ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙනදුන් තර්ජිනී 'හැඟුම්බර හදවතකින්' කණ්ඩායමට සමු දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ලොව උසින් වැඩි ම නෙට්බෝල් ක්‍රීඩිකාව" ලෙස සැලකුණු තර්ජිනී ශිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ලෝකයේ නෙට්බෝල් කණ්ඩායම්වලට තර්ජනයක් වී සිටි තර්ජිනී ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදීමට තීරණය කර අවසන් ය.
සිය සමුගැනීම සනිටුහන් කරමින් ඇය සිය නිල ෆේස්බුක් පිටුවෙහි තබා තිබූ සටහන මෙසේ ය.
"ස්තුතියි ශ්‍රී ලංකාව,
මා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරමි. කෙසේ වෙත ත්, මගේ ක්‍රීඩා ජීවිතය විදෙස්ගතව දිගට ම පවත්වාගෙන යාමට කටයුතු කරමි.
මම මේ තීරණය ගත්තේ දැඩි හදවතකින්. කෙසේ වෙත ත්, මම තීරණය ගෙන ඇත්තේ, සුදුසු ම කාලයේ බව මට හැඟේ.
මෙම විශ්‍රාම ගැනීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ත් සමග මගේ ආදරණීය ලංකා සගයන් සමග මා බෙදාගත් ප්‍රීතිය කිසි දා අමතක නොකරමි.
- ජෙනී"
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
2004 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිය හදාරමින් සිටියදී විශ්වවිද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ තර්ජිනී, එහිදී දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා දැල් පන්දු පුහුණුකාරිය වන තිලකා ජිනදාසගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා ය.
"මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ වවුනියාවේ තිබුණා විවෘත දැල් පන්දු තරගාවලියක්. ඒකට විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මම සහභාගි වුණා. නෙට්බෝල් සංගමයේ නිලධාරීන්, පුහුණුකරු වගේ ම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවෝ ඒ තරග බලන්න ඇවිත් හිටියා. ඒ අය මගේ විශේෂ උස දැකලා මට කොළඹ එන්න කිව්වා නෙට්බෝල් පුහුණු වෙන්න," 2019 වසරේදී තර්ජිනී බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
අඩි 6 අඟල් 11ක අසාමාන්‍ය උසකින් යුතු ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල විදින්නිය ලෙස ක්‍රීඩා කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අසමසම දක්ෂතා
2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩි ම ගෝල ප්‍රමාණය රැස් කර ගත් ක්‍රීඩිකාව බවට තර්ජිනී පත්වූයේ, ගෝල 348ක් රැස් කරමිනි.
තර්ජිනී, 2011 වර්ෂයේ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍ර විය.
2011 ලෝක කුසලාන තරගාවලියේදී තර්ජිනී ගෝල 296ක් ලබා ගත් අතර එවර ගෝල දැමීමේ නිරවද්‍යතාව 98%ක් විය.
ඇය 2009 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියට එක්වූ අතර එම වසරේ ත්, 2018 සහ 2022 වසරවල ත් ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
ඇය ක්‍රීඩා කළ 2012, 2014 සහ 2016 වසරවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු අනුශූරියන් බවට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෞද්ගලික තොරතුරු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තර්ජිනී ශිවලිංගම්, 1978 වසරේ දෙසැම්බර් 30 වන දා යාපනය, පුන්නාලයිකඩ්ඩුවාන්හි උපත ලැබූ අතර මේ වන විට 44 හැවිරිදි ය.
තර්ජිණීගේ උස අඩි 6ක් සහ අඟල් 11ක් විය.
ඇය කුඩා අවධියේ යාපනයේ ගත කළ පාසල් සමය සතුටුදායක එකක් නොවී ය. ඒ, ඇගේ උස හේතුවෙන් ඇය සරදම්වලට ලක්වූ නිසා ය.
"මම ඉස්කෝලේ ගියේ යාපනයේ. අපි ගමක ජීවත් වුණේ. ඒ දවස්වල මම ගමෙන් නගරයට යන්නවත් කැමති නැහැ. උස නිසා මගේ දිහා මිනිස්සු අමුතු විදියට බලනවා. එක එක දේවල් කියනවා. ඒ කාලේ මම මගේ උස ගැන ගොඩක් දුක් වුණා. ඒ නිසා සරදමට ලක්වුණා," යනුවෙන් ඇය පවසා තිබිණි.
