විදෙස් සංචාරකයින්ට ගුවන් තොටුපළේදී ම රියැදුරු බලපත්‍ර: බලපත්‍ර නිකුත් කරන වාහන කාණ්ඩ මොනවා ද?

A tourist holding and displaying a license.
    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි කෙටි කාලයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ඉකුත් දා විවෘත කෙරිණි.

සංචාරකයින්ට මෙම කාර්යාල වෙත විද්‍යුත් තැපෑල හරහා ද තම අයැදුම් පත් යොමු කළ හැකි අතර එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාලය තවදුරටත් අවම කර ගැනීමට හැකි වනු ඇත.

මෙම අවස්ථාවට එක් වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ තවත් මාස කිජිපයකින් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් වෙත ස්මාර්ට් ජංගම දුරකතන ලබා දෙන බවත්, එවිට මෙම කාර්යාල මගින් විදේශීය සංචාරකයන්ට QR කේතයක් ලබා දීමට කටයුතු කරන බව ත් ය.

මීට පෙර පැවති ක්‍රමය අනුව වේරහැර පිහිටි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට සිදු විය.

බලපත්‍ර ලබා ගත හැකි වාහන කාණ්ඩ මොනවා ද?

මෙම කාර්යාලය හරහා විදෙස් සංචාරකයින්ට බලපත්‍ර නිකුත් කරන්නේ මෝටර් සයිකල් සහ සැහැල්ලු වාහන සඳහා පමණක් බව බීබීසී සිංහල වෙත අදහසක් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.

ගුවන්තොටුපළේදී බර වාහන හෝ ත්‍රිරෝද රථ සඳහා බලපත්‍ර නිකුත් නොකරන බව ද ඔහු එහිදී අවධාරණය කළේ ය.

එවැනි වාහන සඳහා යම් විදෙස් සංචාරකයෙකුට බලපත්‍ර අවශ්‍ය නම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් අදාළ සුදුසුකම් සපුරා ලබා ගත හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

DMT office at BIA

මෙහි ප්‍රථම රියැදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුට ත්, දෙවැන්න ඉතාලි ජාතිකයෙකුටත් පිරිනැමීම සිදු කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි මෙසේ පැවසුවා ය:

"ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් ආසයි තමන් ම වාහනයක් පදවාගෙන යමින් රටේ සිරි නැරඹීමට. ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛාව ඔවුන්ට මහත් පිටුබලයක් ලබා දී තිබෙනවා."

"මේ පහසුකම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අතිරේකව ලබා දෙන පහසුකමක්. මේ පිළිබඳ ආරංචිය මෙම සංචාරයකයන් මගින් ම ලොව පුරා රටවල් අතර පැතිර යාමට පටන් ගෙන තිබෙනවා."

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, මෙම පියවර "විදේශීය සංචාරකයන්ගේ ප්‍රසංශාවට ලක්ව" ඇති බව ය.

'ගුවන් තොටුපොළ තුළ පැවතිය යුතු ම අත්‍යවශ්‍ය සේවාවක්'

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුන්ටරය කටුනායක ගුවන් තොටුපොළ තුළ පැවතිය යුතු ම සේවාවක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කුලී රථ සහ අනෙකුත් සේවා පහසුකම් සපයන සංචාරක ප්‍රවර්ධන ආයතනයක සේවයේ නියුතු කලණ අශාන් පැවසීය.

"අපි මේ විදේශීය සංචාරකයන්ට වර්ෂයක කාලයක් සඳහා රියැදුරු බලපත්‍ර සකස් කර දීම සිදු කළා. ඒ සඳහා අපි රුපියල් 18,000ක මුදලක් අය කළා. නමුත් දැන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ගුවන් තොටුපොළ කාර්යාලය එක රියැදුරු බලපත්‍රයක් සඳහා අය කරන්නේ රුපියල් 2,000යි. එය ඉතා සාධාරණ ගණනක්.

කෙසේ වෙතත්, ඇතැම් කුලී රථ රියැදුරන් මෙම පියවර සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි. ඔවුන් පෙන්වා දෙන්නේ, එය ඔවුන්ගේ රැකියාවට තර්ජනයක් බව ය.

නමුත්, මේ හරහා විදේශ සංචාරකයින්ගේ "මුදල් ගසා කෑමට" ඇති අවස්ථා අවම වන බව තවත් පිරිසක් සඳහන් කර තිබිණි.

මුදල් සහ කාලය ඉතිරියක්

විදේශීය සංචාරකයෙකු රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ගියහොත් ඒ සඳහා සලකියුතු කාලයක් සහ මුදලක් වැය වනු ඇත.

කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය හරහා ඔවුන්ගේ කාලය මෙන් ම මුදල් ද ඉතිරි කර දෙන බවට සංචාරකයින් සඳහා කුලී රථ සපයන පාර්ශව සඳහන් කරති.

මීට අමතරව මෙම රියැදුරු බලපත්‍රවල ත්‍රිරෝද රථ පැදවීම සඳහා අවසරය නොමැති බැවින් කුලී ත්‍රිරෝද රථවලට ඉන් බලපෑමක් නොවන බව එම රියැදුරෝ පැවසූහ.

විදේශිකයන්ගේ 80%ක් යාපනයේ සිටි පදිංචිකරුවන්

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කරන ලද කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන විදේශිකයන් අතරින් 80%ක් පමණ යාපනය ප්‍රදේශයේ පදිංචි වී සිට, දැන් බ්‍රිතාන්‍යයේ හෝ යුරෝපා රටවල පදිංචි පුද්ගලයෝ වෙති.

ඔවුන් සති දෙකක් වැනි කෙටි කාලයක් සදහා මෙරටට පැමිණෙන අතර, මීට පෙර පැවති ක්‍රමය යටතේ ඔවුන්ට වසරක කාලයක් සඳහා රු. 18,000ක මුදලක් ගෙවා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට සිදු විය.

නමුත් දැන් ඒ වෙනුවට රු. 2,000ක් ගෙවා මාසයක කාලයකට ඔවුන්ට එය ලබා ගැනීමට හැකියාව පවතී.

කුලී රථ සපයන ව්‍යාපාරික ආයතන 5ක්

රියැදුරු බලපත්‍ර ලබා ගන්නා විදේශීය සංචාරකයන්ට කුලී රථ සැපයීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියපදිංචි කුලී රථ සපයන ව්‍යාපාරික ආයතන 5ක් පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ස්ථානගත කර තිබේ.

රියැදුරු බලපත්‍ර ලබා ගන්නා සංචාරකයින් නීතියට අනුව තම වාහන ධාවනය කරන්නේ ද යන්න පොලිසිය මගින් සොයා බැලිය යුතු බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ උපදේශක, එටිහාඩ් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකාරිනී රොෂානි මාසකෝරාළ පැවසුවා ය.

"නැතිනම් සංචාරක ප්‍රවර්ධනය මගින් රටට ගලා එන මුදලට වඩා වැඩි මුදලක් රිය අනතුරු, ඒ සඳහා වන වෛද්‍ය ප්‍රතිකාර, රක්ෂණ ආවරණ සඳහා වැය කරන්නට සිදු වේවි," ඇය පෙන්වා දුන්නා ය.