ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බීබීසී නිවේදක හිවු එඩ්වර්ඩ්ස් යනු කවුරුන්ද?
මහත් ආන්දෝලනයට තුඩුදුන් අසභ්‍ය ඡායාරූප සිදුවීමට මැදි වූ නිවේදකයා ලෙස මේ වන විට නම්කර ඇති බීබීසී ප්‍රවෘත්ති නිවේදක හිවු එඩ්වර්ඩ්ස් යනු, මහා බ්‍රිතාන්‍යයේ ඉහළ ම පෙළේ නිවේදකයින්ගෙන් අයෙකි.
ඔහු, ජාතික වැදගත්කමකින් යුතු උත්සව අවස්ථා ආවරණය කිරීමේ දී ඉදිරිපස මුහුණ ලෙස බීබීසීය විසින් තෝරාගෙන ඇති අතර, එය ඔහු පිළිබඳ සංස්ථාව කෙතරම් හොඳ ආකල්පයකින් සිටියා ද යන්න පිළිබිඹු කරයි.
නරඹන්නන්ගේ විශ්වාසය දිනාගෙන තිබූ ඔහු දශක ගණනාවක් පුරා රූපවාහිනී තිරය තුළ විශ්වාසවන්ත සහ ප්‍රසන්න ස්වභාවයක් ඇති නිවේදකයෙකු ලෙස කීර්තියක් ගොඩනගා ගෙන තිබුණි.
පසුගිය බදාදා (ජූලි 5), මෙම අපකීර්තිමත් සිදුවීම පිළිබඳව හෙළිදරව්වීමට පෙර ඔහු අවසන් වරට නිවේදන කටයුතු සිදු කළ දිනයේ දී, එඩ්වර්ඩ්ස් සිටියේ ස්කොට්ලන්තය චාල්ස් රජු පිළිගැනීමට සූදානම් වෙමින් සිටි අවස්ථාව එඩින්බරෝ සිට ආවරණය කරමිනි.
ඉන් සතියකටත් අඩු කාලයක දී 61-හැවිරිදි ඔහුගේ මාධ්‍ය ජීවිතය දරුණු පීඩනයකට නතු වී ඇත්තේ, මේ දිනවල බරපතල චෝදනා මාලාවකට මුහුණදෙන බීබීසී නිවේදකයා ඔහු බවට නම් කරමින් ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීම ත් සමග ය.
1984 වසරේ දී බීබීසී පුවත් සේවයට සම්බන්ධ වූ ඔහු, කෙමෙන් බීබීසී වේල්ස් සේවයේ දේශපාලන වාර්තාකරුවෙකු ලෙස රැකියාවට බැඳුණි. දෙවසරක් ගත වෙද්දී, ඔහු බීබීසී වේල්ස්හි පාර්ලිමේන්තු වාර්තාකරු බවට පත් විය.
1990 දශකයේ මුල් භාගය වන විට වෙස්ට්මින්ස්ටර්හි බීබීසීයේ ප්‍රධාන දේශපාලන වාර්තාකරු ලෙස කටයුතු කළේ ඔහු ය.
1997 වසරේ BBC News නාලිකාව දියත් කිරීමෙන් පසු (එවකට එය BBC News 24 ලෙස හැඳින්විණි) එහි හුරුපුරුදු මුහුණක් බවට පත්වීමට ඔහු සමත් විය.
එහි මුල් දිනවල දී නාලිකාව තාක්ෂණික දුෂ්කරතාවලින් පීඩා විඳි නමුත්, අභියෝගාත්මක අවස්ථාවන්හිදී එඩ්වර්ඩ්ස්ගේ විශ්වාසනීය හා සන්සුන් ලෙස පුවත් ඉදිරිපත් කිරීමේ හැකියාව බීබීසී ප්‍රධානීන්ගේ සිත්ගත් බව කියනු ලැබේ.
ඒ අතර ම, එඩ්වර්ඩ්ස් එක්සත් රාජධානියේ වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක් වූ බීබීසී වන්හි සවස හයේ පුවත් විකාශය සඳහා ඉඳහිට සම්බන්ධ වූ ආදේශක නිවේදකයෙකු ලෙස කටයුතු කළේ, 1999 වසරේදී එහි ප්‍රධාන පුවත් නිවේදකයා බවට පත් වෙමිනි.