ඇයට සිය ජීවිතය සංකීර්ණ එකක් බවට පත් කළේ, උස පමණක් නොවේ. වසර ගණනක් පැවති සිවිල් යුද්ධය නිසා ඇයට සිය පවුලේ සාමාජිකයින් සමග වරින්වර යාපනයට ත්, මහනුවරට ත් මාරු විය යුතු විය.
දරුවන් 6 දෙනෙකුගෙන් යුතු පවුලක පස් වැන්නා ලෙස තර්ජිනී උපත ලැබුවා ය. ඇගේ පියා මිරිස් ගොවියෙකු විය.
කෙසේ වෙත ත්, දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ද සමත් වූවා ය.
ඇගේ ජීවිතය උඩුයටිකුරු කරමින් ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදා වූයේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිටි කාලය අතරතුරදී ය.
කුඩා කාලයේ උස නිසා සරදමට ලක්ව උසට ශාප කළ ඇය, පසු කලෙක ඒ උස නිසා ම ජාත්‍යන්තරය ජය ගැනීමට සමත් වූවා ය.
කණ්ඩායමෙන් ඉවත් කිරීම
2011දී ලොව හොඳ ම දැල්පන්දු ක්‍රීඩිකාවන් අතරට එක් වුණ ද 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කණ්ඩායමට ඇය ඇතුළත් නොවිණි.
නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන පුහුණුකාරිය තිලකා ජිනදාස නැවතත් තර්ජිනී ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කර තිබිණි.
2018 දී ශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු ශූරයන් බවට පත් වූ අතර තරගාවලියේ හොඳ ම ක්‍රීඩිකාව ලෙස තර්ජිනී සම්මාන ලැබීය.
විදෙස් නෙට්බෝල් සමාජයකට ක්‍රීඩා කළ එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව
2017 වසරේදී ඇයට ඔස්ට්‍රේලියාවේ City West Falcons නෙට්බෝල් ක්‍රීඩා සමාජයෙන් ශිෂ්‍යත්වයක් හිමි විය.
ඒ අනුව, ඇය එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, විදෙස් නෙට්බෝල් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළ පළමු සහ එක ම ක්‍රීඩිකාව බවට ඇය පත් විය.
එම වසරේදී ඇය ඔස්ට්‍රේලියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ දක්ෂතම විදින්නිය ලෙස ත්, අවංක ම ක්‍රීඩිකාව ලෙස ත් සම්මානයට පාත්‍ර විය.
තර්ජිනී නැති අඩුව
ලොව පුරා ක්‍රීඩා විචාරකයින් පවසන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ පිටුපස සිටින දැවැන්ත බලවේගය තර්ජිනී ශිවලිංගම් බව ය.
තර්ජිනී යම් දිනෙක විශ්‍රාම ගිය පසු ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ඉරණම කුමක් වේ ද යන්න පිළිබඳව අපි 2018 වසරේ නොවැම්බර් මාසයේදී බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී පුහුණුකාරිය වන තිලකා ජිනදාසගෙන් විමසීමු.
ඇය එහිදී ප්‍රකාශ කළේ, ඒ සදහා සුදුසු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පුහුණු කිරීමට පියවර ගන්නා බව ය.
"තර්ජිනීගේ උස නිසා එයාට පහසු යි ප්‍රතිවාදී කණ්ඩායම් සමග ක්‍රීඩා කරන්න. ඒත් ලෝකයේ දක්ෂතම කණ්ඩායම්වල ක්‍රීඩිකාවො ඉන්නවා එයාගේ උසට ඉහළට පැනිය හැකි. ඒ නිසා ඔවුන් සමග ක්‍රීඩා කිරීමට මනා පුහුණුවක් අවශ්‍ය යි. අපි ඒ සදහා සුදුසු ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට පියවර ගන්නවා," යනුවෙන් ඇය පැවසීය.
මේ වන විට තර්ජිනී ශිවලිංගම් මෙන් ම තිලකා ජිනදාස ද විදෙස්ගත වී සිටින හෙයින් ඔවුන්ගේ අදහස් දැන ගැනීමට දැරූ උත්සහය සාර්ථක නොවීය.
තර්ජිනී දිනා ගත් සම්මාන
2011 - ලෝකයේ දක්ෂතම විදින්නිය
2009, 2012 - ආසියාවේ දක්ෂතම විදින්නිය
2017 - වසරේ දක්ෂතම විදින්නිය, අවංක ම ක්‍රීඩිකාව (City Falcon Awards)
2018 - ආසියානු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව
2019 - වසරේ ජනප්‍රියතම ක්‍රීඩිකාව
2022 - වසරේ ක්‍රීඩා පෞරුෂය (Maldives Sports Awards)












