කිම් ජොන් අන්: උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ගැන අප නොදන්නා කරුණු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උතුරු කොරියාවේ කිම් ජොන් අන්ට දැන් වයස අවුරුදු 40කි. නමුත් ඔහුට ඇත්තෙන්ම වයස අවු. 40ක් වන්නේ ද?
මේ උත්තරීතර නායකයාගේ උපන් දිනය ජනවාරි අටවැනිදායැ යි බොහෝදෙනෙකු විශ්වාස කරනමුත්, ඔහුගේ නිශ්චිත උපන් දිනය ගැන කිසිවෙකුත් හරිහැටි නොදනියි.
නමුත් කිම් පිළිබඳ එකම අභිරහස මෙය නොවේ - 2011 දී බලයට පත්වූ උතුරු කොරියානු ආඥාදායකයා පිළිබඳ පිළිතුරු නැති ප්‍රශ්න පහකි මේ.
1. කිම් ජොන් අන් ඉපදුනේ කවදා ද?
අපි ඇත්තෙන්ම නිශ්චිතව නොදනිමු.
"ඔහු ඉපදුනු අවුරුද්ද ගැන ගොඩක් වාද විවාද තියෙනවා, ඒ අවුරුද්ද 1982 ද, 1983 ද, 1984 ද කියලා," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ දේශපාලනය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය එඩ්වඩ් හවෙල් බීබීසීය හා පැවසුවේ ය.
ඔහුගේ උපන්දිනය ලෙස සැලකෙන ජනවාරි අටවැනි දා මේ කොමියුනිස්ට් රාජ්‍යය තුළ සාමාන්‍ය දිනයක් වන නමුත්, ඔහුගේ පියා වූ කිම් ජොන් ඉල්ගේ උපන්දිනය වාර්ෂිකව පෙබරවාරි 16 වැනිදා 'දිදුළන තරුවේ දිනය' ලෙස සැමරෙයි.
ඔහුගේ මුත්තණුවන් වන කිම් ඉල් සුන්ගේ උපන්දිනය වන අප්‍රේල් 15 වැනිදා ද 'හිරුගේ දිනය' ලෙස නම්කර තිබේ.
එනමුත්, ඔහුගේ විස්තෘත පවුල ගැන තොරතුරු අබිරහසක්ව පවතියි.
කිම්ට අර්ධ සොයුරන් දෙදෙනෙකු සිටිතැ යි දන්නාබව උතුරු කොරියාව පිළිබඳ විශේෂඥ ආචාර්ය හවෙල් පවසයි. ඉන් එක් සොයුරෙක් වූ කිම් ජොන් නම් 2017 වසරේ මැලේසියාවේ දී ඝාතනය කෙරිණි.
කිම් ජොන් අන්ගේ පියාට අවම වශයෙන් සහකාරියන් සිව්දෙනෙකු සිටින්නට ඇතැ යි සැලකෙයි - නමුත් ඔහුගේ සබඳතාවන් බොහෝවිට පොදු ජනයාගෙන් සංවෘතව තබාගනු ලැබුණි.
ඔහුගේ මව වන කෝ යං හුයි ජපානයේ උපත ලදැ යි ද, ඇය 1960 ගණන්වල දී නළඟනක ලෙස සේවය කිරීමට උතුරු කොරියාවට පැමිණ ඇතැ යි ද සැලකෙයි.
ඇය කිම් ජොන් ඉල්ගේ භාර්යාවන්ගෙන් ප්‍රියතමයාබව ද සැලකෙයි.
කෝ යං හුයි 1973 දී ජපානයට සිදුකළ සංචාරයක ඡායාරූප 2018 දී හමුවිය.
උතුරු කොරියාව කෝ ගැන තොරතුරු එතරම් ප්‍රසිද්ධ නොකරන්නේ, ඇගේ නර්තන වෘත්තිය හා ජපානයට සම්බන්ධ පවුල් පසුබිම නිසා බව ද කොරියා ටයිම්ස් වාර්තා කළේ ය.