වසර හතරකට පසු ඔහු බීබීසීයේ ප්‍රධානතම ප්‍රවෘත්ති ප්‍රකාශය ලෙස පුළුල් ලෙස සැලකෙන Ten O'Clock Newsහි පුවත් ඉදිරිපත් කිරීම දක්වා උසස් කරන ලද අතර, බීබීසීය වෙනුවෙන් ජාතික මට්ටමේ ප්‍රධාන උත්සවවල නිවේදකයා ලෙස මෙන් ම විස්තර විචාරකයා ලෙස කටයුතු කිරීමට නිරන්තරයෙන් ආරාධනා ලැබිණි.
එම උත්සව අතරට 2011 වසරේ දී පැවති කේම්බ්‍රිජ් ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ විවාහ මංගල්‍යය (එකල ඔවුන් හැඳින්වූ පරිදි,) එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල්‍යය (2021), රැජිණගේ දියමන්ති හා ප්ලැටිනම් ජුබිලිය (2012 සහ 2022) සහ චාල්ස් රජුගේ රාජාභිෂේකය ඇතුළත් විය (2023).
2013 වසරේ දී නෙල්සන් මැන්ඩෙලා මියයන අවස්ථාවේ ද පුවත් ඉදිරිපත් කරමින් සිටියේ ඔහු වන අතර, 2016 වසරේදී බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ප්‍රතිඵල ඉදිරිපත් කළ නිවේදකයින් දෙදෙනාගෙන් අයෙකු ද විය.
නමුත් ඇතැම් විට එඩ්වර්ඩ්ස්ගේ දිගු නිවේදක ජීවිතයේ විශාලතම වැදගත් අවස්ථාව පැමිණියේ, පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය නිවේදනය කිරීමත් සමග විය හැකි ය.
රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට වූ කටකතා පැතිරී යාමත් සමග ඔහු එදින වේලාසනින් තම වැඩ මුරය ආරම්භ කර ඇති අතර, එදින කළු පැහැති ටයි පටියක් පැළඳ පස්වරු 2:00 සිට පුවත් ඉදිරිපත් කරමින් සිටියේ, රැජිණ අහාවාප්‍රප්ත වූ බව රටට ප්‍රකාශයට පත් කිරීමට පෙර ය.
රැජිණගේ අවමංගල්‍යය ආවරණය කිරීමේ පෙරමුණ ගත්තේ ඔහු ය. ඔහු නරඹන්නන්ගේ පුළුල් ප්‍රශංසාවට ලක් වූ අතර, එම ආවරණ කටයුතු වෙනුවෙන් එඩ්වර්ඩ්ස් සහ ඔහුගේ සගයෝ පසුගිය මාසයේ ප්‍රදානය කරන ලද TRIC සම්මානයෙන් ද පිදුම් ලැබූහ.
ප්‍රධාන රාජකීය උත්සව අවස්ථාවල දී මෙන් ම, මෑතක දී බීබීසීහි මහ මැතිවරණ ආවරණයේ ද ප්‍රධාන නිවේදකයා බවට එඩ්වර්ඩ්ස් පත් විය.
මෙම වෙල්ෂ් ජාතික නිවේදකයා බීබීසීයේ ඉහළම වැටුප් ලබන්නන්ගෙන් කෙනෙකි. 2017 වසරේ දී - බීබීසීය එහි ප්‍රධාන නිවේදකයින්ගේ වැටුප් ප්‍රකාශයට පත්කළ යුතුයැ යි පාර්ලිමේන්තුව නියම කළ පළමු වසරේ දී - එඩ්වර්ඩ්ස්ගේ වැටුප වර්ෂයකට පවුම් 550,000ක් බව අනාවරණය විය.
බීබීසීය ඉහළ දක්ෂතා ඇති සේවකයින් සඳහා වැය කළ මුදල් ප්‍රමාණය සහ එහි ඇතැම් පිරිමි සහ කාන්තා නිවේදකයින් අතර විෂමතාව පිළිබඳ ඍණාත්මක පුවත් රැසක් පළවීමෙන් පසු එඩ්වර්ඩ්ස් වැටුප් කප්පාදුවකට ලක් වූ අතර, වසර හයකට පසු ඔහුගේ වැටුප පවුම් 435,000ක් දක්වා පහළ වැටිණි.
