'මිනිස්සු ගැන මිසක් කෑමබීම ගැනවත් හිතුවේ නෑ': ටික් ටොක්වලින් දැනුම බෙදූ PHI තරිඳු ධම්මිකගේ අකල් මරණය

ඡායාරූප මූලාශ්‍රය, Gihan Malinda
රට ම වෙළාගත් කොරෝනා වෛරසයේ බිය කෙමෙන් පහව යද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භූමිකාව ජනතාවගේ අවධානයෙන් ගිලිහෙමින් පවතිද්දී එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති බව සමාජ මාධ්‍යවලින් පෙනී යයි.
එම අවධානය යොමු වී ඇත්තේ, 'ටික් ටොක්වලින් රටකට දැනුම බෙදූ PHI මහත්තයා,' ලෙස ජනාදරයට පත්ව සිටි තරිඳු ධම්මික කෙරෙහිය.
රටේ ජනතාව කොවිඩ් මාරයාගෙන් බේරා ගැනීම සඳහා රාජකාරියට අමතරව නව තාක්ෂණය ඔස්සේ ද "දිවා රෑ නොබලා" සේවය කළ ඔහුට තමන්ගේ ජීවිතය මාරයාගෙන් බේරා ගැනීමට නොහැකි වී ඇත.
33 හැවිරිදි ඔහු බ්‍රහස්පතින්දා (දෙසැ: 15) හදිසියේ මිය ගියේ, වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් බව කොළඹ ජාතික රෝහල පවසයි.
2014/2015 මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමේ පුහුණුව ලැබූ ඔහු වසර 7ක් පමණ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළේය.
මිය යන විට ඔහු සේවය කරමින් සිටියේ, කළුතර සේරුපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසය.
බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු විවාහ වී ඇත්තේ, මීට වසර එක හමාරකට පමණ ඉහතදීය.
තරිඳු ධම්මික කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබූ 2020 මැයි මාසයේ සිට යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරමින් ජනතාව විවිධ කරුණු පිළිබදව දැනුවත් කිරීමට යොමු වී තිබේ. ඊට අමතරව ටික් ටොක් සමාජ මාධ්‍යය ද ඔහු සිය දැනුවත් කිරීමේ මාධ්‍ය ලෙස භාවිත කළේය.
මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of YouTube post
ඔහුගේ අකල් මරණය පිළබදව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් ශෝකය පළ කර තිබිණි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහුගේ භූමිකාව සොයා යාමේදී ඔහු සමග සමීපව කටයුතු කළ දෙදෙනෙකු අපට මුණ ගැසිණි.
ඉන් එක් අයෙකු ඔහු සමග මෑතක් වන තුරු කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එකට සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි.
ගිහාන් මලින්ද යනු කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන කළුතර නාගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාය.
"ධම්මික කියන්නේ තමන්ගේ සෞඛ්‍යය ගැන නොසිතා ජනතාවට සේවය කරන්න කැපවුණු දුර්ලභ මනුස්සයෙක්. කොරෝනාවෛරසයෙන් ජනතාව බේර ගන්නත්, ඔවුන්ව ඒ ගැන දැනුවත් කරන්නත් එයා ගොඩක් මහන්සි වුණා. එයා ජනතාව ගැන කොයිතරම් හිතුවත් තමන්ගේ ජීවිතය ගැන හිතුවේ නැහැ. ඒකත් හේතු වෙන්න ඇති මේ මරණයට," ගිහාන් මලින්ද පැවසීය.
"එයා දවල්ට කෑම ගත්තේ හවස 3ත් පහු වෙලා ගොඩක් වෙලාවට. ඒ වගේ ම සේවය කරන්න ගියා ම කෑමබීම ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. පුළුවන් හැම වෙලාවෙ ම තමන්ගේ රාජකාරිය කරන්නයි කැප වෙලා හිටියේ. තමන්ගේ වියදමින් ඩේටා පාවිච්චි කරලා ටික් ටොක්, යූ ටියුබ් වගේ සමාජ මාධ්‍යවලින් ජනතාව දැනුවත් කරන්නත් ඔහු මහන්සි වුණා."
බණ්ඩාරගම පදිංචි තරිඳු ධම්මික කළුතර බෝඩිමක නවාතැන් ගෙන සිට ඇත්තේ, බොහෝ විට මැදියම් රෑ වන තුරු රාජකාරී කටයුතුවල නිරත වූ නිසා බව ගිහාන් මලින්ද පැවසීය.
"බණ්ඩාරගම ඉදලා කළුතරට තියෙන්නේ පොඩි දුරක්. ඒත් ධම්මික කළුතර බෝඩ් වෙලා හිටියේ, වැඩි වෙලාවක් රාජකාරියට යොදවන්න ඕන නිසයි. ඔහු ගොඩක් වෙලාවට බෝඩිමට ආවේ ගොඩක් රෑ වෙලා. හැම තිස්සෙ ම කිව්වේ කොරෝනාවෛරසයෙන් මිනිස්සු පුළුවන් තරම් බේර ගන්න ඕන කියලයි. එයාට වකුගඩුවක් බද්ධ කරන්න ඉන්න අතරේ තමයි මේ මරණය සිද්ධ වුණේ."

ඡායාරූප මූලාශ්‍රය, Gihan Malinda
බීබීසී සිංහල සේවයට ඔහු පිළිබදව අදහස් දැක්වූ දෙවැන්නා වූයේ, දැනට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනියක ලෙස සේවය කරන මධූ ද සිල්වා ය.
ඇය කළුතර හෙද අභ්‍යාස විද්‍යාලයේ හෙද නිලධාරිනියක ලෙස පුහුණුව ලබද්දී තරිඳු ධම්මික ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස එම ආයතනයේ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව ලබා තිබිණි.
"ධම්මික අයියා තමයි අපට හැම තැනකදී ම උදව් කළේ. එයා ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කළා. ගොඩක් දේවල් සංවිධානය කරලා ගොඩක් වැඩ කරපු නිසා ධම්මික කිව්වා ම නොදන්න කෙනෙක් නෑ. එයා හැම තිස්සේ ම හිනා වෙලා හිටිය ගොඩක් සමාජශීලී කෙනෙක්," මධූ ද සිල්වා පැවසීය.
ඇය පැවසූ පරිදි තරිඳු ධම්මික වකුගඩු රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත්තේ, මීට වසරකට පමණ පෙරදී ය.
"එයා අසනීප වෙලා ඉන්නකොට මම එයාට කතා කළා. ඒ කාලේ මම මන්නාරමේ වැඩ කරපු නිසා මට ගිහින් බලන්න බැරි වුණා. ඒ කතා කරපු වෙලාවේ ලෙඩේ ගැන එයාට ලොකු බයක් තිබුණෙ නෑ. පස්සේ කීප වතාවක් ම අසනීප වෙලා රෝහල්ගත කළා. එයා නැති වුණ එක රටට ලොකු පාඩුවක්. ඒ වගේ සේවයට කැප වුණු ජනතාව ගැන හිතන අය හරි ම විරලයි," මධූ ද සිල්වා පැවසීය.