"දෙවනි ලෝක යුද්ධ කාලෙදි කොරියානු අර්ධද්වීපය අල්ලාගෙන හිටපු ජපානෙ උපත ලබන එක, සාමාන්‍යයෙන් කෙනෙක්ව පහළ සමාජ පන්තියකට හෙළනවා. නමුත් ඇය කිම් ජොන් ඉල් එක්ක විවාහවුණු නිසා ඇයට සුඛෝපභෝගී ජීවන රටාවක් ලැබුණා," ආචාර්ය හවෙල් ප්‍රකාශ කරයි.
2. කිම් ජොන් අන්ගේ බිරිඳ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප මෙය ද නිශ්චිතව දන්නේ නැත. ඔහුට රි සොල් ජු නම් බිරිඳක් සිටින බව අප දැන සිටියත්, ඔවුන් විවාහවූයේ කවදාදැ යි නිශ්චිත නැත (විවාහය 2009 දී සිදුවන්නට ඇතැ යි අනුමානයන් පවතියි).
"රි සොල් ජු සහෝදරිය" ගැන එතරම් තොරතුරු නැත. ඇය ඇගේ ඉදිරිපත් කිරීමක් අතරතුර දී කිම්ගේ අවධානය දිනාගත් හිටපු ගායිකාවක් ද?
ඇගේ නම ඇති උතුරු කොරියානු ශිල්පිනියක සිටින නමුත්, ඇයත්, කිම්ගේ බිරිඳත් එකම පුද්ගලයාදැ යි නිල වශයෙන් තහවුරුකර නැත.
2005 දී රි සොල් ජු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා උතුරු කොරියානු චියර්ලීඩින් කණ්ඩායමේ සාමාජිකාවක ලෙස දකුණු කොරියාවට ගොස් ඇතැ යි ද, ඇය චීනයේ දී ගායනය හදාරා ඇතැ යි ද බුද්ධි අංශ නිලධාරීන් විශ්වාස කරනබව, ඔවුන් උපුටා දක්වමින් නීති සම්පාදකයෙකු පැවසීය.
ඇය කිම්ගේ බිරිඳ වනබව පැවසීමෙන් ඔබ්බට උතුරු කොරියාව වෙනත් කිසිදු තොරතුරක් ලබාදී නැත.
3. කිම් ජොන් අන්ට දරුවන් කීදෙනෙකු සිටියි ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙය ද ඔහුගේ පවුල සම්බන්ධයෙන් නිශ්චිතව පැවසීමට අපහසු තවත් යමකි.
රි සොල් ජු ගර්භනීයැ යි අනුමාන කිරීම, 2016 දී ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම නැවතීමෙන් පසු ආරම්භ වූ නමුත්, එය කිසිදා නිල වශයෙන් තහවුරුකර නැත.
ඉන්පෙර, 2010 දී හා 2013 දී ද දරුවන් දෙදෙනෙකු උපන්බව විශ්වාස කෙරෙයි. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු පිරිමි දරුවෙකු ද - අනුප්‍රාප්තියට සුදුස්සෙකුදැ යි නොදනියි. ඇත්තෙන්ම, ඔවුන් ගැන අප දන්නේ අල්පයකි.
උතුරු කොරියානු නායකයා ඔහුගේ දෙවැනි දරුවා වන, වයස අවු. 10ක් පමණ වයසැති කිම් ජු ඒ දියණිය සමග ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත. අප වැඩිම තොරතුරු දන්නේ ද මේ දියණිය පිළිබඳව ය. 2023 දී ඇය අවම වශයෙන් පස්වරක්වත් ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ.
"අපි තවමත් ඔහුගෙ ළමයින්ගෙ සම්පූර්ණ කතාවම දන්නෙ නෑ,"යි පැහැදිලි කළ ආචාර්ය හවෙල්, කිම් ජොන් අන්ගේ දියණියගේ නම 2013 වසරේ සම්මුඛ සාකච්ඡාවක දී හෙළි කළේ කිම්ගේ සමීප මිතුරෙකු වූ හිටපු එක්සත් ජනපද පැසිපන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මන්බව අපට සිහිපත් කළේ ය.
