ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ Reform UK පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී 'කැළඹීමක් ඇති කළ' ලාංකික සම්භවයක් ඇති කෝටිපති ව්‍යාපාරිකයා
- Author, ක්‍රිස් මේසන්
- Role, දේශපාලනික පුවත් සංස්කාරක
මහ මැතිවරණයෙන් පසු බ්‍රිතාන්‍ය දේශපාලනයේ කැපී පෙනෙන ප්‍රවණතාවක් වී ඇති නයිජල් ෆරාජ්ගේ පක්ෂයේ නැගීමට බලපෑ කේන්ද්‍රීය චරිතයක් වූ බැවින්, Reform UK පක්ෂයේ සභාපති ධූරයෙන් සියා යූසුෆ්ගේ (Zia Yusuf) ඉල්ලා අස්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබේ.
මාස 11ක් එම තනතුරේ රැඳී සිටීමෙන් පසු, පක්ෂය තවදුරටත් පුළුල් නොකර එය දිනවීම සඳහා වැඩ කිරීම තවදුරටත් "මගේ කාලය හොඳින් භාවිත කිරීමක් නොවන" බව යූසුෆ් බ්‍රහස්පතින්දා පැවසීය.
පසුගිය මාසයේ පැවති මැතිවරණවලදී Reform UK පක්ෂයේ සාර්ථකත්වයට යූසුෆ් විශාල සාධකයක් වූ බව පක්ෂයේ නිර්මාතෘ නයිජල් ෆරාජ් විස්තර කළ නමුත්, යූසුෆ්ට දේශපාලනය "ඇති වී ඇතැයි" තමා විශ්වාස කරන බව පැවසීය.
මුස්ලිම් කාන්තාවන් මුහුණ සහ ශරීරය ආවරණය වන පරිදි පළඳින බුර්කාව තහනම් කරන ලෙස Reform UK පක්ෂයේ නවතම මන්ත්‍රීවරයා ඉල්ලා සිටීම "මෝඩ ක්‍රියාවක්" බව යූසුෆ් පැවසීමෙන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදුවිය.
ශ්‍රී ලාංකික සංක්‍රමණික යුවළකට දාව උපත ලැබූ මේ 30 හැවිරිදි මුස්ලිම් ජාතිකයා, හිටපු කොන්සර්වේටිව් පාක්ෂිකයෙකි. මා හට ඔහු මුලින් ම මුණගැසුණේ වසරකට පමණ පෙර, පක්ෂයට පවුම් 200,000ක් පරිත්‍යාග කළ අවස්ථාවේ ය.
සුඛෝපභෝගී සත්කාරක සේවාවක් වන Velocity Black ආරම්භ කර එය විකිණීමෙන් පසු යූසුෆ් තනිව ගොඩනැගුණු කෝටිපතියෙකු බවට පත්විය.
ප්‍රතිසංස්කරණ සඳහා ඔහු කළ පරිත්‍යාගයෙන් වැඩි කල් නොගොස්, ඔහුට පක්ෂ සභාපති ධූරය පිරිනමන ලද අතර ඔහු එය පිළිගත්තේ ය. ඔහු තිරය පිටුපස සිටි කෙනෙකු පමණක් නොව, ප්‍රසිද්ධ චරිතයක් බවට ද පත්විය..
එසේ නම්, මේ මොහොත කෙතරම් වැදගත් ද යන්න මැන ගත හැක්කේ කෙසේ ද?
Reform UK සඳහා සියා යූසුෆ්ගේ දායකත්වය තක්සේරු කිරීමේදී පරීක්ෂා කිරීමට වටින කරුණු තුනක් ඇතැයි මම සිතමි.
පළමු කරුණ මුදල් ය. යූසුෆ් ධනවතෙකු වන අතර, පවුම් 200,000ක් පරිත්‍යාග කිරීම ඕනෑ ම කෙනෙකුට අනුව ත්‍යාගශීලියෙකි. එහෙත්, Reform UK පසුගිය වසරේ පරිත්‍යාග වශයෙන් පවුම් මිලියන 2.8ක් ලැබුණු හෙයින්, පක්ෂය ඔහුගේ මුදල් මත රඳා නොපවතිනු ඇත.
දෙවන කරුණ යූසුෆ්ගේ උරුමය සහ වාර්ගිකත්වය ය. මහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීම පසෙක තබා, ජනප්‍රියත්වය පුළුල් කර ගැනීමට නම්, Reform UK පක්ෂය එහි ආකර්ෂණය පුළුල් කර ගත යුතු ය. සුළුතර ජන වර්ගයකට අයත් මිනිසෙකු එහි ප්‍රධානියා ලෙස සිටීම, Reform UK පක්ෂය හෝ අවම වශයෙන් එහි සාමාජිකයින් හෝ ආධාරකරුවන් කිහිප දෙනෙකු ජාතිවාදී බවට ප්‍රතිවාදී පක්ෂවලින් එල්ල වූ විවේචන සමනය කිරීමට උපකාරී විය.
