'මෙරටින් වාර්ෂිකව වාර්තා වන පුද්ගල මරණ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුව හෘදයාබාධයි'

දෛනිකව මෙරට සිදුවන හදිසි මරණ අතර හෘදයාබාධ හේතුවෙන් සිදුවන මරණ කැපී පෙනෙන ලෙස ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඉකුත් 2019 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ දත්ත වාර්තාවලට අනුව රජයේ රෝහල්වලින් වාර්තා වන පුද්ගල මරණ අතරින් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 50.7කි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දී සමරකෝන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ වාර්ෂිකව මෙරට තුළ වාර්තාවන වැඩිම මරණ අනුපාතයට හේතු වන රෝග 10 අතරින් හෘදයාබාධ පළමු ස්ථානයේ පවතින බවයි.

බෝ නොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරනවා ද?

"බෝ නොවන රෝග වලට ගොදුරු වීමෙන් වාර්ෂිකව මෙරට තුළ සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරනවා" යනුවෙන් විශේෂඥ වෛද්‍ය සමිද්දී සමරකෝන් පවසයි.

2017 වසර තුලදී බෝ නොවන රෝග හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 40ක අගයක් පෙන්නුම් කරන බව ද රෝහල් වාර්තා අනාවරණ කර තිබේ.

කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් 2020 වසරේ සිට ගත වූ වසර දෙකක කාලය තුලදී සෞඛ්‍ය දත්ත වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"අද වන විට ශ්‍රී ලංකාව පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීම අසීරු වී තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ දී මෙය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා." විශේෂඥ වෛද්‍ය සමිද්දී සමරකෝන් පැවසුවාය.

බෝ නොවන රෝග යනු මොනවාද?

මිනිසාගෙන් වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය නොවන රෝග බෝ නොවන රෝග ලෙස හඳුන්වනු ලබයි.

එලෙස බෝ නොවන රෝග ලෙස හඳුන්වනු ලබන රෝග අතරට හෘදයාබාධ, දියවැඩියාව, පිළිකාව, තැලිසීමියාව, ඇස් නොපෙනීම, ශ්‍රවණාබාධ සහ හදිසි අනතුරු ආදිය අයත් වෙයි.

පුද්ගලයින් බෝ නොවන රෝග සදහා ගොදුරුවීමට ප්‍රධාන හේතු මොනවාද?

පුද්ගලයින් බෝ නොවන රෝග සදහා ගොදුරුවීමට ප්‍රධාන හේතු ලෙස බලපාන්නේ ඔවුන්ගේ ජීවන රටාව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි.

"විශේෂයෙන් නාගරීකරණය, මානසික ආතතිය, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවෙන් බැහැර වීම, ව්‍යායාම් සඳහා යොමු නොවීම, අධික ලෙස මත්පැන් පානය සහ දුම්පානයට යොමුවීම වැනි පුද්ගලයින්ගේ අයහපත් පුරුදු හා ජීවන රටා ආදිය එවැනි රෝග ඇතිවීම සදහා බලපාන ප්‍රධාන හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්."

"එමෙන්ම ඇතැම් පුද්ගලයින් ජානමය හේතු නිසාවෙන් ද දියවැඩියා රෝගයට ගොදුරු වෙනවා" ඇය සදහන් කළාය.

හෘදයාබාධ වලින් ආරක්ෂා විය හැකි ක්‍රම මොනවාද?

"සෑම පුද්ගලයෙකුටම බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.ඒ අතරින් හෘදයාබාධ ඇති වීමට ප්‍රධාන සාධකයක් ලෙස හැඳින්වෙන දියවැඩියාව රෝගය පාලනය කර ගැනීම ඉතා වැදගත්."

"විශේෂයෙන් යහපත් ආහාර රටාවකට හුරුවීම එහිදී අතිශය වැදගත් වන අතර, කෙටි අහාර වර්ග සහ අධික පිෂ්ඨය සහ තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකීමට සියලුදෙනා වගබලා ගත යුතුයි."

"ඒ වාගේම වැඩිහිටි පුද්ගලයෙකු නම් සතියකට මිනිත්තු 150ක කාලයක් අනිවාර්යෙන් ව්‍යායාම් වල යෙදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා අනිවාර්යයි.මානසික ආතතිය පාලනය කර ගැනීම ද අතිශය වැදගත්" විශේෂඥ වෛද්‍ය සමිද්දී සමරකෝන් පෙන්වා දෙයි.

"දුම්වැටි සහ මත්පැන් පානයෙන් තොරවීම ද සෞඛ්‍ය සම්පන්න දිවිපැවැත්මක් වෙනුවෙන් අතිශය වැදගත්" බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

හෘදයාබාධ සම්බන්ධයෙන් පවතින මිත්‍යා රෝග විනිශ්චයන මොනවාද?

ඇතැම් පුද්ගලයින් තමන්ට පපුවේ ඇතිවන වේදනාවන් ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ලෙස සලකා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් මරණයට ලක්වූ අවස්ථාවන් රැසක් වාර්තා වී ඇති බව ද ඇය සඳහන් කරයි.

යම් පුද්ගලයෙකුට පපුවේ රිදීමක් ඇතිවුවහොත් 1990 හදිසි ගිලන්රථ සේවය මගින් හෝ වෙනත් ආකාරයකින් ළඟම පිහිටි රජයේ රෝහලක් වෙත පැමිණිමට කටයුතු කළ යුතු බව ද සියලුම රජයේ රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශවල හෘදයාබාධ රෝගීන්ට ප්‍රතිකාර සිදුකළ හැකි පරිදි පහසුකම් පවතින බවද වැඩිදුරටත් වෛද්‍යවරිය සදහන් කළාය.

හෘදයාබාධ ඇතුලු බෝ නොවන රෝග කල් තියා හඳුනා ගැනීමට ඇති ක්‍රම මොනවාද ?

"සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් සහ ග්‍රාමීය රෝහල් ආශ්‍රිතව " සුවදිවී මධ්‍යස්ථාන" නමින් විශේෂ රෝග විනිශ්චය කිරීමේ සායනයක් පවත්වාගෙන යනු ලබනවා.එම සායන සදහා සහභාගී වීම හරහා අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයින්ට දියවැඩියාව, හෘදරෝග සහ පිළිකා රෝග සම්බන්ධයෙන් නොමිලේ පරික්ෂාවන් සිදුකර ගන්න පුළුවන්."

"එහිදී යම් පුද්ගලයෙකුගේ රෝග විනිශ්චයට අනුව හෘදයාබාධ තත්ත්වයකට ගොදුරු වීමේ අවධානම සීයයට 20කට ඉහළ ප්‍රතිශතයක් ඇත්නම්, අදාළ පුද්ගලයා වැඩිදුර වෛද්‍ය උපදෙස් සඳහා විශේෂ වෛද්‍ය සායනයන් වෙත යොමු කිරීම වෛද්‍යවරුන් විසින්ම සිදු කරනවා." ඇය පවසයි.

එලෙස වැඩිදුර වෛද්‍ය සායනයන්ට යොමු කරනු ලබන පුද්ගලයින්ව සෑම වසරකට වරක් "සුව දිවි මධ්‍යස්ථාන" සෞඛ්‍ය සායනය විසින් පසුවිපරම් පරික්ෂාවකට ලක් කරනු ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දී සමරකෝන් පැවසුවාය.