"ඔහුට වෙනත් දරුවො හිටියට එයාල ගැන දන්නෙ බොහොම සුළු තොරතුරක්. එයාලගෙ අම්මලා කවුද කියලා අපි දන්නෙ නැහැ," උතුරු කොරියාව පිළිබඳ විශේෂඥයා සඳහන් කරයි.
ආචාර්ය හවෙල් බොහෝ විශ්ලේෂකයින්ට ද (දකුණු කොරියාවේ බුද්ධි ඒජන්සියට ද) පටහැනිව යමින්, කිම් ජු ඒ මිළඟ නායිකාව වීමට සූදානම් කෙරෙමින් පවතින බව විශ්වාස නොකරයි.
ඇය තවමත් ළාබාල වන නමුත්, කිම් ජොන් අන්ගේ බලපුළුවන්කම් ඇති සොයුරිය වන කිම් යෝ ජොන් අත්දැකීම් බහුල තැනැත්තියක වන අතර ප්‍රභූ පැලැන්තිය සමග ද වඩාත් හොඳ සබඳතා තිබේ. එනිසා, ඇගේ සොයුරාගෙන් පසු අනුප්‍රාප්තිකයා වීමට ඇය වඩාත් සුදුස්සෙකි.
"උතුරු කොරියානු නායකයා ඔහුගෙ ළාබාල දියණිය එක්ක මිසයිල දියත් කිරීම්වලට, භෝජන සංග්‍රහවලට හරි පාපන්දු තරගවලට හරි සහභාගී වෙන්නේ, ඔහුට ඕනෑ කරලා තියෙනවා ඔහු පවුලට ලැදි මනුස්සයෙක්, කරුණාවන්ත නායකයෙක් කියලා පෙන්නන්න," ආචාර්ය හවෙල් විශ්වාස කරයි.
4. උතුරු කොරියාව මෙතරම් දුප්පත් නම් කිම් ජොන් අන් සුඛෝපභෝගී දිවියක් ගතකරන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
න්‍යෂ්ටික අවි හා බැලිස්ටික් මිසයිල සෑදීම හේතුවෙන් උතුරු කොරියාව සහ එහි නායකයා එක්සත් ජාතීන් හා බටහිර රටවල් විසින් පැනවූ දැඩි සම්බාධකවලට වසර ගණනක් තිස්සේ මුහුණ පා සිටියි.
නමුත් සම්බාධක මඟහැරීම සඳහා කිම් ජොන් අන් ඔහුට හැකි සෑමදේම සිදුකරන බව ආචාර්ය හවෙල් කියයි.
"රෙජීමයේ පාවිච්චිය සඳහාම නිර්මාණය කරපු විශේෂ අරමුදලක් [slush fund - එනම්, වෙන්කර තබන ලද, කිසිදු විශේෂ අරමුණක් සඳහා වෙන් නොකළ මුදල් සංචිතය] මේ රටට තියෙනවා. මේක දිගටම පවත්වාගන්න කිම්ට ඕන කරනවා, මොකද ඔහුත් ඔහුගේ පවුලත් දිගටම සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන එක ඔහුට ඕන කරන නිසා."
උතුරු කොරියාවට මුදල් සැපයීමට කැමති රටවල් ජාලයන් ලොව පුරා තිබෙන බව ආචාර්ය හවෙල් විශ්වාස කරන අතර, එරටට මුදල් ලැබෙන වෙනත් ක්‍රමයන් ද ඇතැ යි චෝදනා එල්ලවී තිබේ.
"මිනිස්සු ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවා උතුරු කොරියාව කියන්නේ ඉන්ටර්නෙට් පවා නැති, හුදෙකලා රටක් කියලා. [නමුත්] ඒ රටට රාජ්‍යයෙන් සපයන අන්තර්ජාල සේවාවක් තියෙනවා වගේම, සයිබර් යුද්ධය වැදගත් උපායමාර්ගයක්බවට පත්වෙලා තියෙනවා: ඒ රටේ ආර්ථිකය යි, න්‍යෂ්ටික වැඩසටහන යි නඩත්තු කරන්න පුළුවන් වෙන්න, කිම්ගේ රෙජීමය අනෙක් රටවල පරිගණක පද්ධති හැක් කරලා සල්ලි හොරකම් කරනවා," ආචාර්ය හවෙල් ප්‍රකාශ කරයි.
