ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුල්බදාන් බෙගම්: නිර්භීත මෝඝල් කුමරියගේ වීර චාරිකාව
1576 වර්ෂයේ සරත් ඍතුවේ දිනක, මෝඝල් කුමරියක්, රාජකීය කාන්තාවන් සමූහක් ද සමගින් පෙර නොවූ විරූ මක්කම සහ මෙදීනා නගර කරා චාරිකාවක නිරත වූවාය.
ඉස්ලාම් ධර්මයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකෙන හජ් නම් පූජනීය වන්දනාව සඳහා ඉන්දීය මෝඝල් අධිරාජ්‍යයේ කාන්තාවක සහභාගි වූ පළමු අවස්ථාව එය විය.
වයස අවුරුදු 53 පසුවෙද්දී, මෝඝල් අධිරාජ්‍යයේ නිර්මාතෘ බාබූර්ගේ දියණිය වූ ගුල්බදාන් බෙගම් සහ රාජකීය මාලිගයේ කාන්තාවන් 11 දෙනෙක් - ෆතේපූර් සික්‍රිහි පිහිටි අන්තඃපුරයේ සීමාවෙන් පිටවී වසර හයක් පුරා දිවෙන චාරිකාවක් සඳහා පිටත් වූහ.
කෙසේ වෙතත්, මෙම අපූරු ගමන පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛන අතුරුදහන් වී ඇත්තේ, කාන්තා සංචාරකයින්ගේ සහ ඔවුන්ගේ වන්දනාවේ "විනීතභාවය සහ පරිශුද්ධභාවය" ආරක්ෂා කිරීමට උනන්දු වූ පිරිමි රාජකීය ඉතිහාසඥයින් විසින් අතපසු කරන ලද ක්‍රියා නිසා විය හැකි බව ඉතිහාසඥයෝ පවසති.
කර්තෘවරියක සහ ඉතිහාසඥවරියක වන රූබි ලාල් ඇගේ ග්‍රන්ථයෙහි සඳහන් කර ඇති පරිදි, ගුල්බදාන්ගේ මක්කම වන්දනාව නිර්භීත සහ කරුණාවන්ත ක්‍රියාවලින් පමණක් නොව, විප්ලවීය ක්‍රියාවලින් ද යුක්ත විය. ඇගේ Vagabond Princess: The Great Adventures of Gulbadan නමැති ග්‍රන්ථය මෑතකදී ඉන්දියාව තුළ නිකුත් කෙරුණු අතර මෙම පෙරබරවාරි මස අගදී ජාත්‍යන්තර වශයෙන් නිකුත් කෙරිණි.
ගුල්බදාන්, මෝඝල් අධිරාජ්‍යයේ ප්‍රථම සහ එක ම කාන්තා ඉතිහාසඥවරිය ලෙස සලකනු ලැබුව ද, හුමායන්-නමාහි ඇගේ ජීවිත අත්දැකීම් විස්තර කර ඇති නමුත්, ඇගේ චාරිකාව පිළිබඳ විස්තර ඉතා අල්ප වීම කුතුහලය දනවන සුලුය. සැබවින් ම, පිටු කිහිපයක් අතුරුදන් වී ඇති ඇගේ ග්‍රන්ථය අසම්පූර්ණය.
"ගුල්බදාන් ලියමින් තිබුණේ රාජකීයයන් විසින් රචනා කරන ලද කෘති පිටපත් කිරීම වංශකතාකරුවන් විසින් බහුලව සිදු කරමින් සිටි කාලයකයි. ඒත්, ගුල්බදාන්ගේ පොතේ එක සම්පූර්ණ පිටපතක්වත් නෑ," ඔටෝමාන් ඉතිහාසය, පර්සියානු සහ මෝඝල් අත්පිටපත් සහ වෙනත් විවිධ මූලාශ්‍ර ගැඹුරින් අධ්‍යයනය කරමින් මෝඝල් කුමරියගේ චාරිකාවේ නොපැහැදිලි තොරතුරු එකතු කළ රූබි ලාල් පවසයි.
