මහ මැතිවරණය 2024: ඔබේ ඡන්දය නිවැරදිව ප්‍රකාශ කරන්නේ කොහොම ද? ඡන්ද පොළට යන්න කලින් දැනුවත් වෙමු

වසර පහකට පසුව ඔබේ මහජන මනාපයෙන්, ඔබ වෙනුවෙන් තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වෙන මහ මැතිවරණයට නිවැරදි ආකාරයෙන් ඔබේ ඡන්දය ප්‍රකාශය කිරීම වැදගත්.

2022 වසරේ පැවති ආණ්ඩු විරෝධී මහජන විරෝධතාවලින් (ගාලුමුවදොර අරගලය) පසුව පළමුවරට පැවැත්වෙන මහ මැතිවරණය මෙයයි.

ඔබ ඒ ආකාරයෙන් තෝරා ගන්නා නියෝජිතයන් විසින් පාර්ලිමේන්තුව තුළ දී, ඔබගේ එදිනෙදා ජීවීතයට බලපාන තීන්දු තීරණ රැසක් ගනු ලබනවා.

ඒ සම්බන්ධ සියලු බලය ඔවුන්ට පැවරී ඇති නිසා නිවැරදි ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කර ඔබට අවශ්‍ය නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවිය යුතුයි.

නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී හරියට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය මෙතැන් සිට කියවන්න.

ඡන්දය ප්‍රකාශ කරන්න යන විට මේ දේවල් අරගෙන යන්න

ඡන්දය ප්‍රකාශ කරන්න යනවිට ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය යි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන පහත දැක්වෙන ඕනෑ ම වලංගු හැඳුනුම්පතක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්.

  • වලංගු ජාතික හැඳුනුම්පත
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු රියදුරු බලපත්‍රය
  • වැඩිහිටි හැඳුනුම්පත
  • විශ්‍රාමික හැඳුනුම්පත
  • පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත
  • මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

හැබැයි මේ එක හැඳුනුම්පතක් හරි අනිවාර්යයෙන් ම අරගෙන යන්න.

තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයට අරගෙන යන එක ඔයාට වගේම නිලධාරීන්ටත් පහසුවක්. ඒ නිසා නොවැළැක්විය හැකි තත්වයක දී හැර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න අමතක කරන්න එපා.

ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොම ද?

මේ මැතිවරණයේදී ඔබ අනිවාර්යයෙන් ම ඔබ ඡන්දය ප්‍රකාශ කරන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලාංඡනය ඉදිරියෙන් ඇති කොටුවේ කතිර සලකුණක් යෙදිය යුතුයි.

ඉන්පසුව එම පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ඔබ කැමති අපේක්ෂකයන්ගේ අංක තිබෙන කොටුවලට කතිර සලකුණක් යෙදීමෙන් එම අපේක්ෂකයන්ට ඔබගේ මනාපය ලබා දිය හැකියි.

ඔබට අවශ්‍ය නම් මනාප සලකුණු නොකර පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට පමණක් ඡන්ද ප්‍රකාශ කිරීමත් සිදු කළ හැකියි.

මනාප සලකුණු කරනවා නම් ඔබට සලකුණු කළ හැකි උපරිම මනාප සංඛ්‍යාව තුනක් පමණයි.

පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ බව සලකුණු කරන්න ඔබේ වම් අතේ සුළැඟිල්ල පාට කළ නිසා මෙවර මහමැතිවරණයේ දී ඔබ ඡන්දය භාවිත කළ බව සලකුණු කරන්නේ ඔබේ වම් අතේ දබරැගිල්ල පාට කිරීමෙන්.

ඡන්දය අවලංගු වෙන්න පුළුවන් ක්‍රම මොනවා ද?

ඔබ ප්‍රකාශ කරන ඡන්දය අවලංගු විය හැකි අවස්ථා කිහිපයක් තියෙනවා.

  • නිල ඡන්ද පත්‍රිකාවේ කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය ප්‍රකාශ කර නොතිබීම
  • එක් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වඩා ඡන්දය ප්‍රකාශ කර තිබීම
  • ඡන්දය ප්‍රකාශ නොකර මනාප පමණක් සලකුණු කිරීම
  • ඡන්ද පත්‍රිකාවේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම
  • මනාප තුනකට වඩා සලකුණු කර තිබීම

මේ වැරදි මග හැරලා ඔබේ වටිනා ඡන්දය මෙවර භාවිත කරන්න.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැරදීමක් වුණොත් ඔබට තව ඡන්ද පත්‍රිකාවක් ඉල්ලීමේ හැකියාව තිබෙනවා.

ඡන්ද පත්‍රිකා වැඩියෙන් දෙන්න වෙනවා කියන්නේ මැතිවරණයේ පිරිවැය වැඩිවෙනවා වගේ ම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා.

ඒ නිසා සෑම විට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන අවබෝධයෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්දය නිවැරදි ව භාවිත කරන එක පුරවැසියෙක් විදිහට ඔබේ වගකීමක්.

දෘෂ්‍යාබාධිත හෝ ශාරීරික ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් කොහොම ද?

ඔබේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් දෘෂ්‍යාබාධිත නම්, ඒ වගේ කෙනෙකුට ඡන්දය භාවිත කරන්න සහයෙකු සමඟ යන්න පුළුවන්.

ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අවසර ලබා ගැනීමේ ලියවිලි සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක්, සහායකයාගේ වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න අවශ්‍යයි.

සහායකයෙකු නොමැති වුවත් තවත් නිලධාරියෙකු ඉදිරියේ, ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලවා ඡන්දය සලකුණු කිරීමටත් පුළුවන්.

ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ආබාධිත තත්වයක් ඔබේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට හෝ ඔබ දන්න ඕනෑම කෙනෙකුට තියෙනවා නම්, මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අයදුම් කරන්න හැකියාව තියෙනවා.

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගන්න පුළුවන් ද?

ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකතනය රැගෙන යාම සහ ඡායාරූප ගැනීම මැතිවරණ නීතිවලට අනුව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධීයි.

ඒ වගේ ම ඡන්ද මධ්‍යස්ථානය තුළ නිකරුණේ ගැවසීමත් තහනම්.

ඔබ ඡන්දය ප්‍රකාශ කර අවසන් වූ වහා ම ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටව යන්න.

සංකල්පය සහ රචනය: බීබීසී සිංහල

දෘෂ්‍ය නිෂ්පාදනය: බීබීසී දෘෂ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම, දිල්ලි