අන්තර්ජාල මෙවලම් හෝ පරිගණක ක්‍රීඩා වෙත ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගන්නේ කෙසේ ද?

අන්තර්ජාල මෙවලම් හෝ පරිගණක ක්‍රීඩා වෙත ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔබේ දරුවාට කුඩා කාලයේ ආහාර දීමට හෝ නිහඬ කරවා ගැනීමට දරුවා අතට දෙන ජංගම දුරකතනය නිසා දරුවාගේ ජීවිතය පවා අහිමි විය හැකි අවදානමක් ඇති බව ඔබ දන්නවා ද?

එය වටහා ගැනීම සඳහා පහතින් පැහැදිලි කරන සත්‍ය සිදුවීම දෙස බලමු.

පානදුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පිරිමි දරුවෙකුගේ දෙමාපියෝ ඛේදනීය අත්දැකීමකට මුහුණ දෙමින් සිටිති.

එම දරුවාගේ පියා සමාගමක නීතිඥවරයෙකු වන අතර මව ද නීතිඥවරියකි.

සිය පුත්‍රයා ගෙවන ජීවිතය පිළිබඳව ඔහුගේ මව මෙලෙස පැහැදිලි කළා ය.

"පුතා පාන්දර වෙනකම් ගේම්ස් ගහනවා. උදේට නැගිටින්නෙ නෑ. කෑම කන්නෙ නෑ. උදේ නැගිටින්නෙ නැති නිසා කිසි ම දෙයක් කරන්න බැහැ. එයාව කම්පියුටර් කෝස් එකකට දැම්මා. ඒකට යන්නත් බෑ. එයාට රස්සාවකට යන්න විදිහකුත් නෑ. මොනව කරන්න ද කියලා හිතාගන්න බැරුව අපි ඉන්නේ."

අදාළ දරුවාගේ මව පවසා ඇති සියලු ලක්ෂණවලින්, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූවන් ගෙවන දෛනික ජීවිතය කියා පායි.

එවන් දරුවන් සමග ගනුදෙනු කිරීම දෙමාපියන්ට පහසු කටයුත්තක් නොවේ.

ඒ, පරිගණකය හෝ ජංගම දුරකතනය ඔහුගෙන් ඉවත් කිරීමට තැත් කිරීම සිය දිවි හානි කර ගැනීමක් දක්වා දුරදිග යාමට ඉඩ ඇති බැවිනි.

මාතර - රොටුඹ ඛේදවාචකය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජංගම දුරකතනයෙන් ඉන්ටර්නෙට් ඔස්සේ පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටි සිසුවෙකු ඉන් මුදවා ගැනීම සඳහා එම ජංගම දුරකතනය මවගේ භාරයට පත් කර ගැනීම සම්බන්ධයෙන් උරණ වූ 15 හැවිරිදි සිසුවෙකු නිවසේ බාල්කයක එල්ලී ගෙළ වැලලාගෙන මිය ගිය පුවතක් 2021 වසරේ අගෝස්තු මාසයේදී මාතර, රොටුඹ පොලිස් වසමෙන් වාර්තා විය.

රොටුඹ, පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වසරේ ඉගනුම ලැබූ ශිෂ්‍යයෙකු එම ඛේදවාචකයට මුහුණ පෑවේ ය.

එම සිසුවා පාසලේ අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවන බවට පාසලේ ගුරුවරුන් දෙමාපියන්ට දැනුම් දී තිබූ අතර, ඒ අනුව දෙමව්පියන් කළ සොයා බැලීමකදී පෙනී ගොස් තිබුණේ, පාසලේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක ලා ඔහු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටි බව ය.

පසුව දරුවාගේ මව ජංගම දුරකතනය සිය භාරයට ගෙන ඇති අතර ඊට උරණ වූ දරුවා දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවක මුළුතැන්ගෙයි බාල්කයක පොරවනයක් ආධාරයෙන් එල්ලී ගෙළ වැලලාගෙන තිබුණු බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම සිද්ධිය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී අතිශයින් ප්‍රවේශම්සහගත විය යුතු බව ය.

ඇබ්බැහි වීම යනු කුමක් ද? එය හඳුනාගන්නේ කෙසේ ද?

දරුවෙකු පරිගණකයට, ජංගම දුරකතනයට ‌හෝ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන් නිවැරදිව වටහා ගත යුතු වේ.

ඇබ්බැහි වීම යනු "සාමාන්‍ය දෛනික කටයුතු පසෙක ලා පරිගණක ක්‍රීඩා කිරීම වෙනුවෙන් කාලය ගත කිරීම," බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති.

යම් දරුවෙකු පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දැන ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පෙන්වා දෙයි.

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවෝ ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් නොමැති විට පහත ලක්ෂණ පෙන්නුම් කරති.

  • ආවේගශීලීත්වය.
  • නොසන්සුන්තාව.
  • නොරිස්සුම් ස්වභාවය.
  • අවධානය අඩුවීම.
  • මතක ශක්තිය අඩුවීම.
යම් දරුවෙකු පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දැන ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යම් දරුවෙකු පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දැන ගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පෙන්වා දෙයි.

