ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Fox Hill අනතුර: සාමාන්‍ය මාර්ග නීති මෝටර් රථ ධාවන තරගයකටත් අදාළ කර ගත හැකි ද?
දියතලාව 'Fox Hill Supercross 2024' මෝටර් ධාවන තරගය අතුරතුර පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ධාවන තරගකරුවන් දෙදෙනා බදාදා (අප්‍රේල් 24) ඇප මත මුදාහැරිණි.
ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
එම මෝටර් රථ ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
එලෙස අත්අඩංගුවට ගැනුණේ, මාතර පදිංචි 36 හැවිරිදි මෝටර් රථ ධාවන තරගකරුවෙකු සහ 47 හැවිරිදි පේරාදේණියේ පදිංචි තරගකරුවෙකි.
තරගකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කරන්නේ, මෝටර් රථ ධාවන තරගයක් අතරතුරදී සාමාන්‍ය මාර්ග නීති පද්ධතිය අනුව කටයුතු කළ නොහැකි බවට ය.
'පොලිසිය විහිළුවක් වෙලා'
මෝටර් රථ ධාවන තරගයක් අතරතුර අනාරක්ෂිතව රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට උත්සහ නොකිරීම යන චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම බීබීසී සිංහල සේවයට පැවසීය.
"සාමාන්‍ය මාර්ග නීති මේ තරගවලදී බලපැවැත්වෙන්නෙ නෑ. ධාවන තරගයකදී බලපාන නීති කිහිපයක් තියෙනවා. එකක් තමයි, ධාවන පථය අවහිර නොකිරීම. දෙක පසුපසින් ගොස් හිතාමතා අනතුරක් කිරීම. තුන වමෙන් ඉස්සර කිරීම. ඒ වගේ නීති කිහිපයක් තමයි බලපාන්නේ, ධාවන තරගයකදී," නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය.
"අනතුරක් වළක්වා ගැනීමට උත්සහ නොකිරීම හෝ අනාරක්ෂිතව රිය පැදවීම යටතේ නඩු පවරනවා නම් පොලිසිය විහිළුවක් වෙනවා. මොක ද, ධාවන තරගයක් කියන්නේ තරගයක්. එතනදී සාමාන්‍ය මාර්ග නීති අදාළ වෙන්නෙ නෑ. මේ ප්‍රශ්නයේදී පොලිසිය විහිළුවක් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මීට අවුරුදු කීපයකට කලින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මැරුණා බෝලයක් හිසේ වැදිලා. ඒ අනතුර සම්බන්ධයෙන් පන්දු යවපු ෂෝන් ඇබට්ව අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කළේ නැහැ. මොක ද ඔහු හිතාමතා ෆිල් හියුස්ව මරන්න උත්සහ නොකළ නිසා."
ධාවකයින් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසියේ පැහැදිලි කිරීම
කෙසේ වෙතත්, අනතුරට ලක්වූ මෝටර් රථ දෙකෙහි ධාවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැහැදිලි කළේ මෙලෙසිනි.
"තරගාවලියක් වුණත් අපට පරීක්ෂා කරන්න වෙනවා, මොක ද, මෙවැනි අනතුරකදී මේක සාමාන්‍ය රථවාහන අනතුරක්. එහිදී මෝටර් රථවාහන පනත යටතේ මෙවැනි තරගාවලියක් සංවිධානය කරනකොට පනතේ තියෙනවා, ප්‍රතිපාදන නියම කරලා. ඒ අනුව තමයි කටයුතු කළ යුත්තේ. ඊළගට අපි දන්නෙ නෑ තරගකරුවන් මොන තත්ත්වයෙන් ඒකට සහභාගි වුණා ද කියලා. අපි අධිකරණයේ අවශ්‍යතාව සදහා සහ අනාගතයේදී යම්කිසි පාර්ශවයකින් එල්ල විය හැකි චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි වශයෙන් අපට අවශ්‍යයි රියැදුරන් විදිහට ඔවුන් මත්ද්‍රව්‍ය පානය කරල තිබුණ ද?, මත් පැන් පාවිච්චි කරල තිබුණ ද?, ඔවුන් ඒවා පානය කරල තිබුණා කියලා හිතන්නෙ නෑ. ඒත් අපි අනාගතයේදී යම්කිසි පාර්ශවයකින් චෝදනාවක් ආවොත් ඒවාට පිළිතුරු දෙන්න නම් සියලු ආකාරයේ පරීක්ෂා කිරීම් කරන්න වෙනවා," යනුවෙන් අදාළ රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හේතු වූ කරුණු පිළිබදව එදින පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැහැදිලි කිරීමක් කළේ ය.
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ අදහස
මේ අතර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බීබීසී සිංහල සේවයට පැවසුවේ, ධාවන පථයක පවත්වන මෝටර් රථ ධාවන තරගයක් සම්බන්ධයෙන් පොලිසියට ක්‍රියාත්මක විය නොහැකි බව ය.
කෙසේ වෙතත්, ධාවන තරගයක් අතරතුර මාරාන්තික අනතුරක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බව ය.
මේ අතර, සිය අත්දැකීම් අනුව, අදාළ අනතුර සම්බන්ධයෙන් සංවිධායකයින් නිසි විමර්ශනයක් නොකරන බව හෝ ඔවුන්ගේ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව හෝ හැඟී ගියහොත් අදාළ විමර්ශන කටයුතුවලට මැදිහත් වීමට ද පොලිසියට හැකි බව ඩිලන්ත මාලගමුව පැවසීය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගවලදී අනුගමනය කරන ක්‍රමවේදය පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, තරගයට පෙර ධාවකයින්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව ය.
එම ප්‍රකාශයේ පහත කරුණු සම්බන්ධයෙන් ධාවකයා සහතික විය යුතු ය.
1. ධාවකයා සතුව පිළිගත් රියැදුරු බලපත්‍රයක් තිබීම.
2. රක්ෂණාවරණයක් තිබීම.
3. බාල වයස්කාරයෙකු නම් දෙමාපිය අවසරය.
4. තරගකරු ධාවන තරගය අතරතුරදී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව.
5. ධාවන පථය සහ සහය සේවාවල තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බව තරගකරු තේරුම්ගත යුතුය.
මේ දිනවල ස්පාඤ්ඤයේ ධාවන තරගයකට සූදානම් වන ඩිලන්ත මාලගමුව පැවසුවේ, එම තරගය සම්බන්ධයෙන් ඉහත කී කොන්දේසි අදාළ වන බව ය.
ඕනෑ ම රටක ධාවන තරග පැවැත්වීමේදී මෙවැනි කොන්දේසි ඇතුළත් ප්‍රකාශයකට අත්සන් තැබිය යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, යම් හෙයකින් ධාවන පථයේ අඩුපාඩුවක් හෝ අනාරක්ෂිතභාවයක් තිබේ ද යන්න පිළිබදව තරගයට පෙර ධාවකයින් තහවුරු කර ගත යුතු බව ය.