"එවන් බලගතු ගැහැනියකගේ සුවිශේෂී චාරිකාව වටා ඇති නිහඬතාව ගොඩක් දේවල් පිළිබඳව ඉඟි කරනවා," ලාල් පවසයි.
ගුල්බදාන් - රෝස පැහැති සම යනුවෙන් දළ වශයෙන් පරිවර්තනය කළ හැකි - 1523 වසරේදී කාබුල්හිදී උපත ලැබුවේ, බාබූර් අධිරාජ්‍යයාගේ තෙවන වයස්ගත ම බිරිඳ වූ දිල්දාර් බෙගම්ට දාවය. ඇය උපත ලැබූ කාලයේ, ඇගේ පියා සැතපුම් ගණනක් ඈතින් සිටි අතර, එවකට ඉන්දියානු උපමහාද්වීපය ලෙස හැඳින්වූ හින්දුස්ථාන් අල්ලා ගැනීමට සැලසුම් කරමින් සිටියේය.
ඔහු සටන් වැදුණු බොහෝ යුද්ධ අතරේ ඔහු කළ කෙටි සංචාර අතරතුර කුමරිය සිය පියා දැකීමට හුරුපුරුදු විය. මෙම ඈත්වීම ඇගේ පවුලේ බලවත් මිනිසුන් වූ ඇගේ පියා, ඇගේ අර්ධ-සොහොයුරු හුමායුන් සහ පසුව ඇගේ බෑණණුවන් වූ අක්බර් සමග පැවති ඇගේ සබඳතා සියල්ල ම පාහේ සංකේතවත් කරනු ඇත.
පිරිමින් දුර බැහැර රටවල ආධිපත්‍යය අත්පත් කර ගැනීම සඳහා ලේ වගුරුවන සටන් කරමින් සිටියදී, ගුල්බදාන් හැදී වැඩුණේ අධිරාජයාගේ මව, නැන්දණියන්, සහෝදරියන්, ඔහුගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දියණියන් වැනි ශක්තිමත් කාන්තාවන් සමගය. ඔවුහු රජවරුන්ගේ සහ කුමාරවරුන්ගේ විශ්වාසවන්තයින් සහ උපදේශකයින් ලෙස කටයුතු කරමින් රාජාණ්ඩු කටයුතුවලදී වැදගත් භූමිකා ඉටු කළහ.
මෙම කුඩා කුමරියගේ ළමා කාලය ද චාරිකාවන්ගෙන් යුක්ත විය. හය හැවිරිදි වියේදී, ඇය, සිය පියා අග්‍රා රාජ්‍යය අත්පත් කර ගැනීමෙන් පසුව, කාබුල් සිට අග්‍රා දක්වා සංචාරය කළ පළමු මෝඝල් දැරිය බවට පත්විය. ඇෆ්ගනිස්ථාන රජු ෂර් ෂා සූරි විසින් ඇගේ පවුල හින්දුස්ථානයෙන් පලවා හරිනු ලැබීමෙන් පසු විවාහක කාන්තාවක ලෙස ඇය සිය ළමා කාලය ගත කළ කාබුල් වෙත ආපසු සංචාරය කළාය.
මෙම චාරිකා මාස ගණනාවක් පුරා පැවති අතර, ගුල්බදාන් සහ සෙසු රාජකීය කාන්තාවෝ කූඩාරම්වල කඳවුරු බැඳගෙන, පාළු කඳුකරය හරහා අශ්වයන් පිට නැගී, සතුරන්ට, සොරුන්ට බිය නොවී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගමන් කළහ.
"මෝඝල් කාන්තාවන් පුරුදු වෙලා හිටියේ චක්‍රාකාර ජීවන රටාවකට," ලාල් පවසයි. "ඔවුන් පිරිමින් සමග යුද්ධ භූමි කරා ගමන් කරමින් නිරන්තරයෙන් නව ස්ථාන වෙත සංක්‍රමණය වෙමින් හෝ තාවකාලික කඳවුරුවල ජීවත් වුණා."
