ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර දැන් පවතින ආතතීන් සම්බන්ධයෙන් කලාපයේ රටවල් සැලකිලිමත් විය යුතු ද?
- Author, සාරා හසන්
- Role, බීබීසී උර්දු
පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය මෑත දින කිහිපය තුළ සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
උතුරු දේශසීමාවේ කඳුකර ස්ථාන කිහිපයකදී පකිස්ථාන හමුදාවන්ට ප්‍රහාර එල්ල කළ බව තාලිබාන් රජය තහවුරු කිරීමෙන් පසුව මෙම තත්ත්වය ඇති විය.
තාලිබාන් ප්‍රකාශකයෙකු කියා සිටියේ "පළිගැනීමේ ක්‍රියාවක් ලෙස" එල්ල කළ ප්‍රහාර වලින් පකිස්ථාන සොල්දාදුවන් 58 දෙනෙකු මිය ගිය බව ය. පසුගිය සතියේ පකිස්ථානය ඇෆ්ගන් ගුවන් සීමාව උල්ලංඝනය කර එහි ගිණිකොනදිග ප්‍රදේශයේ වෙළඳපොළකට බෝම්බ හෙලීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඔහු පැවසුවේ ය.
තාලිබාන් සංවිධානයේ සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කරන පකිස්ථානය, තම සොල්දාදුවන් 23 දෙනෙකු මිය ගිය බව පවසමින්, "තලේබාන් සටන්කරුවන් සහ අනුබද්ධ සටන්කාමීන් 200ක් ඝාතනය කළ බව," කියා සිටියේ ය.
පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෝසීන් නක්වි ඇෆ්ගන් ප්‍රහාරය "කුපිත වීමකින් තොරව සිදුවූවක්" ලෙස හඳුන්වමින්, ඔවුන් සිවිල් වැසියන්ට වෙඩි තැබූ බවට චෝදනා කළ අතර, පකිස්ථානය "සෑම ප්‍රහාරයකටම " ප්‍රතිචාර දක්වන බවට පොරොන්දු විය.
මෙම ප්‍රකාශ ස්වාධීනව සත්‍යාපනය කිරීමට බීබීසීයට නොහැකි වූ නමුත්, දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වචන හුවමාරුව තියුණු ලෙස ගැටුම්කාරී වී ඇත.
"පකිස්ථානයට එරෙහිව ඇෆ්ඝන් භූමිය යොදාගත්තොත්, පකිස්ථානයට ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අයිතිය තියෙනවා," පකිස්ථාන ආරක්ෂක ඇමති ක්වාජා ආසිෆ් පැවසුවේ ය.
මේ අතර පකිස්ථානයේ මිලිටරි ප්‍රකාශකයෙකු පැවසුවේ, "පකිස්ථානය තුළ ත්‍රස්තවාදය ඇති කරන්න ඇෆ්ඝනිස්ථානයේ ආරක්‍ෂිත ස්ථාන භාවිත කරනවා," යනුවෙන් ය.
ඉන්දියාවේ නිල සංචාරයකදී ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි, "ඇෆ්ඝන් ජනතාවගේ ඉවසීම පරීක්ෂා නොකරන" ලෙස පකිස්ථානයට අනතුරු ඇඟවීය.
මෙම ආතතියේ ගැඹුරු ඓතිහාසික මූලයන් මොනවා ද, සහ දෙරට අතර පෙර නොවූ විරූ මට්ටමේ සතුරුකමක් තිබේ ද?
දුෂ්කර ඉතිහාසයක්
පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මෑත කාලීන සබඳතා කැලඹිලි සහගත විය.
2021 දී ඇමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාමට පෙර, කබුල්හි පැවති රජය බොහෝ විට කියා සිටියේ ඉස්ලාමාබාද් (පකිස්ථානය) තාලිබාන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට උදව් කරන බවත්, මෙම ප්‍රහාර පකිස්ථාන භූමියේ සිට සැලසුම් කරන බවත් ය.
එම කාලය තුළ තාලිබාන් සංවිධානය සමග සම්බන්ධතා ඇති බවට වන වාර්තා පකිස්ථානය ප්‍රතික්ෂේප කළ අතර, එවකට පකිස්ථාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු එවැනි චෝදනා "හාස්‍යජනක" ලෙස හැඳින්වීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට සහ තාලිබාන් සංවිධානය ඉක්මනින් බලයට පැමිණීමට මඟ පෑදූ දෝහා ගිවිසුමට පහසුකම් සැලසීම සහ සාකච්ඡා කිරීමේදී පකිස්ථානය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය.