5. කිම් ජොන් අන් ඔහුගේ ජනතාව ගැන සිතනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
2020 වසරේ හමුදා පෙළපාලියක දී සිදුකළ කතාවකින්, අපට උත්තරීතර නායකයාගේ වෙනස් පැතිකඩක් දිස්විය.
ඔහු වසංගතය හා එකල සිදුවූ ස්වභාවික ආපදාවලට එරෙහිව හමුදාව ගත් ප්‍රයත්නයන් සඳහා ස්තුති කළේ ය. එක් මොහොතක දී, ඔහු රට මුහුණ පා ඇති දුෂ්කරතා ගැන කතා කරමින් කඳුලක් ද පිසදැම්මේ ය. එය උතුරු කොරියානු නායකයෙකු හැඟීම් පළකළ විරල අවස්ථාවකි.
රට උග්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින විට පවා ඔහු නිහතමානීබව පෙන්වීමට උත්සාහ කරතැ යි ඇතැම් නිරීක්ෂකයින් යෝජනාකර තිබේ.
ඒ කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයාගේ සුඛෝපභෝගී ජීවන රටාව ගැන පරීක්ෂා කළ විට පෙනෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ යමකි.
කිම් ජොන් අන්, ඔහුගේ මුත්තණුවන් වන කිම් ඉල් සුන් විසින් ඇරඹි, සුඛෝපභෝගී දුම්රිය මඟින් දුර ගමන් යෑමේ සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන යයි.
2001 සවාරියක දී කිම් ජොං ඉල් හා ගමන් කළ රුසියානු හමුදාපතිවරයෙක්, ඔහුගේ 'ඔරියන්ට් එක්ස්ප්‍රස්' නම් අපදානය තුළ එහි සමෘද්ධිමත්බව ගැන කතාකළේ ය.
"රුසියානු, චීන, කොරියානු, ජපන්, හා ප්‍රංශ සූපශාස්ත්‍රයට අයත් ඕනෑම ආහාරයක් ඇනවුම් කිරීමේ හැකියාව තිබුණි," ඔහු සටහන් කළේ ය. පණ සහිත පොකිරිස්සන් ද, කීර්තිමත් බෝඩෝ සහ බර්ගන්ඩි වයින් ද පැරීසියේ සිට ගුවනින් ගෙන්වා තිබුණි.
මෙයත්, පුද්ගලික ගුවන් යානා ද ඇතුළු අනෙකුත් සුඛෝපභෝගී ප්‍රවාහන ක්‍රමත්, උතුරු කොරියානු ජනයාගේ දිළිඳු ජීවන රටාවට සාපේක්ෂව වඩාත් තියුණු අසමතාවක් පින්තාරුකර පෙන්වයි.
ආහාර කෙතරම් හිඟ ද යත් ඔවුන්ගේ අසල්වැසියන් හාමතෙන් මියගියබව උතුරු කොරියාවේ ජනයා බීබීසීයට පවසා ඇත. තත්ත්වය 1990 ගණන්වල සිට පැවති පරිදිම දරුණුතම අඩියක පවතිනබව විශේෂඥයින් පවසයි.
කිම්ගේ ප්‍රමුඛතාවන් ගැන මෙයින් පැවසෙන්නේ කුමක්ද?
"ඔහුට ඕනෑ කරන්නෙ ඔහුගෙ රෙජීමය විතරක් නෙවේ, ඔහුගෙ පීඩාකාරී, ක්‍රෑර නායකත්වයත් රැකගන්න එක යි. ඔහු ඔහුගෙ රටේ මිලියන 26ක ජනකාය ගැන සැලකිල්ලක් දක්වනවා කියලා පේන්නෙ නැහැ," ආචාර්ය හවෙල් කියයි.
"මේක ඉදිරියට යෑමේ ශක්‍ය උපායමාර්ගයක් කියල ද ඔහු හිතන්නේ?"