තුන් වන කරුණ නම් ඔහුගේ සංවිධානාත්මක හැකියාවන් ය. Reform UK පක්ෂය අධිවේගයෙන් ඒකරාශී කිරීම සඳහා සහය වන යටිතල පහසුකම් බොහොමයක් ගොඩනැගීමේ ගෞරවය යූසුෆ්ට හිමි වන අතර, ඔවුහු කැරැල්ලකින් වසර කිහිපයක් ඇතුළත මහ මැතිවරණ ජයග්‍රාහකයින් බවට පත් කිරීමට උත්සහ කරති. දැන් ඔහු ඉවත් වී ඇත. ඔහු සභාපති ධූරය දැරූ කාලය තුළ පක්ෂය වර්ධනය වී ඇතත්, දැන් හිටපු සභාපතිවරයා Reform UK පක්ෂය තුළ එකඟත්වයක් ඇති නොවන බොහෝ දේ කළ බව ද සත්‍යයකි.
"ඔහුගේ අන්තර් පුද්ගල කුසලතා ඔහුගේ විශේෂතා ලැයිස්තුවේ ඉහළින් ම තිබුණා ද? නැහැ," ෆරාජ් GB News වෙත පැවසීය.
දොර අසල සිටින කාර්ය මණ්ඩලය ඔහු "Goldman sacked" (ගෝල්ඩ්මන් අස් කළා) බව කියමින් සරදම් කතා කියනු ඇත. එය සියා යූසුෆ්ගේ හිටපු සේවායෝජකයා වන 'Goldman Sachs' ආයෝජන බැංකුවේ නම ද යොදාගෙන කරන සරදමකි.
පක්ෂය පවත්වාගෙන යාම සඳහා ඔහුගේ ප්‍රවේශය පිළිබඳ මැසිවිලි නැඟීම්, ඕනෑම සේවා ස්ථානයක ප්‍රධානීන් පිළිබඳව එල්ල වන විවේචනවලට වඩා බොහෝ සෙයින් ඔබ්බට ගිය බව බොහෝ දෙනෙක් මට පැවසූහ.
ෆරාජ් සහ ඔහු නායකත්වය දුන් එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය, බ්‍රෙක්සිට් පක්ෂය සහ Reform UK යන පක්ෂවලට, කඩාවැටීම්, නෙරපා හැරීම් සහ ඉල්ලා අස්වීම් පිළිබඳ වාර්තාවක් රැසක් තිබේ.
ඩග්ලස් කාර්ස්වෙල්, ඩියෑන් ජේම්ස්, පැට්‍රික් ඕ'ෆ්ලින්, ගොඩ්ෆ්‍රි බ්ලූම්, සුසෑන් එවන්ස්, බෙන් හබීබ්, රූපට් ලෝව් වශයෙන් අඛණ්ඩ ලැයිස්තුවක් පවතී. දැන් ඊට එක්ව සිටින්නේ, සියා යූසුෆ් ය.
ඔහුගේ ඉවත්වීම සැබවින් ම වැදගත් වීමට ප්‍රධාන හේතුව නම්, Reform UK පක්ෂයේ වේගවත් පරිමාණයේ කේන්ද්‍රීය අංගයක් වන්නේ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ විභවයක් ඇති යන්ත්‍රයක් බවට පත් කිරීමට උපකාරී වන තරම් කාලයක් රැඳී සිටින කාර්ය මණ්ඩලය බඳවා ගැනීම බව එය පැහැදිලිව මතක් කර දීම ය.
පක්ෂය සම්පූර්ණයෙන් ම පෙර නොවූ විරූ දෙයකට උත්සහ කරමින් සිටින අතර, ෆරාජ්ගේ පෞරුෂයේ බලය ඔවුන් බොහෝදුරක් ගෙන යනු ඇත.
ෆරාජ්ට එය කිසිදා කළමනාකරණය කරගෙන නැත.
දැන්, ඔහුට ම අලුත් සභාපතිවරයෙකු සොයා ගැනීමට සිදුව තිබේ.
සියා යූසුෆ්ගේ ශ්‍රී ලාංකික සම්බන්ධය කුමක් ද?
මොහොමඩ් සියාවුඩීන් යූසුෆ් 1986 වසරේදී ස්කොට්ලන්තයේ, බෙල්ෂිලහිදී උපත ලැබුවේ, ශ්‍රී ලාංකික යුවළකට දාව ය.
ඔවුන් දෙදෙනා 1980 ගණන්වලදී ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී තිබිණි.
වෛද්‍යවරයෙකු වූ ඔහුගේ පියා සහ හෙදියක වූ මව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව වෙනුවෙන් උපරිම දායකත්වයක් දැක්වූවන් බව වාර්තාවල දැක්වේ.