1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානයේ තාලිබාවරුන්ගේ පළමු පාලනය අතරතුර එම රජය නිල වශයෙන් පිළිගත් රටවල් කිහිපය අතර පකිස්ථානය ද විය.
කෙසේ වෙතත්, මෑත කාලීන ආතතීන්ගෙන් පෙනී යන්නේ තාලිබාන් සංවිධානය නැවත බලයට පත් වුව ද, දෙරට අතර සබඳතා බිඳෙනසුලු බව ය.
පකිස්ථානය දැන් කියා සිටින්නේ පකිස්ථාන ටෙහ්රික්-ඉ-තාලිබාන් (TTP) හෙවත් පකිස්ථාන තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය තුළ සිට තම රටට ප්‍රහාර එල්ල කරන බවත් ඇෆ්ගන් තාලිබාන් සංවිධානය ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ය.
"තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු, TTP වැනි කණ්ඩායම්වලට පෙර මෙන් සහයෝගය නොලැබෙනු ඇතැයි සහ දේශසීමා තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි පකිස්ථානය බලාපොරොත්තු වුණත් එහෙම වුණේ නෑ," හිටපු පාකිස්තාන තානාපති මසූඩ් ඛාන් බීබීසීයට පැවසීය.
මෙය එක් අතකට පුදුමයට කරුණක් නොවේ.
"අනෙකුත් රජයන් වගේ නොවෙයි, ඇෆ්ඝන් තාලිබාන්වරු සාම්ප්‍රදායික රජයක් නොවෙයි. ඔවුන් බලයට පැමිණියේ TTP එක්ක ඓතිහාසිකව සම්බන්ධ කණ්ඩායමක් විදිහට," ඇෆ්ඝනිස්ථාන-පකිස්ථාන සබඳතා සමීපව නිරීක්ෂණය කරන විශ්ලේෂක සහ මාධ්‍යවේදී සාමි යූසාෆ්සායි බීබීසීයට පැවසීය.
"ඇෆ්ඝන් තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයෙන් TTP සංවිධානය තුරන් කරයි කියලා හෝ නෙරපා හරියි කියලා පකිස්ථානය විශ්වාස කරනවා නම්, ඒක කවදාවත් ඉටු වෙන්නේ නැති අපේක්ෂාවක්," ඔහු තවදුරටත් පැවසීය.
දැන්, ඇෆ්ඝනිස්ථානයේ අන්තර්වාර විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි නවදිල්ලියේ සංචාරය කිරීමත් සමග ඇෆ්ඝනිස්ථානය සහ පකිස්ථානයේ පැරණි සතුරා වන ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කර ඇති අතර එය පකිස්ථානයට සුබදායක නොවනු ඇත.
මෙය පකිස්ථානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා ඇෆ්ඝන් භූමිය නැවතත් භාවිතා කළ හැකි බවට වන බය පකිස්ථානය තුළ යළි ඇති කරනු ඇත.
"ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය හරහා පකිස්ථානයෙන් පළිගැනීමට උත්සාහ කරන අතර, ඇෆ්ඝනිස්ථානය ඉන්දියාවේ පැවැත්මට පහසුකම් සපයනවා," යනුවෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ක්වාජා මුහම්මද් අසීෆ් Geo News නාලිකාවට පැවසීය.
ඇෆ්ඝනිස්ථානය තුළ පකිස්ථාන විරෝධී බලවේගයන්ට සහාය දීම ඉන්දියාව නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇත. නමුත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික මෘදු බව "සංකේතාත්මක පරාජයක්" ලෙස යූසුෆ්සායි වැනි නිරීක්ෂකයින් විසින් හඳුන්වනු ලැබේ.
කලාපයේ රටවල් සමඟ සබඳතා ඇති කර ගනිමින් තාලිබාන් සංවිධානය තම හුදකලාව අවසන් කිරීමට උත්සාහ කරන අතරතුර, ඉන්දියාව කලාපයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව නිරීක්ෂකයෝ පවසති.
නමුත් යූසුෆ්සායි පවසන්නේ එය එතරම් සරළ නොවන බවට ය: "කාබුල්හි දැඩි ජිහාඩ්වාදී දෘෂ්ටිවාදාත්මක පද්ධතියක් ක්‍රියාත්මක වන නිසා, තාලිබාන් රජයට ප්‍රායෝගික සහාය ලබා දීමට ඉන්දියාවට ඇති හැකියාව සීමිතයි."
