2019ට පෙර සිම් කාඩ් ලබාගත් ඔබ දැනගත යුත්තේ මොනවා ද?

සිම් කාඩ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

2019 වසරට පෙර ලබා ගන්නා ලද ජංගම දුරතකන සිම් කාඩ් මිලියනයට වැඩි ගණනකට ලියාපදිංචි හිමිකරුවෙකු නොමැති බව හඳුනාගෙන ඇති අතර ඒවා ලියාපදිංචියට හෝ අක්‍රීය කිරීමට මෙන් ම නව සිම් කාඩ් ලබා දීමේ දී පවතින නීතිය යාවත්කාලීන කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, 2019 වසරේ අගෝස්තු මස දෙවන දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

සිම් කාඩ් සම්බන්ධයෙන් හඳුන්වා දීමට සැරසෙන නව රෙගුලාසි පිළිබඳව බීබීසී සිංහල සේවය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත්ගෙන් විමසීමක් කළේ ය.

හිමිකරු හඳුනා ගත නොහැකි සිම් මිලියනයක්

2019ට පෙර ග්‍රාහකයා හඳුනා ගැනීමට නොමැතිව සිම් කාඩ් නිකුත් කර ඇති බවත්, ඒ හරහා අනීතික ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති හෙයින් 2019 වසරේ සිම් පතක් නිකුත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.

"අපරාධවලට, අනීතික ව්‍යාපාරවලට, එක එක පුද්ගලයන්ගෙන් කප්පම් ගන්න වගේ වැඩවලට ජංගම දුරකතන පාවිච්චි කරනවා. ඒකෙදි අයිඩෙන්ටිටි එක කියන එක සිම් එකේ නේ තියෙන්නේ. ඔයාගේ නමට තියෙන සිම් එකකින් මම කාට හරි තර්ජනය කළොත් නම යන්නේ ඔයාගේ. ඔය වගේ ගැටලු විශාල සංඛ්‍යාවක් තියෙන හින්දා මේක අවශ්‍යතාවක් විදියට අදට ගැලපෙන විදියට හැම එකක් ම යාවත්කාලීන වෙන්න ඕනෙ. ඒ අනුව ගැටලු තියෙන ඔක්කෝම හඳුනාගෙන ගිය අවුරුද්දේ අලුතින් සිම් රෙජිස්ටේෂන් රෙගියුලේෂන් එකක්, 2019 හඳුන්වා දුන් එකට අමතරව ගැටලු හඳුනාගෙන ගැටලු නිරාකරණය වෙන විදියට රෙගියුලේෂන් එකක් හඳුන්වා දෙන්න කටයුතු කළා."

මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව අදාළ රෙගුලාසි යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වන බවත්, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගතහොත් පනත සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක වීම ආරම්භ වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.

"2019 ග්‍රාහක හඳුනා ගැනීම නැතිව මිලියන 2කට අධික සිම් කාඩ් පුද්ගලයන්ට දීලා තිබුණා. ඒ විදියට ආයතනවලට දීලා තිබුණා සිම් කාඩ් ලක්ෂ දෙකයි හැත්තෑ තුන්දාහක් වගේ. 2019 ගැසට් ඒක ගහලා ඔපරේටර්ස්ලට කිව්වා ඒ කස්ටර්මර්ස්ලා හඳුනාගෙන ඒ අයගේ ඩීටේල් ගන්න කියලා. ඒ අය උත්සහ කළා SMS යවලා අනන්‍යතාව තහවුරු කරන්න. ඊට අමතරව අපිත් එක්ක එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනුවත් කිරීම් කළා. එහෙම ඒවා කරලා 2025 වෙනකම් උත්සහ කරලා ඉස්සෙල්ලා හිටිය මිලියන 2.2 තිබ්බ ග්‍රහාකයා හඳුනා ගැනීමට නොහැකි කස්ටමර් බේස් එක ‍මිලියනයක් දක්වා අඩු කරගෙන තියෙනවා."

නව රෙගුලාසි හරහා ග්‍රාහකයා හඳුනාගෙන නොමැති සිම් කඩ්පත් හිමියන් දැනුවත් කර යම් කාල සීමාවක් ලබා දී ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, එසේ එම කාලය තුළ ඊට අනුගත නොවන සිම් කාඩ් අක්‍රීය කිරීමට නීතිය බලාත්මක කරන බවත් විදුලි සංදේශක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වයස 18ට අඩු නම් සිම් එකක් ගන්නේ කොහොම ද?

නව රෙගුලාසි අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ නොවූ එහෙත් ජාතික හැඳුනුම්පතක් හිමි දරුවන්ට ද සිම් කාඩ් ලබා ගැනීමට කොන්දේසි සහිතව අවස්ථාව සලසා දී තිබේ.

"අපි හඳුනාගෙන තියෙනවා 18ට අඩු අයගේ අයිඩෙන්ටිටි කාඩ් පාවිච්චි කරලා සිම් කාඩ් අරගෙන අනීතික ක්‍රියාවලට භාවිත කරනවා කියලා."

"අවුරුදු 18ට අඩු අයට සිම් කාඩ් එකක් ගන්න අවශ්‍ය නම් එයාලගේ දෙමාව්පියන්ගේ කන්සෙන්ට් එක එක්ක සිම් කාඩ් ඉෂූ කරන්න පුළුවන්. එහෙම නැතිව නිකුත් කරන්න බැහැ," අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.

