ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්තර්ජාලයේ ළමා ලිංගික විඩියෝ ඉහළ යෑම හා ලොක්ඩවුන් අතර සම්බන්ධයක්
වසංගත සමයේ ලොක්ඩවුන් පැනවීමෙන් පසු, කුඩා දරුවන් කැමරා ඉදිරිපිට ලිංගික ක්‍රියාවන්හි යෙදෙන ඡායාරූප හා විඩියෝ දසගුණයකට වඩා වැඩිවී ඇතිබව නව දත්තවලින් පෙන්නුම් කරයි.
ඉන්ටර්නෙට් වොච් පදනම (IWF) පවසන්නේ, කුඩා දරුවන් ගොදුරුකර ගන්නා තැනැත්තන් එකල පැවැති තත්ත්වයෙන් ප්‍රයෝජනගත් ආකාරය එහි දත්ත මඟින් හුවා දක්වනබව යි.
වසංගතය ආරම්භවූ 2020 වසර මුල්භාගයේ දී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වඩාත් ජනප්‍රියත්වයට පත්විය.
පසුගිය වසරේ දී, IWF විසින් ඊනියා ස්වයං-නිෂ්පාදිත ළමා අපයෝජන විඩියෝ සහ ඡායාරූප දක්වන වෙබ් පිටු 63 000කට වඩා වාර්තාගතකර තිබුණි (වසංගතයට පෙර සමයේ මෙම අගය 5000ක් පමණක් විය). මින් අදහස්වන්නේ, අන්තර්ජාලය හරහා කුඩා දරුවන් ගොදුරුකර ගන්නා තැනැත්තෙකු විසින් රවටාගන්නා ලදුව, කැමරා ඉදිරිපිට දී තමන් විසින්ම තමාවම ලිංගිකව අපයෝජනය කරගන්නා ළමුන්ගේ පින්තූරයන් ය.
"වසංගතය අතරතුරේ දී අන්තර්ජාලය අපේ ජිවීත ආරක්ෂක කර දුන්නත්, ඒකෙ සම්පූර්ණ බලපෑම අපි ඉදිරියේ දිග ඇරෙන්නේ දැනුයි," IWFහි ප්‍රධාන විධායක නිලධාරිනී සුසී හාග්‍රීව්ස් පැවසුවා ය.
"අපට පැහැදිලිව පෙනෙන දේ තමයි, පොඩි දරුවෝ, බොහෝවිට තමන්ගේම නිදන කාමරවල ඉඳිද්දීම, කුඩා දරුවන් ගොදුරුකර ගන්නට ඉතාම ගිජු පුද්ගලයින් මේ දරුවන්ව අපයෝජනයන්ට ඇදලා දාන බව යි."
සමස්තයක් ලෙස ගතහොත්, IWF සංවිධානය ලොව පුරා අන්තර්ජාලයේ අඩංගු ළමා ලිංගික අපයෝජන සිද්ධීන් සියදහස් ගණනක් ලුහුබැඳයෑමට, විමර්ශනය කිරීමට හා ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටියි .
මෑත වසරවල දී මෙවැනි සිදුවීම්වල වාර්තාකරණ මට්ටම සාපේක්ෂ වශයෙන් සමානව පැවැති නිසා, ඔවුන් දකින ස්වයං-නිෂ්පාදිත විඩියෝ සහ ඡායාරූපවල ඉහළයෑම සිදුව ඇත්තේ එවැනි ක්‍රියාකාරකම්වල ඉහළයෑමක් නිසායැ යි තමාට නිසැකබව මේ පුණ්‍යායතනය පවසයි.
මේ වන විට විශ්ලේෂකයින් විසින් විමර්ශනය කෙරෙන පින්තූර හා විඩියෝවලින් තුනෙන් දෙකක්ම සෑදී තිබෙන්නේ ස්වයං-නිෂ්පාදිත ළමා අපයෝජන විඩියෝ සහ ඡායාරූපවලිනි.
පර්යේෂකයන් පවසන පරිදි මේ බොහෝ විඩියෝ දර්ශන පටිගතකර හෝ සජීවීව විකාශයකර තිබෙන්නේ, පසුබිමින් කාර්යය බහුල නිවෙසක ශබ්දයන් ඇසෙන නිදන කාමර හෝ නාන කාමරවල සිට ය.
