ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනපති අනුරගේ චීන සංචාරය:අත්සන් තැබූ ගිවිසුම් මොනවා ද?
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට එළඹ තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව, තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර ඊයේ (ජනවාරි 15) වැනිදා ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ජනමාධ්‍ය අංශවලට අදාළව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.
අත්සන් කළ අවබෝධතා ගිවිසුම් මොනවාද ?
චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුම් පිළිබඳව ජනවාරි මස 06 වැනිදා නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් පිළිබඳව කරුණු දක්වා තිබිණි. එහිදී
- චීන මාධ්‍ය සමූහයේ නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් අතර ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව සඳහන්ව තිබිණි.
- මේ අතර චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියට අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරික්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීම.
- මීට අමතරව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනි පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම.
- සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක්
- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චීනයේ ෂින්හුවා පුවත්පත් ආයතනය සමග සහයෝගීතා ගිවිසුමක්.
- ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.
මේ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් මොනවාද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර පැවසුවේ විදේශ අමාත්‍ය විජිත හේරත් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ජාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවයි.
ජනපති චීන ආයෝජකයන් හමුවෙයි
ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (ජනවාරි 16) සංවිධානය කර තිබූ "ආයෝජන සැසියේ" ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කොට තිබුණි.
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ එම සංචාරයේ තෙවන දිනයට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සීමාසහිත සමාගම ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සීමාසහිත සමාගම (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සීමාසහිත සමාගම (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සීමාසහිත සමාගම (China Energy International Group Company Ltd), ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය (The Guangzhou Public Transport Group), හුවාවි (Huawei), බී.වයි. ඩී (BYD Auto) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.