විදේශිකයා රටින් යද්දි සිම් කාඩ් අක්‍රීය කරන ක්‍රමයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එමෙන් ම මෙරටට පැමිණෙන විදේශිකයන් ලබා ගන්නා සිම් කාඩ් ඔවුන් මෙරටින් ගිය පසුව ඇතැම් පුද්ගලයන් භාවිත කරමින් අනීතික ක්‍රියා සිදුකරන බවට තහවුරු වීම හේතුවෙන් ඊට ද නව ක්‍රමවේදයක් මේ හරහා හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

"ටුවරිස්ට්ලා මෙහෙ ආපුවා ම සිම් අරගෙන එයාලා යද්දී සමහර විට ඒක ගයිඩ්ලාට දෙන්න පුළුවන්, කවුරු හරි අඳුරන කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට ඒ සිම් එක බිල් එක ගෙවන තාක් කල් දිගට ම ක්‍රියාත්මක වෙනවා. ඒ සිම් පාවිච්චි කරලත් අනීතික ක්‍රියාවල නිරත වෙනවා."

"ඒ නිසා අපි ඔපරේටර්ස්ලාට කියලා තියෙනවා, ආගමන විගමන එකෙන් නේ දෙන්නේ වීසා. ඒ ටුවරිස්ට්ලා පාස්පෝර්ට් එකෙන් නේ සිම් එක ගන්නේ. ඒකෙ ගහලා තියෙනවා වීසා කල් ඉකුත් වෙන දිනය. ඔපරේටර්ස්ලා ඒක එයාලාගෙ ඩේටා බේස් එකට දාලා ඒක ඉවර වෙන ගමන් මේ සිම් එක ඩිස්කනෙක්ට් වෙන්න ඕනේ."

වීසා කාල සීමාව දීර්ඝ කර ගතහොත් ආගමන විගමන කාර්යාලය හා සම්බන්ධ වෙමින් සිම් කාඩ් ලබා දෙන ආයතන විසින් අදාළ කාල සීමාව අනුව සිම් පතෙහි ක්‍රියාකාරීත්වය දීර්ඝ කර දිය යුතු බව ද , අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පැවසීය.

මියගිය පුද්ගලයන්ගේ සිම් පත් අක්‍රීය කරයි

"සමහර අය මැරුණා ම එයාගේ නමට තියෙන සිම් කාඩ් එක පාවිච්චි කරනවා තවත් කෙනෙක්. එයා සමහර විට අනීතික වැඩවලට පාවිච්චි කරනවා. ඒ ගැටලුවත් හඳුනාගෙන අපි ඒකටත් විසඳුමක් දීලා තියෙනවා. ඔපරේටර් උපන් හා මරණ කාර්යාලයේ ඩේටා බේස් එක හරහා මාස් පතා මැරුණ කෙනෙකුට දීපු සිම් ඩිස්කනෙක්ට් කරන්න ඕනේ."

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, හඳුන්වා දීමට සැලසුම් කර ඇති නව නීතිය හරහා ඊ සිම් පතක් ක්‍රියාත්මක කරවා ගැනීමට ග්‍රාහකයා අදාළ ආයතනයේ කාර්යාලයක් වෙත භෞතිකව පැමිණ එය සිදු කර ගත යුතු බව ය.

අලුතින් ගන්න සිම් එක ක්‍රියාත්මක කර ගන්නේ කොහොම ද?

නව නීතිය යටතේ අලුතින් ලබා ගන්නා සිම් පතක් ක්‍රියාත්මක කිරීමේදී නව කොන්දේසි පැනවීමට සැලසුම් කර ඇති අතර, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එය සිදුකෙරෙන ආකාරය විස්තර කළේ ය.

"ඉස්සර තිබුණේ ඊමීඩියට්ලි සිම් එක ඇක්ටිව් වෙන්න ඕනේ කියලා. මේකෙන් කරන්නේ සිම් එක ගන්න කෙනාගේ ඩේටා එක අප්ලෝඩ් කරලා, ඒක API එකත් එක්ක මැච් කරලා, ඒක මැච් වුණා ම තමයි සිම් එක ඇක්ටිවේට් කරන්න ඕනේ. ඒක ඒ අදාළ සමාගමේ ක්‍රියාකාරීත්වය අනුව ඒක පැයකිනුත් පුළුවන්, පැය දෙකකිනුත් පුළුවන් නමුත් හරි ඩේටා ටික අප්ලෝඩ් කරලා පැය 48ක සීමාවක් ඇතුළත සිම් එක ඇක්ටිව් කරන්න ඕනේ."

එමෙන් ම, සිම් පත හිමිකරුගේ ඡායාරූපයක් සහිතව ලියාපදිංචි කිරීමට ද සැලසුම් කරමින් සිටින බවත්, අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

"සමාජයේ කිසි ම සාමන්‍ය මනුස්සයෙකුට කිසි ම අවහිරයක් මේ තුළින් වෙන්නේ නැහැ. අවහිරතාව ඇති වෙන්නේ අනීතික වැඩ කරන කට්ටියට පමණ යි. එයාලට විතර යි මේකේ බලපෑමක් වෙන්නේ," විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.