ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැද පෙරදිග 'සටන් හැකි ඉක්මනින් නවත්වන්නැයි' විලියම් කුමරුගෙන් ඉල්ලීමක්
- Author, ෂෝන් කොග්ලන්
- Role, රාජකීය වාර්තාකරු
ඊශ්‍රායල-ගාසා ගැටුමට දැඩි වාචික මැදිහත් වීමක් කරමින් "හැකි ඉක්මනින් සටන් අවසන් කරන ලෙසට" විලියම් කුමරු ඉල්ලා තිබේ.
"හමාස් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දා සිට මැද පෙරදිග ගැටුමින් සිදුවූ බිහිසුණු මිනිස් ජීවිත හානිය" පිළිබඳව ඔහු එහිදී අදහස් පළ කර ඇත.
"ගාසා තීරයට ලැබෙන මානුෂීය සහය හැකි ඉක්මනින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පවතින බව ත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය බව ත් විලියම් කුමරු පවසයි.
ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, ලන්ඩනයේ බ්‍රිතාන්‍ය රතු කුරුස සංවිධානයට පැමිණි අවස්ථාවේදී ය.
කුමරුගේ ප්‍රකාශය සහ ඔහුගේ සංචාරයන් පිළිබඳව විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලය හරහා රජයට දන්වා ඇති බව දැනගන්නට ඇත.
මැද පෙරදිග ගැටුමට මැදිව සිටින මිනිසුන්ට උපකාර කිරීමට ක්‍රියාත්මක මානුෂීය ප්‍රයත්නයන් ගැන රතු කුරුස සංවිධානයේ සේවකයින් විසින් කරන ලද දැනුවත් කිරීමෙන් පසු කුමරු පැවසුවේ, "විශාල ගණනක් මරා දමලා," යනුවෙනි.
කුමරු ගාසාහි සිටින රතු කුරුස කාර්ය මණ්ඩලය සමග වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වුණු අතර එහිදී ඔවුහු ඔවුන්ගේ කාර්යය පිළිබඳ අත්දැකීම් ඔහු හා ඍජුව බෙදා ගත්හ.
එහිදී ඔහුට [ගාසා තීරයෙන් වැසියන්ට] ලබා දෙන වෛද්‍ය ආධාර ගැන මෙන් ම, ජීවිත අහිමි වීම් හා භෞතික සම්පත් විනාශ වීමෙන් කම්පනයට පත් වූවන් සඳහා "මනෝ-සමාජයීය" මානසික සෞඛ්‍ය උපකාර ලබා දෙන ආකාරය ගැන අසන්නට ලැබිණි.
"මානුෂීය තත්ත්වය දිගින් දිගට ම පිරිහීමත් එක්ක වන්දි ගෙවන්නේ සිවිල් ජනතාව," බ්‍රිතාන්‍ය රතු කුරුස සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී බියට්‍රිස් බුට්සානා-සීතා පැවසුවා ය.
විලියම් කුමරු මේ මාසයේ සිය සංචාරය සිදු කරනු ලබන්නේ, ඊශ්‍රායල-ගාසා යුද්ධයෙන් මිනිසුන්ට අත්විඳීමට සිදුවී ඇති දුක්-පීඩා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ය.
මැද පෙරදිග සිදුවීම් සම්බන්ධයෙන් ඔහු දැඩි වේදනාවකින් පසුවන බව කියනු ලබන අතර "පියෙකු ලෙස එම සිදුවීම් ඔහුට ඉතා තදින් දැනී" ඇතැයි ද කියනු ලැබේ.
"සමහර වෙලාවට මිනිස්සු උපරිමයෙන් දුක් විඳිද්දී තමයි ස්ථිර සාර සාමය මොන තරම් වැදගත් ද කියලා තේරෙන්නේ," කුමරු පවසයි.
මෙම මස අගදී සිනගෝගයක් වෙත සිදුකරන තවත් සංචාරයකදී විලියම් කුමරු විවිධ පසුබිම්වලින් පැමිණෙන තරුණ තරුණියන් සමග සංවාදයක යෙදීමට නියමිත ය. එම හමුවේදී යුදෙව් විරෝධී ක්‍රියාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
විවිධ විශ්වාසයන් දරන පුද්ගලයින් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, ආගමික නොඉවසීම පාලනය කිරීම කුමරුගේ පියා වන තුන්වන චාල්ස් රජුගේ සුවිශේෂී අරමුණු අතර විය.
නමුත් මේ මස මුලදී රජුට පිළිකාවක් වැළඳී ඇතැයි හඳුනා ගත් දා සිට ඔහු එවැනි මහජන සංචාරය සිදු කළේ නැත.
පසුගිය ඔක්තෝබර් මාසයේදී රජු මැද පෙරදිග ගැටුම් නිසා සිදුවන "හදවත කම්පා කරවන ජීවිත හානිය" පිළිබඳව අදහස් දැක්වූ අතර විවිධ විශ්වාස සහ සංස්කෘතීන් සඳහා ගෞරව කරන ලෙසට හෘදයාංගම ඉල්ලීමක් කළේ ය.
එමෙන් ම ඔහුගේ නත්තල් දින පණිවිඩයේ, "ඛේදනීය ගැටුම්" පවතින අවස්ථාවක, ආගම් විසින් බෙදාහදා ගනු ලබන ඒවා අභ්‍යන්තරයේ පවතින විශ්වීය වටිනාකම් ගැන ඔහු කතා කළේ ය.
නමුත් රජු පිළිකා ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ එවැනි මහජන මැදිහත්වීවලින් ඉවත් වීමත් සමග විලියම් කුමරු ඒ ආකාරයේ සංකේතාත්මක සහ සංවේදී සංචාරවල යෙදෙන ජ්‍යෙෂ්ඨ රාජකීයයන් අතරට එක්වනු ඇත.