මෙය ඉස්ලාමාබාදයට යම් සහනයක් විය හැකි ය.
දැන් තිබෙන විකල්ප මොනවා ද?
එසේ වුවද, විශ්ලේෂකයින් පවසන්නේ පකිස්ථානයට ඇත්තේ සීමිත විකල්ප ප්‍රමාණයක් බව ය. ඇෆ්ඝනිස්ථානයට පහර දීම හෝ දේශසීමා ගැටුම්වල යෙදීම තිරසාර විසඳුමක් නොවේ.
"පකිස්ථානය තාලිබාන් විරෝධී කොටස්වලට විවෘතව සහාය දෙයි ද? ඒක පකිස්ථානයට හෝ එම කණ්ඩායම් වලට කැමති හිතෙන වැඩක් නෙවෙයි," යූසුෆ්සායි පැවසුවේ ය.
ඇෆ්ඝනිස්ථානය සහ පකිස්ථානය යන දෙකට ම මායිම් වන චීනය මෙහිදී තීරණාත්මක බව එක්සත් ජනපදයේ පකිස්ථානයේ හිටපු තානාපති මසූඩ් ඛාන් බීබීසීයට පැවසීය.
"සංවාදයක් ආරම්භ කරන්න රාජ්‍ය තාන්ත්‍රික අවකාශයක් නිර්මාණය කරන්න අවශ්‍ය අතරේ ම, චීනයට මේ සම්බන්ධයෙන් උදව් කළ කරන්නත් පුළුවන්. මොක ද ඔවුන් රටවල් දෙක ම එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන හින්දා," ඔහු පැවසීය.
ඇෆ්ඝනිස්ථානය සහ පකිස්ථානය අතර ඉහළ යන ආතතීන් පිළිබඳව චීනය කනස්සල්ල පළ කර ඇති අතර, සංවාද සහ සහයෝගීතාව දිරිමත් කිරීම සඳහා රටවල් තුන අතර ත්‍රෛපාර්ශ්වික සංසදයක් දැනටමත් පවතින බව සඳහන් කර තිබේ.
තවත් සමහරු පවසා ඇත්තේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද TTP සංවිධානයට එරෙහිව පියවර ගන්නා ලෙස ඇෆ්ඝනිස්ථානයට බලපෑම් කළ යුතු බව ය.
පකිස්ථානය සහ සෞදි අරාබිය මෑතකදී අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ අතර, එහි සඳහන් වන්නේ එක් රටකට එරෙහිව සිදු කරන ඕනෑම ආක්‍රමණයක් දෙරටටම එරෙහි ආක්‍රමණයක් ලෙස සලකනු ලබන බව ය.
පකිස්ථානය හා ඇෆ්ඝනිස්ථානය අතර කිලෝමීටර් 2,600ක දේශ සීමාවක් පවතියි. එය ඩුරන්ඩ් රේඛාව ලෙසද හැඳින්වෙන අතර එය 1893 දී බ්‍රිතාන්‍යයන් විසින් අභිමතය පරිදි ඇඳ ඇති අතර එය ඇෆ්ඝනිස්ථානය සහ එහි දෙපස ජීවත් වන මිලියන ගණනාවක් වන වාර්ගික පෂ්තුන්වරුන් අතර මතභේදයට තුඩු දී ඇත.
සමහර නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ නවතම ආතතීන් භූමියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ නොවිසඳුණු ආරවුල් වලින් පැන නගින බව ය.
දහස් ගණනක් ජනතාව මෙම දේශසීමා හරහා දිනකට ගමන් කරති. දේශපාලන ආතතීන් නොතකා, ගැඹුරු පවුල් සහ සමාජ සබඳතා ඇති ගෝත්‍රික ප්‍රජාවන් දේශසීමාවේ දෙපසම ජීවත් වන අතර, එය දෙරට අතර සබඳතා සාමාන්‍යකරණය කිරීමේ අවශ්‍යතාවයට හදිසි බවක් එක් කරයි.
"ත්‍රස්තවාදය අවසන් කළ හැක්කේ සහයෝගීතාවයෙන් සහ සබඳතා වැඩිදියුණු කිරීමෙන් පමණයි, වාචාල කතාවලින් නොවෙයි," ඛාන් පැවසීය.
අතිරේක වාර්තාකරණය බීබීසී ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායම සහ බීබීසී හින්දි සේවය විසින් ය.