ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිල්ලි කාර් බෝම්බ ප්‍රහාරකයා බව කියන පුද්ගලයාගේ නම විමර්ශකයින් විසින් හෙළි කෙරේ
- Author, ගීතා පාණ්ඩේ - දිල්ලි සිට සහ ආකිබ් ජාවෙඩ් - පුල්වාමා, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිට
දිල්ලියේ ජනප්‍රිය සහ ඓතිහාසික ස්ථානයක් වන රතු බලකොටුව අසල පසුගිය සඳුදා පුපුරා ගිය මෝටර් රථය පැදවූ බව කියන පුද්ගලයාගේ නම ඉන්දීය විමර්ශකයින් විසින් හෙළි කරනු ලැබ තිබේ.
10 දෙනෙකුට මරු කැඳවමින් සහ 32 දෙනෙකුට තුවාල සිදු කළ මෙම සිදුවීමේ "මරාගෙන මැරෙන බෝම්බකරු" උමාර් උන් නබි නමැති පුද්ගලයෙකු යැයි ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සඳහන් කළේ ය.
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ වෛද්‍යවරයෙකු වන උමර්, දිල්ලියේ තදාසන්න ප්‍රදේශයක් වන ෆරීදාබාද්හි අල්-ෆලා විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටි බව NIA පැවසූ අතර, රියැදුරුගේ අනන්‍යතාව ද අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇති බව පැවසීය.
උමර්ගේ පියා සහ නෑනා බීබීසීයට පැවසුවේ, ඔවුන්ට ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළ "නොහැකි බවත්, සහ ඒ ගැන කිසිවක් නොදන්නා බවත්" ය.
පිපිරීම සඳහා භාවිත කළ මෝටර් රථය ලියාපදිංචි අයිතිය ඇති බව කියන පුද්ගලයෙකු [ඔහු ද ඉන්දීය පරිපාලනයේ ඇති කාශ්මීරයේ පදිංචිකරුවෙකි] අත්අඩංගුවට ගත් බව පැවසීමෙන් පසු ඉරිදා ඒජන්සිය උමර්ගේ නම හෙළි කළේ ය.
පසුගිය සතියේ මෙම පිපිරීම සිදු වූයේ කාශ්මීර පොලිසිය මෑත සතිවලදී ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන උමර් ජීවත් වූ සහ රැකියාවේ නිරත වූ දිල්ලියට තදාසන්න ෆරීදාබාද් නරගයෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් සොයා ගත් බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ය.
පිපිරීමට අත්අඩංගුවට ගැනීම් සහ භාරයට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි විමර්ශනය කරන බව NIA පසුගිය සතියේ බීබීසීය වෙත තහවුරු කර තිබිණි.
පොලිසිය හෝ ජාතික පොලිස් ඒජන්සිය උමර්ගේ නම නිල වශයෙන් නම් කර නොතිබුණ ද පිපිරීම සිදුවී පැය කිහිපයක් ඇතුළත ඔහුගේ නම ඉන්දියාවේ සිරස්තලවල සඳහන් විය.
එදින රාත්‍රියේ, ඔහුගේ මුල් නිවස ආරක්ෂක අංශ විසින් සෝදිසි කරන ලද අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඔවුන් අතර ඔහුගේ සහෝදරයන් දෙදෙනා, සහෝදරිය සහ ඇගේ සැමියා ද සිටි අතර ඔවුන් තවමත් නිදහස් කර නොමැත.
මෙම පවුලට වෙනත් සිදුවීම්වලට ද මුහුණ දීමට සිදුවිය. බ්‍රහස්පතින්දා රාත්‍රියේ අගභාගයේදී, කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ගම්මානයේ පිහිටා තිබූ ඔවුන්ගේ නිවස ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කඩා දමන ලදී.
එය විනාශ කර දැමීමට දින කිහිපයකට පෙර බීබීසීය එහි ගිය අතර, එහිදී ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ අසල්වැසියන් කම්පනයට පත්ව සිටිනු දුටුවේ ය. ඉරිදා සවස සිදුවූ මාරාන්තික සිදුවීම් සහ උමර්ට එරෙහි චෝදනා ගැන තමන් දැනගත්තේ සමාජ මාධ්‍යවලින් බව ඔවුහු පැවසූහ.
උමර්ගේ ඡායාරූපය සෑම ප්‍රවෘත්ති නාලිකාවකින් ම පාහේ විකාශය කළ අතර එය වේගයෙන් ජනතාව අතරට ගියේ ය. ඔහුගේ නිවසේදී, වාර්තාකරුවෝ සහ කැමරා කණ්ඩායම් කිහිපයක් ම විශ්‍රාමික පාසල් ගුරුවරයෙකු වූ ඔහුගේ පියා වටා රොක් වී නොනවත්වා උමර් ගැන ප්‍රශ්න ඇසූහ.
