස් විකිණීම තහනම් වේ.
බාලිහි චන්ද්‍රයා පූර්ණ ලෙස වන දිනය 'පූර්ණමා' ලෙස හැඳින්වෙන අතර එදිනට දෙවිවරුන් සහ දේවතාවියන් පෘථිවියට පැමිණ ඔවුන්ගේ ආශිර්වාදය ලබා දෙන බවට විශ්වාස කෙරේ. එය වන්දනා කිරීමත්, දෙවියන්ට පූජා තැබීමත් සහ ගෙවතුවල පළතුරු ගස් සිටුවීමත් සිදුවන දිනයකි.
චන්ද්‍රයා පූර්ණ ලෙස පායන දිනට ආසන්න දින තුනකදී මුස්ලිම් වැසියෝ උපවාස කිරීමට කටයුතු කරති. මේවා 'වයිට් ඩේස් - White Days' හෝ 'අල්-අයියාම් අල්-බීද් - Al-Ayyam al-Bid' ලෙස හැඳින්වේ. අඳුරු රාත්‍රීන් ආලෝකමත් කිරීම ගැන අල්ලා දෙවියන්ට ස්තූති කිරීමට මෙම දිනවලදී මුහම්මද් නබිතුමා උපවාස කළ බව පැවසේ.
ක්‍රිස්තියානි ධර්මය අනුව, පාස්කු උත්සවය සමරනු ලබන්නේ වසන්ත ඍතු විෂුවයෙන් පසු චන්ද්‍රයා පළමු වරට පූර්ණ වශයෙන් දිස්වීමෙන් අනතුරුව උදාවන පළමු ඉරිදා ය.
මෙක්සිකෝවේ සහ තවත් සමහර ලතින් ඇමෙරිකානු රටවල, "මූන් ඩාන්ස් - moon dance" ලෙස හැඳින්වෙන ස්වදේශික ඇමෙරිකානු උත්සවයකට යළි කරළියට පැමිණ තිබේ. එහිදී චන්ද්‍රයා පූර්ණ ලෙස දිස්වන දිනවලදී කාන්තාවෝ එකට එක්ව දින තුනක් පුරා නර්තනයේ යෙදෙමින් වැඳුම් පිදුම් කරති.
පුර සඳ වටා ඇති මිථ්‍යාවන් සහ ජනප්‍රවාද මොනවා ද?
යුරෝපයේ, පුරාණ කාලයේ සිට ම, චන්ද්‍රයා පූර්ණ ලෙස පෑයූ විට ඇතැම් මිනිසුන් තුළ වියරුවක් ඇති කළ බවට විශ්වාස කෙරිණි. "ලුනසි - lunacy" යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ චන්ද්‍රයා සඳහා ලතින් භාෂාවේ එන 'ලූනා - luna' යන වචනයෙනි.
චන්ද්‍රයා පූර්ණ ලෙස පෑයූ විට පාලනය කළ නොහැකි හැසිරීමක් ඇති කරයි, යන මතය 'වෙයාවුල්ෆ්' මිථ්‍යාවට හේතු විය. වෙයාවුල්ෆ් යනු, පුර සඳක් පෑයූ විට වෘකකයෙකු බවට පත්වන මිනිසෙකු. ඔවුහු එම දිනවලදී තමන් වෙසෙන ප්‍රදේශයේ සැරිසරමින් එහි වැසියන් භීතියට පත් කරති.
ක්‍රි.පූ. 4 වන සියවසේදී, ග්‍රීක ඉතිහාසඥ හිරෝඩොටස්, ස්කිතියා (දැන් රුසියාවේ) සිටි නියුරි නම් ගෝත්‍රයක් ගැන ලිවීය. එහි සඳහන් වූයේ, ඔවුන් සෑම වසරක ම දින කිහිපයක් වෘකයන් බවට පරිවර්තනය වූ බව ය.
යුරෝපයේ, 15 වන සහ 17 වන ශතවර්ෂවලදී, මිනිසුන් ගණනාවකට වෘකයන් ලෙස හැසිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනිණි.
ඒ අතරින් වඩාත් කුප්‍රකට වූයේ 1589දී ජර්මනියේ පීටර් ස්ටබ් (හෝ ස්ටම්ප්) නම් ඉඩම් හිමියෙකු සම්බන්ධයෙන් සිදු වූ නඩු විභාගයකි. ප්‍රදේශයේ දඩයම්කරුවන් කියා සිටියේ, ඔහු වෘකයෙකුගේ සිට මිනිසෙකු බවට පරිවර්තනය වන ආකාරය ඔවුන් දුටු බව ය. වධ හිංසාවට ලක් වූ පසු, වෘකයෙකු බවට පරිවර්තනය වීමට භාවිත කළ මැජික් පටියක් තමන් සතු බවටට ඒ හරහා තමාට මිනිසුන් දඩයම් කර ආහාරය ගැනීමට අවස්ථාව ලැබුණු බවටත් පීටර් පාපොච්චාරණය කළේ ය.
පුර සඳ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේ ද?
පුර සඳ නින්දට බාධාවක් ලෙස ඇතමෙක් විශ්වාස කරති.
පූර්ණ චන්ද්‍රයෙකු පායා ඇති විට මිනිසුන්ට නින්දට වැටීමට වැඩි කලක් ගත බව, ගැඹුරු නින්දේ අඩු කාලයක් ගත කරන බව, අඩු කාලයක් නිදා ගන්නා බව සහ නින්දට උපකාර වන මෙලටොනින් හෝමෝනය ඔවුන්ගේ පද්ධතිවල අඩු මට්ටමක පවතින බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.
සඳ එළිය නින්දන බාධාවක් නොවන, හොඳින් වැසුණු කාමරවල නින්දට ගිය විට පවා ලැබුණු නින්ද පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අධ්‍යයනයට සහභාගී වූ පිරිස් පවසති.
බොහෝ ගෙවතු හිමියන් චන්ද්‍රයා පූර්ණ ලෙස පෑයූ විට බීජ සහ අතු කැබලි පැළ කරන්නේ (පූර්ණමා දිනයේදී බාලි වැසියන් සිදු කරන පරිදි) සඳ කිරණ වැටී පසේ ගුණාත්මක බව ඉහළ යනු ඇතැයි යන විශ්වාසයෙනි.
චන්ද්‍රයා පූර්ණ ලෙස පෑයූ විට චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ එක් පැත්තක් ඇදගන්නා අතර සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය එහි අනෙක් පැත්ත ඇද ගනී. එය මුහුදේ රළු ස්වභාවය ඉහළ දමන අතර ම එය පෘථිවි පෘෂ්ඨයට වැඩි තෙතමනයක් ගෙන දෙන බවට සැලකේ.
2000දී එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆෝර්ඩ්හි සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙනී ගියේ, චන්ද්‍රයා පූර්ණ ලෙස දිස්වන කාලයේදී සතුන්ගේ සපා කෑමට ලක්වීමේ වැඩි ඉඩක් ඇති බව ය.
1997 සිට 1999 දක්වා කාලය තුළ සත්ව සපාකෑම්වලින් තුවාල ලබා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව පුර සඳ ආසන්න දිනවලදී සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව එම අධ්‍යයනයෙන් හෙළි විය.
කනගාටුවට කරුණ නම්, 'වෙයාවුල්ෆ්' සපාකෑම් වාර්තා නොවීම ය.