ලතා වල්පොල: අවුරුදු 78ක් සිංහල ගීතය පෝෂණය කළ 'අග්‍රගණ්‍ය කලාකාරිය' ගැන ඔබ දැනගත යුතු කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Amith Walpola
- Author, බීබීසී සිංහල
වසර 78කට අධික කාලයක් සිංහල සංගීත ක්ෂේත්‍රයේ අඛණ්ඩ ජනප්‍රියත්වයක් ආරක්ෂා කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
එතරම් කාලයක් රසික ආකර්ෂණය දිනා ගැනීමට වාසනා ගුණය පමණක් සෑහෙන්නේ නැත. මධුර ගීතමය හඬ පෞරුෂය සහ ප්‍රතිභා පූර්ණ ගායන හැකියාව ආදී කරුණු රැසක් ඊට බලපායි.
එවැනි සාර්ථකත්වයක් අත්කර ගත් සිංහල ගීතයේ කෝකිලාවිය 2025 දෙසැම්බර් 27 වන දා දැයට සමුදුන්නේ ය.
මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු විය.
මේ, හෙළ ගී රැජිණ ලතා වල්පොල පිළිබඳව බීබීසී සිංහල තබන සටහනකි.
රීටා ප්‍රනාන්දු සහ මුල් විය
1933 නොවැම්බර් 11 වන දින බම්බලපිටියේ ජෝසෆ් ලින්ස් ප්‍රනාන්දු හා මාතර එලිසබෙත් මියුරියෙල්ට දාව ඔවුන්ගේ තෙවන දරුවා ලෙස උපන් බිළිඳියට නම් තැබුවේ, රීටා ජෙනවිට් ප්‍රනාන්දු යනුවෙනි.
ඇගේ මව විවාහයට පෙර කන්‍යරාමයක ගුරුවරියක ලෙස හා එහි ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අයෙකි.
ඔවුන් ගල්කිස්ස පීරිස් මාවතේ පදිංචියට ආ ගමන ඇගේ පසුකාලීන කලා ජීවිතයට මහත් පිටුවහලක් වූයේ, වින්සන්ද අල්විස්, සුසිල් ප්‍රේමරත්න, සී.ටී. ප්‍රනාන්දු, ඩී. ජී. වික්‍රමසිංහ වැනි ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ආශ්‍රයට යොමුවීම නිසා ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රීටා ප්‍රනාන්දු, ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන සමයේ පටන් ම ගායනයට, නර්තනයට මෙන් ම රංගනයට ද දැඩි කැමැත්තක් දැක්වූවා ය.
ඇයගේ පියා, පියානෝ එකෝඩියන් සහ වයලීන් වාදකයෙකු වූ අතර, ඇයගේ ගමන්මගට එම පසුබිම ද ඍජුව බලපෑවේ ය.
වයස දහයේදී පමණ රීටා පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරා ගැනිණි.
ඩබ්.ඩී. අමරදේව (ඇල්බට් පෙරේරා) සංගීතවත් කළ නිර්මාණයකට ඇය ඉදිරිපත් කළ හංස නැටුම ඇය ලද විශේෂ භාග්‍යයක් සේ ඇය සලකයි.
සී.එල්. ෆොන්සේකාගේ ගුවන් විදුලි ගීත නාට්‍යයක සමූහ ගායනයක් ඉදිරිපත් කිරීමට ද ඇයට අවස්ථාව ලැබිණි. එයට පියාගේ සහ පාසලේ ප්‍රධාන කන්‍යාතුමියගේ දැඩි විරෝධතා එල්ල විය. එවිට මර්සලීන් ජයකොඩි පියතුමා සහ පී. එල්.ඒ. සෝමපාල සමග රදගුරුවරයා වෙත ගිය මව සහ රීටා ඒ සඳහා අවසරය ලබාගෙන තිබිණි.
වින්සන් ද අල්විස්ගේ සරල ගී වැඩසටහනක ඔහුත් සමග "කඳුළු දෙනෙතින් වෑහෙන" ගීතය ගැයූ ලතාට පසුව අර්වින් ෆොන්සේකාගේ සරල ගී වැඩසටහන්වලට දායක වීමට අවස්ථාව ලැබිණ.
එහිදී ගැයූ "නමෝ මරියනී" ගීතය පසුව කොලොම්බියා තැටියකට නැගිණ.
ඇයගේ පළමු ගීත තැටිය 1947 වසරේදී නිෂ්පාදනය කරන ලද්දේ, ඇය වයස අවුරුදු 13 පසුවෙද්දී ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gangani Walpola
ලතා වල්පොල වූ හැටි
එකල රීටා ප්‍රනාන්දු වූ ඇයට ලතා ලෙස නම් තැබුණු ආකාරය ද සිත්ගන්නාසුලු ය.