පිපිරීම සිදු වූ රාත්‍රිය සහ ඉන් පසු දිනවල සිදු වූ දේ ඔහුගේ පවුලේ ජීවිතය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් කළ බව ඔහු බීබීසීයට පැවසීය.
ඔහු පැවසුවේ තම පවුලට තිබුණේ එක් මෝටර් රථයක් පමණක් බවත් එය ඔවුන්ගේ නිවසින් පිටත නවතා තිබූ බවත් ය . "බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියලා පොලිසිය කියන මේ කාර් එක ගැන අපි දැනගෙන හිටියේ නැහැ," ඔහු තවදුරටත් පැවසීය.
විමර්ශන කණ්ඩායම් කිහිපයක් ම රාත්‍රිය පුරා ඔවුන්ගේ නිවසට ගොස්, උමර් අවසන් වරට නිවසට පැමිණියේ කවදා ද සහ පවුලේ අය ඔහු සමග කතා කළේ කවදා ද යන්න ඇතුළුව ඔහු ගැන ප්‍රශ්න ඇසූහ.
ඔහුගේ පියා තවදුරටත් ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි තරම් කම්පනයට පත්ව සිටි අතර පවුලේ අනෙකුත් සාමාජිකයෝ සහ අසල්වැසියෝ එදින රාත්‍රියේ සිදු වූ දේ පැවසීමට කිරීමට උදව් කළහ.
පිපිරීම සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස උමර්ගේ සහෝදරයෙකුට ආරක්ෂක අංශවලින් ඇමතුමක් ලැබුණු බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ බීබීසීයට පැවසූහ.
පැය තුනකට ආසන්න කාලයකින් පසු ඔහුට පිටව යාමට අවසර ලැබුණ ද, ඔහු නිවසට පැමිණි විගස ආරක්ෂක අංශ පැමිණ ඔහු අත්අඩංගුවට ගත්තේ ය. ඉන් මද වේලාවකට පසු, දෙවන විමර්ශන කණ්ඩායම ඔහුගේ දෙවන සහෝදරයා අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකය සහ දුරකතන සිය භාරයට ගත්තේ ය.
අලුයම වන විට තුන්වන කණ්ඩායම පැමිණ නිවස දැඩි ලෙස පරීක්ෂා කිරීම්වලට ලක් කළේ ය. පැය තුනකට පසු, ඔවුන් පිටත්ව යන විට, උමර්ගේ මවට ඔවුන් සමග පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ය. පැය කිහිපයකට පසු, ඔහුගේ පියා ද පොලිසියට කැඳවිණි. පසුව ඔවුන්ගේ DNA සාම්පල එකතු කිරීමෙන් පසු මෙම යුවළ නිදහස් කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කාශ්මීර පොලිසිය සහ ඔවුන්ගේ විශේෂ විමර්ශන ඒජන්සිය (SIA), අත්අඩංගුවට ගැනීම් සහ කඩා ඉවත් කිරීම පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, "එය අඛණ්ඩ පරීක්ෂණයක්" බව බීබීසීය වෙත පැවසීය.
මේ අතර, උමර්ගේ පවුලේ සාමාජිකයින් සහ අසල්වැසියන් තවමත් සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට උත්සහ කරමින් සිටිති.
මෙම මාරාන්තික පිපිරීම පිළිබඳ පුවතෙන් සියලු දෙනා කම්පනයට පත් වූ බව එක් ඥාතියෙක් පැවසීය. පිපිරීම පිළිබඳ පුවත සහ එය තම ගමට සම්බන්ධ බවට පැවසෙන පුවත නිසා තමන් කම්පනයට පත් වූ බව බොහෝ දෙනෙක් පැවසූහ.
ඔවුන්ගේ නිවස සුන්බුන් බවට පත්වෙමින් පවතින, අඳුරු ශීත කාලයක් අභිමුවට උමර්ගේ පවුලේ සාමාජිකයෝ පැමිණ සිටිති. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ආරක්ෂක අංශ ආපසු පැමිණ පවුලේ සියලු ම සාමාජිකයින්ට නිවසින් ඉවත් වන ලෙස පැවසූ බව ඥාතියෙක් සඳුදා බීබීසීයට පැවසීය.
"ටික වේලාවකට පස්සේ, අපිට විශාල පිපිරීමක් ඇහුණා. ගෙදර බිමට සමතලා කරලා," ඔහු පැවසීය.
ශීත කාලය අභිමුව, උමර්ගේ දෙමව්පියන්, ගැබිනි නෑනා සහ කුඩා දරුවන් ඇතුළත් පවුල දැන් නිවසක් නොමැතිව ඥාති නිවසක නවාතැන් ගෙන සිටින බව ඔහු තවදුරටත් පැවසීය.
"අපට කියන්න දෙයක් නැහැ, වෙච්ච දේ වෙලා ඉවරයි අවසන්," යැයි පවසමින් ඔහු තවත් ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ය.