1500 ගණන්වල අග භාගයේදී හජ් වන්දනාවට යාමට මෝඝල් කුමරිය ඇගේ බෑණණුවන් වූ අක්බර්ගෙන් අවසර ඉල්ලා සිටීමට හේතු වූයේ, සංචාරය කිරීමට තිබූ කැමැත්ත බව ලාල් පවසයි.
අක්බාර්ගේ ප්‍රධානතම අරමුණ වූයේ, මෝඝල් රාජවංශයේ ආධිපත්‍යය ස්ථාපනය කිරීම වූ අතර, හින්දුස්ථානය තුළ මෙම ඉලක්කය කරා ගමන් කරද්දී, ඔහු "පාරිශුද්ධ චරිතයක්, අසමත් නොවන ආධ්‍යාත්මික අධිකාරියක් ලෙස පෙනී සිටීමට පටන් ගත්තා," යනුවෙන් ලාල් සිය ග්‍රන්ථයේ ලියා තිබේ.
සියලු මෝඝල් කාන්තාවන් පවුරකින් වට වූ අන්තඃපුරයක හුදකලා කිරීමට නියෝග කළ පළමු මෝඝල් පාලකයා බවට ද ඔහු පත්විය.
"තේජාන්විත සහ ස්පර්ශ කළ නොහැකි කාන්තාවන් වෙසෙන අධිරාජයාට පමණක් ඇතුළු විය හැකි ආරක්ෂිත රාජකීය අන්තඃපුරය... ඔහු දේවත්වයට ආසන්න බව තහවුරු කිරීමට හේතුවක්," ලාල් ලියා තිබේ.
එහෙත්, මෙම එකතැනක සිරවී සිටීම ගුල්බදාන් නොඉවසූ වූ අතර 1576 ඔක්තෝබර් මාසයේදී ඇය සහ සෙසු රාජකීය කාන්තාවන් මක්කම වන්දනාව සඳහා පිටත් වූයේ, ඇය දෙවියන්ට භාරයක් වූ බව අක්බර්ට පවසමිනි.
අක්බර් ඔහු විසින් සකසන ලද පළමු මහා මෝඝල් නෞකා දෙක වූ සලිමි සහ ඉලාහි, ඔවුන්ගේ මුහුදු ගමන සඳහා යෙදවීය. රාජකීය කණ්ඩායම දන් දීම සඳහා රිදී සහ රන් කැබලි පුරවා ඇති රන් ආලේපිත මංජුසා, රුපියල් දහස් ගණනක් වටිනා මුදල් සහ "ගෞරවණීය ඇඳුම්" ද රැගෙන ගියහ.
"සාමාන්‍ය පිරිමින් සහ ගැහැනුන්, මහලු තරුණයන් සහ දරුවන්, කාන්තාවන් පිටත්ව යන පෙරහර නැරඹීම සඳහා මෝගල් අගනුවර වන ෆතේපූර් සික්‍රිහි රතු පැහැති වැලිගල් ඇතිරූ වීදි දිගේ පෙළ ගැසී සිටි," බව ලාල් සිය ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ.
එහෙත්, ගමන ආරම්භයේ සිට ම අවදානම්සහගත විය. මක්කම වෙත දිවෙන මුහුදු මාර්ගය, මුස්ලිම් නැව් ගිනි තබා කොල්ලකෑම සම්බන්ධයෙන් කුප්‍රකට වූ පෘතුගීසීන්ගේ අණසකට යටත්ව පැවතිණි. සංචාරකයින්ට පහර දුන් සටන්කාමී කණ්ඩායම්වලට රැකවරණය දුන් බවට ප්‍රසිද්ධ වී තිබූ පර්සියාව හරහා ඇදුණු ගොඩබිම් මාර්ගය ඒ හා සමානව අනාරක්ෂිත විය.
ගුල්බදාන් සහ ඇගේ කණ්ඩායම පෘතුගීසීන්ගෙන් ආරක්ෂිත ගමනක් සඳහා අවසර ලබා ගැනීමට පෙර වසරකට ආසන්න කාලයක් සූරත් වරායේ අතරමං වී සිටියහ. ඔවුන් අරාබි මුහුදේ සති හතරක් පුරා යාත්‍රා කරමින් ජෙඩා වෙත ළඟා වූ අතර, මක්කමට ළඟා වූයේ උෂ්ණ කාන්තාර මැදින් දින ගණනක් පුරා ඔටුවන් මත ගමන් කරමිනි.