එඩ්වර්ඩ්ස් 2012 වසරේ දී ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන ස්කයිෆෝල්හි කෙටි චරිතයක් ඉදිරිපත් කරමින්, බ්‍රිතාන්‍ය ඔත්තු සේවය වන MI6 වෙත එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ බීබීසී ප්‍රවෘත්ති වාර්තාවක් ඉදිරිපත් කළේ ය.
2021 වසරේ දී බීබීසී රේඩියෝ කම්රි සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී එඩ්වර්ඩ්ස් පෙන්වා දුන්නේ, සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයා ලෙස ඉටු කිරීමට ඇති වගකීම් නිසාවෙන් ඔහුට තව වැඩි කලක් එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ය.
"හැම රෑක ම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන එක, අවුරුදු 20කට පස්සේ, හරිම අමාරු වැඩක්, ඒක මම ආසාවෙන් කරන දෙයක් වුණ ත්," ඔහු පැවසීය. "ඒත් මම හිතන්නේ නෑ මම තවත් ගොඩක් කල් ඒක කරාවි කියලා. මම හිතන්නේ, ප්‍රේක්ෂකයන්ට වෙනසක් ලැබෙන එක සාධාරණයි."
එම වසරේ ම, එඩ්වර්ඩ්ස් ඔහුගේ වෘත්තීය ජීවිතය පිළිබඳව වෙල්ෂ් බසින් වාර්තා චිත්‍රපට වැඩසටහනක් නිෂ්පාදනය කළ අතර, ඔහු වසර 20ක් පුරා විෂාදයෙන් පෙළුණු අවස්ථා තිබූ බව ත්, මානසික සෞඛ්‍යය සමග අරගල කරමින් ඔහුට "ඇඳක් මත" කාලය ගත කිරීමට සිදු වූ බව ත් ඒ හරහා හෙළි කළේ ය.
නමුත් බීබීසීයේ ගතකළ කීර්තිමත් වෘත්තීය ජීවිතයෙන් පසු එඩ්වර්ඩ්ස්ගේ වෘත්තීය ජීවිතය ගැන දැන් බරපතළ ප්‍රශ්නයක් මතු වී තිබේ.
නිර්නාමික බීබීසී නිවේදකයෙකු එක්තරා පුද්ගලයෙකුගෙන් අසභ්‍ය ඡායාරූප ලබා ගැනීම සඳහා විශාල මුදලක් ගෙවා ඇති බවට 'ද සන්' පුවත්පත පසුගිය සිකුරාදා වාර්තා කිරීමෙන් පසු, එම නිවේදකයා කවුරුන් ද යන්න පිළිබඳව දින කිහිපයක් පුරා විවිධ මත පළ විය.
පසුගිය දින කිහිපය පුරා ද සන් පුවත්පත සහ පසුව බීබීසී පුවත් සේවය මෙම ප්‍රවෘත්තියට පුළුල් ආවරණයක් ලබා දෙමින්, අදාළ නිවේදකයාට එරෙහි තව ත් චෝදනා ප්‍රකාශයට පත් කළේ ය.
අවසානයේ, බදාදා (ජූලි 12) ඔහුගේ බිරිඳ විකී ෆ්ලින්ඩ් ඔහු වෙනුවෙන් එඩ්වර්ඩ්ස්ගේ අනන්‍යතාව තහවුරු කළේ, ඇය එසේ කරන්නේ, "මූලික වශයෙන් ඔහුගේ මානසික යහපැවැත්ම ගැන සලකා" සහ ඔවුන්ගේ දරුවන් පස් දෙනාගේ ආරක්ෂාව සලකා බලමින් බව පවසමිනි.
"හිවු බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙනවා," ඇය පැවසුවා ය. "පසුගිය දින කිහිපයේ වෙච්ච දේවල් එක්ක එයාගේ තත්ත්වය තවත් නරක අතට හැරිලා තියෙන්නේ. එයා තව ත් බරපතල තත්ත්වයකින් පීඩා විඳලා දැන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. තවත් කාලයක් එයා රෝහල්ගතව ඉඳීවි."
"සනීප වුණාට පස්සේ, එයා බලාපොරොත්තු වෙනවා මේ කතාවලට ප්‍රතිචාර දක්වන්න."