ඒවා බොහෝවිට 'ලයිව් චැට්වල' දී සිදුකෙරෙන අතර, කෞමාරකාමයෙන් පෙළෙන්නන් (දරුවන් සමග කාමයෙහි යෙදෙන්නට ප්‍රිය) විසින් ඒවා බෙදාහදාගැනීම හෝ අලෙවි කිරීම පිණිස දරුවාගේ අනුදැනුමකින් තොරව පටිගත කරනු ලැබෙයි.
IWF යනු එක්සත් රාජධානිය පදනම්කර ගත් සංවිධානයකි. එය පවසන්නේ, විඩියෝ දර්ශන මත පදනම්ව මේ ළමුන් සිටින්නේ කොහිදැ යි සොයාබැලීම බොහෝවිට අපහසු බව යි. කෙසේ වෙතත්, පාසල් නිල ඇඳුමක් හෝ වෙනත් හඳුනාගැනීමේ සලකුණක් දක්නට ලැබේ නම්, එවැනි විඩියෝ සහ පින්තූර බලධාරීන්ට ලබාදෙන බව එය පවසයි.
මෙම විඩියෝ සහ පින්තූර අතරින් (පුණ්‍යායතනය ඇස්තමේන්තුකර ඇති පරිදි වයස අවු. හතේ සිට 10 දක්වා වයස්වල ළමුන්ගේ) අයිතම 8 000කට වැඩි සංඛ්‍යාවක් A කාණ්ඩයේ ද්‍රව්‍ය ලෙස වර්ගීකරණයකර තිබේ.
මෙය දරුණුතම කාණ්ඩය වන අතර, ලිංගිකව සම්බන්ධවන ක්‍රියාකාරකම්, සතෙකු සමග ලිංගික ක්‍රියාකාරකම්හි යෙදෙන පින්තූර හෝ පරපීඩාකාමය ඇතුළත්විය හැකි ය.
IWF විශ්ලේෂකයින් නැරඹි එක් වීඩියෝවක, හුරුබුහුටි සෙල්ලම් බඩුවලින් වටවූ නිදන කාමරයක සිටි නවහැවිරිදි දැරියකට විවිධ ලිංගික ක්‍රියාකාරකම්හි යෙදීමට අන්තර්ජාල ප්ලැට්ෆෝමයක් හරහා වැඩිහිටියන් උපදෙස් දෙනු දක්නට ලැබෙයි.
වෙබ් කැමරාවක් හරහා "දැඩි ලිංගික ඇඟවුම් ඇති" අභියෝගයන් ඉටු කරන්නැ යි ඇයට පවසයි. විඩියෝවට බාධාවක් ඇතිවන්නේ, එහි සිදුවෙමින් පැවැති අපයෝජනය පිළිබඳ කිසිත් නොදන්නා පවුලේ සාමාජිකයෙකු, දැරියගේ කුඩා සොහොයුරාට ස්නානය කිරීම සඳහා වතුර පුරවන්නැ යි ඇගෙන් ඉල්ලා සිටීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නැ යි IWF එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටිනමුත්, තමාට ලැබෙන විඩියෝ සහ පින්තූර ලොව වටෙන්ම පැමිණෙන ඒවාබවත්, ඉන් බහුතරය එක්සත් රාජධානියේ වෙබ් අඩවිවල අඩංගු ඒවා නොවන බවත් පුණ්‍යායතනය පවසයි.
එක්සත් ජනපදයේ අතුරුදහන්වූ සහ සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය සතුව 2022 වසර සඳහා සංඛ්‍යාලේඛන නොතිබුණත්, එය 2021 දී ළමා ලිංගික අපයෝජන නිර්මාණවල වර්ධනයක් වාර්තාකර ඇත. පුණ්‍යායතනයේ අන්තර්ජාලය හරහා ඔත්තු ලබාදෙන පද්ධතිය වෙත වෙත වාර්තා මිලියන 29.4ක් ලැබී ඇති අතර, 2020 දී මෙම අගය මිලියන 21.7ක් පමණක් විය.