"මේ වගේ තත්ත්වයක් ඇති වුණා ම ඒ දරුවන් සාංකාවට පත් වෙනවා. මේවා අඩු කර ගන්න නැවත ඒගොල්ලො ඒකට ම යනවා. ඒ නිසා ඒගොල්ලන්ට අනිත් දේවල් කරන්න තියෙන කාලය නැති වෙලා යනවා. යහළුවොත් එක්ක ගැවසෙන්න, ක්‍රීඩා කරන්න, පාඩම් කරන්න, වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න ඒ අයට වෙලාවක් නැති වෙනවා. අන්න ඒ ලක්ෂණ තියෙනවා නම් ඇබ්බැහි වීමක් කියලා හඳුනාගන්න පුළුවන්," මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය.

ඇබ්බැහි වූවන් පැය දෙකක සිට පැය 24ක කාලයක් දක්වා දෛනිකව දුරකතනය සමග ගත කරන බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය.

ඇබ්බැහි වූ දරුවෙකු සමග ගනුදෙනු කළ යුත්තේ කෙසේ ද?

ඇබ්බැහි වූ දරුවෙකු සමග ගනුදෙනු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් බවත්, දෙමාපියන් ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවත් මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසයි.

“මුලින් ම දරුවා පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා ද කියලා දැන ගත යුතු යි. ඊට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා.”

මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසන පරිදි, ඇබ්බැහි වී සිටින දරුවෙකු ඉන් මුදා ගැනීම සඳහා දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ය.

එවන් දරුවන්ගෙන් පරිගණකය හෝ ජංගම දුරකතනය ඈත් කළ යුත්තේ, ක්‍රම ක්‍රමයෙන් බව ද ඔහු අවධාරණය කළේ ය.

“එවැනි දරුවන්ට ගොඩක් තරහ යනවා. දුකට පත් වෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් තමයි, පරිගණක සහ ජංගම දුරකතන ඈත් කළ යුත්තේ. එහෙම නැති වුණොත් ඔවුන් වැරදි තීරණ අරගෙන ක්ෂණික තීරණ ගන්න ඉඩ තියෙනවා. වයස අවුරුදු 5ට අඩු කිසි ම දරුවෙකුට පරිගණක හෝ ජංගම දුරකතන භාවිතය කිසිසේත් ම සුදුසු නැහැ. අවුරුදු 5ට වඩා වැඩි දරුවන්ටත් දිනකට උපරිම පැය දෙකක් තමයි නිර්දේශ කරන්නේ.”

ඇතැම් අවස්ථාවල දරුවන් සම්පූර්ණයෙන් ම ඉන්ටර්නෙට් භාවිතයෙන් මුදා ගැනීමට නම් දෙමාපියන් ද යම් කැපකිරීම් කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

“ඒ වගේ අවස්ථාවක දෙමාපියන් පවා ඉන්ටර්නෙට් පාවිච්චිය නතර කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගුරුවරුන්ටත් ඒ ගැන දැනුම් දීලා ජංගම දුරකතනවලට පාසල් වැඩ එවීම නතර කරන්න වෙනවා. ගුරුවරුන් ස්මාර්ට් දුරකතනවල‌ට පාසල් වැඩ එවීම වර්තමානයේ ලොකු ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගන්න ලොකු ගැටලුවක් වෙලා තියෙනවා, මේ ආකාරයට දුරකතනවලට වැඩ එවීම නිසා. ගුරුවරුන් මේකට විකල්ප ක්‍රම හොයා ගත යුතු යි. මුද්‍රිත පිටපත් ලබා දීම ඒකට හොඳ විසඳුමක්.”

ශාරීරික ක්‍රියාකාරකම්

ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමේදී ඔවුන් ශාරීරික ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේ ය.

ඒ සඳහා,

  • විනෝද චාරිකාවල නිරත වීම.
  • එළිමහන් ක්‍රීඩාවල නිරත වීම.
  • සුරතල් සතුන් සමග විනෝද වීමට ඉඩ සැලසීම.
  • යහපත් මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට අවස්ථාව සැලසීම.
  • පොතපත කියවීමට යොමු කරවීම වැනි දරුවන් ප්‍රියකරන කාර්යයක හෝ කාර්යයන් කිහිපයක නිරත වීමට ඉඩ සැලසිය යුතු ය.

කෙසේ වෙතත්, මේ සියල්ලට පෙර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසත් මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමේදී ඔවුන් ශාරීරික ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමේදී ඔවුන් ශාරීරික ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේ ය.

සංඛ්‍යා දත්ත

ලෝක ජනගහනයෙන් 6.09%ක් ඉන්ටර්නෙට් ඇබ්බැහිවීම්වලින් පෙළෙන බව සංඛ්‍යා දත්තවලින් අනාවරණය වී තිබේ.

අමෙරිකාව ආශ්‍රිතව මෑතකදී කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, එරට ජනතාව අතරින් 46%කට ඉන්ටර්නෙට් භාවිතයෙන් තොරව ජීවිතය ගත කළ නොහැකි බව ය.

එරට වැඩිහිටියන්ගෙන් 98%ක් ඉන්ටර්නෙට් භාවිත කරන බව ද හෙළි වී තිබේ.

ලෝකයේ වැඩි ම ජනගහනයක් ඉන්ටර්නෙට්වලට ඇබ්බැහි වී සිටින රට වන්නේ, චීනය යි. එම සංඛ්‍යාව මිලියන 746කි.

මේ අතර, ‘ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර අර්බුදකාරී ඉන්ටර්නෙට් භාවිතය’ සම්බන්ධයෙන් අමෙරිකාවේ ජාතික වෛද්‍ය පුස්තකාල වෙබ් අඩවියේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් 27.6%ක් ඉන්ටර්නෙට් භාවිතය සම්බන්ධ සංකූලතාවලට මුහුණ පා සිටින බව ය.