එහෙත්, ගුල්බදාන්ගේ ගමනේ වඩාත් ම සිත්ගන්නාසුලු පියවර වූයේ, ඇය මක්කම සංචාරය කිරීමෙන් පසුව ඇය සහ ඇගේ කණ්ඩායම ඉදිරි වසර හතරේදී අරාබියේ නැවතී සිටීමට තීරණය කළ බැවිනි.
"අන්තඃපුරයෙන් පිටවීමට ඒකමතිකව තීරණය කළ ඔවුන්, කාන්තාර දේශවල රස්තියාදුකාරයන්, තාවකාලික පදිංචිකරුවන් වීමට තීරණය කිරීමේදීත් එකමුතු වුණා," ලාල් සිය ග්‍රන්ථයේ ලියයි.
මෙහිදී ගුල්බදාන් සහ ඇගේ කණ්ඩායම දානය, කාසි සහ වෙනත් භාණ්ඩ බෙදා දුන් අතර එය නගරයේ කතාබහට ලක් විය. මෝඝල් කුමරියගේ කරුණාවන්තභාවය, අක්බර් අධිරාජයාගේ දේශපාලන බලය විදහා දක්වන සාක්ෂියක් ලෙස දුටු පාලක ඔටෝමන් සුල්තාන්වරයා වූ මුරාද් කෝපයට පත් විය.
එහෙයින්, සුල්තාන්වරයා සිය ජනතාවට නියෝග හතරක් යවමින්, ගුල්බදාන් සහ මෝඝල් කාන්තාවන් අරාබියෙන් නෙරපා හරින ලෙස නියෝග කළේය.
ඒ සෑම අවස්ථාවකදී ම, ගුල්බදාන් ඉන් පිටව යාම ප්‍රතික්ෂේප කළාය.
"ඒක මෝඝල් කාන්තාවකගේ පෙර නොවූ විරූ කැරැල්ලක්," ලාල් පවසයි. "ගුල්බදාන් ඇගේ නිදහස වෙනුවෙන් තිබුණ ආශාවට කෙතරම් කැපවී සිටියා ද කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා."
අවසානයේ, ඇගේ මුරණ්ඩුකම ගැන කෝපයට පත් වූ සුල්තාන්වරයා, එම කාන්තාවන්ට එරෙහිව ඔටෝමාන් තුර්කි බසින් - නා-මෙෂ්රු (නුසුදුසු හෝ වැරදි ක්‍රියාවක්) යන වංචනික යෙදුම භාවිත කළ අතර, එය අක්බර්ගේ අප්‍රසාදයට හේතු වන තරමට දරුණු වූ බව සැලකේ.
පස් වන නියෝගයෙන් පසුව, 1580 වසරේදී ගුල්බදාන් සහ ඇගේ කණ්ඩායම අරාබියෙන් පිටත් වූ අතර 1582 වසරේදී ෆතේපූර් සික්‍රි සිට කිලෝමීටර් 60ක් (සැතපුම් 37) බටහිරින් පිහිටි ඛාන්වා වෙත ළඟා විය.
ඇය ආපසු පැමිණි පසු, ගුල්බදාන් පාලකවරියක ලෙස ප්‍රශංසාවට ලක් වූ අතර, අක්බර්නාම් නමැති අක්බර්ගේ රාජවංශයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ වංශ කතාවේ එක ම කාන්තා දායකයා වීමට අක්බර් විසින් ඇයට ආරාධනා කරන ලදී.
කෙසේ වෙතත්, අක්බර්නාම් වංශ කතාවේ මුළු කොටසක් ම ගුල්බදාන්ගේ මක්කම චාරිකාව වෙනුවෙන් වෙන් කර තිබියදීත්, ඇය අරාබියේ ගත කළ කාලය සහ සුල්තාන් මුරාද්ගේ විරෝධය පිළිබඳව ග්‍රන්ථයේ හෝ වෙනත් තැනක සඳහන් නොවේ.