සුසිල් ප්‍රේමරත්න හඳුනාගත් පසු, භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ "චෝඩගයි" නම් හින්දි ගීතය ඇයට පුහුණු කරවූ අතර, එහිදී භාරතයේ විශිෂ්ට ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර්ගේ ළගන්නා ගායන ස්වරය ඇයගෙන් ඇසූ සුසිල් ප්‍රේමරත්න, ඇයට ලතා යන නම සුදුසු බව යෝජනා කර තිබිණි.
පවුලේ අවසරය ද ඇතිව ඉන්පසු "රීටා", "ලතා" බවට පත් විය. ඇය පී.එල්.ඒ. සෝමපාලගේ සරල ගී වැඩසටහන්වලට ද සම්බන්ධ වූවා ය.
"ප්‍රේම තරගය" චිත්‍රපටයේ ගී ගැයීමත් සමග ලතා - ධර්මදාස පෙම් පුවත ඇරඹුණු අතර, 1957 දී විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසුව ඇය ලතා වල්පොල නම් විය.
ඔවුන් දෙපළට සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද යනුවෙන් දරුවන් සිව් දෙනෙක් වූහ.
සම්මාන
ගීත දහස් ගණනක් ගයා ඇති බව පැවසෙන ලතා වල්පොල මුල් යුගයේදී හින්දි තනුවලට අනුව ගීත ගායනා කළා ය.
ඇය 1955 වසරේදී 'මාතලන්' චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීත ඉන්දියාවේදී පටිගත කෙරිණි.
ඇයගේ ගැටවරයෝ චිත්‍රපටයේ 'හීන හතක් මැද' ගීතය මුලින් ම සම්මානයට පාත්‍ර වූ අතර, සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක් ඇතුළුව දීපශිඛා සම්මානය, රණතිසර සම්මානය, කලාශූරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවා ය.
'සිංහල ගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ කලාකාරියක්' - ගායන ශිල්පී අමරසිරි පීරිස්
ලතා වල්පොල යනු සිංහල ගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ අග්‍රගණ්‍ය කලාකාරියක් බව ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් පවසයි.
බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කළේ, තමන් කුඩා අවධියේ ඇයගේ මුල් කාලීන ගීත රස විඳි අතර, පසුකාලීනව තමන්ට වයලීන වාදකයෙකු ලෙස ඇයගේ ගීතවලට දායක වීමට අවස්ථාව හිමි වූ බව ය.
"මට මතකයි මම කුඩා කාලයේ ඇයගේ ගීත ඉතාමත් ආසාවෙන් රස වින්දා. ඇය සිංහල සිනමාවට සහ සිංහල සරල ගීතයට දැක්වූ දායකත්වය අතිවිශිෂ්ට යි. අවසන් කාලය වනතෙක් ම ඇයට මධුර කටහඬින් ගීත ගායනා කරන්නත් හැකියාව තිබුණා. ඇයගේ කටහඬ ශ්‍රී ලාංකික ඌරුවක් සහිත විශිෂ්ට කටහඬක්. ඇය සිංහල සංගීතයට අහිමි වීම පියවාගත නොහැකි අඩුවක් විදිහට මම දකිනවා," ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් පැවසීය.
'ඇගේ ගීත ආරක්ෂා කර ගත යුතු යි' - ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ
සිංහල සංගීත ක්ෂේත්‍රයට උරුම වූ අතිවිශිෂ්ට ගායන ශිල්පිනියක වන ලතා වල්පොලගේ ගීත නිර්මාණ ආරක්ෂා කර ගැනීම ඇයට කරන හොඳ ම ගෞරව දැක්වීම බව ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ පවසයි.
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඇය සිංහල සංගීතය වෙනුවෙන් කළ මෙහෙය අතිවිශාල බව ය.
"පසුගිය දශක කිහිපයක් පුරා ලතා වල්පොල සිංහල ගීතයට කළ සේවාව වෙනත් කිසිදු ගායකයෙකුට හෝ ගායිකාවකට අත්පත් කර ගන්න බැරි දෙයක් කියන එකයි මගේ හැඟීම. මේ වෙලාවෙ අපට කරන්න පුළුවන් ලොකු ම ගෞරවය තමයි, එතුමියගේ ගීත නිර්මාණවල අයිතිය ආරක්ෂා කරල ඒ ගීත ටික ආරක්ෂා කරල දෙන එක. ඒ වෙනුවෙන් යමක් කළ යුතු යි."














