අද ප්‍රධාන මැයි රැළි පැවැත්වෙන්නේ කොහෙද?

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් අද (මැයි 01 වැනිදා) මැයිදින පෙළපාලි හා රැළි පැවැත්වීමට දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කටයුතු යොදා තිබේ.

ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ මැයි දිනය මෙවර සමරනු ලබන්නේ 137 වැනි වරටයි.

මැයි රැළි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැයි රැළිය අද පස්වරුවේ පැවැත්වීමට සුදානම් කර ඇත්තේ බොරැල්ල කැම්බල් පිටියේදීය.

පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැළිය පැවැත්වෙනු ඇත.

මැයි දින සැමරුම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින්, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ, ඉදිරියේදී “රාජ්‍ය සේවකයින්ට අනිවාර්යෙන් දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් වෙනවා.” යනුවෙනි.

තම මැයිදින සැමරුම සඳහා ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයක් ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට නම්කිරීමට යෝජනවක් ගෙන ඒමේ සූදානමක් ඇති දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ එවැනි යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් නොමැති බවය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.

ඒ සඳහා පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලන නායකයින් රැසක් සහභාගි වනු ඇත.

'සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ තබන් නැහැ'

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, “පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාව වන විට රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබු අතර ඒ හමුවේ සියලුදෙනාට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වු බවය.”

එම අභියෝගාත්මක කාල වකවානුවේ දී, ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට තමාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන බවද ජනාධිපතිවරයා පැවසීය.

“එමෙන්ම මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවකි. මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.”

සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ ද අපේක්ෂාව බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

" වැඩබිමේ අරගලය මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් "

" වැඩබිමේ අරගලය මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් " යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය අද පස්වරුවේ මාළිගාවත්ත පී.ඩි. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් ආරම්භවීමට නියමිතය.

පක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට සංවිධානය සුදානම් කර ඇත්තේ කොළඹ ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදිය.

“දස දහස් ගණනෙක් සෙනඟ, අපි බලාපොරොත්තු වෙනවා 50000කට වැඩිය ගේනන. මේක සාර්ථකම මැයි දින රැළිය විදිහට අපි පවත්වනවා.” පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

ජාතික ජනබලවේගය මෙවර සිය මැයි රැළිය සංවිධානය කර ඇත්තේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටදිය.

ඔවුන්ගේ මැයිදින පෙළපාලිය ආරම්භ වන්නේ බී.ආර්.සී පිටියෙනි.

“මැයි දිනය පවත්වන්න ගෝල්ෆේස් පිටිය විතරක් නෙමේ. මේ කොළඹ නගරයේ පාරවලුත් අපිට ඔට්ටුයි කියලා අපි පෙන්නවනවා.” ජාතික ජනබලවේගය විධායක සභික වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද පස්වරුවේ දෙල්කඳ හන්දියෙන් සිය මැයි පෙළපාලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර පසුව නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨයේදි සිය මැයි රැළිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

IMF මරඋගුළට එරෙහිව, ඇමෙරිකන් - ඉන්දීය විජිත කරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක් ගොඩනැඟීම අරමුණු කරගෙන මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයට අදාළ ක්‍රියමාර්ග ගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසීය.

උත්තර ලංකා සභාගයේ මැයි රැළිය අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කොළඹ හයිඩ් පාක් පිටියේදිය.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ 02ක් සිය මැයි දින සැමරුම් කොළඹින් පිට නගරවලදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින සැමරුම මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට දී අද පැවැත්වීමට නියමිතය.

මහනුවර ජනතාවට අමතරව විවිධ ප්‍රදේශවලින් ඒ සඳහා පාක්ෂිකයින් සහභාගි වනු ඇත.

නිදහස ජනතා සන්ධානය සිය මැයි දින සැමරුම මහනුවර සහස් උයන ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යපා බණ්ඩාර පැවසුවේ, IMF කොන්දේසි රජය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට යන කම්කරු මර්දනයට එරෙහිව තම ප්‍රථම මැයිදින රැලිය පවත්වන බවයි.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ මැයි දින රැලිය පැවැත්වීමට නියමිත වන්නේ, කොළඹ පුරහල ප්‍රදේශයේදීය.

‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා මර්දනය පරදවමු’

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 40කට ආසන්න සංඛ්‍යවක් ප්‍රමුඛ කොටගත් ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන මධ්‍යස්ථානයේ මැයි රැලිය පැවැත්වෙන්නේ, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රිඩාංගණයේදීය.

‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා මර්දනය පරදවමු’ යන පොදු තේමාව මුල් කර ගනිමින්, ‘වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දිනය’ යන පොදු නාමය යටතේ එම මැයි දින සැමරුම පැවැත්වෙනු ඇත.

එම මැයි දින පාගමන මැයි 01 වැනිදා දහවල් 1ට කොළඹ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර, මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය වෙත ගමන් කර එහිදී සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මැයි දින රැළියක් පැවැත්වීමට නියමිතය.

ඉල්ලීම් 24ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම මැයිදින රැළිය සංවිධාන කර තිබේ.

එම ඉල්ලීම් වන්නේ,

  • රටින් ධනය අයථා ලෙස පිට කිරීම නවතනු, පිටකළ ධනය වහා ගෙනෙනු
  • ජනතාව මර්දනයට ගෙනෙන PTA, ATA හකුලා ගනු
  • මහජන දේපල විකිණීම වහා නවතනු
  • උතුරේ හා දකුණේ ජනතාවගේ ඉඩම් කොල්ලය වහා නවතනු
  • උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබා දෙනු
  • රාජ්‍ය මර්දනය වහා නවතනු
  • කම්කරු නීති සංශෝධනය හකුලා ගනු
  • IMF යෝජනාවලට ETF, EPF බිලි නොදෙනු
  • අසාධාරණ බදු සංශෝධනය කරනු
  • “Express Pearl” වන්දිය ලබා ගනු
  • ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් තහවුරු කරනු
  • පාලකයින් ඇතිකරන වාර්ගික ආගමික භේද පිටුදකිමු
  • පරිසර සංහාරය වහා නවතනු
  • C189 & C 190 අපරානුමත කරනු
  • රජය ඇතුළු සියලු ආර් ථික අපරාධකරුවන්ට දඬුවම් දෙනු
  • අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් වෘත්තිය අයිතීන් මර්‍දනය නවතනු
  • ගොවි ජනතාවගේ ඉඩම් කොල්ලය වහා නවතනු
  • පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වහා පවත්වනු
  • අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කරනු
  • IMF සහ ආණ්ඩුවේ ව්‍යාජ සමාජ ආරක්ෂණය වෙනුවට සැබෑ සමාජ ආරක්ෂණයක් ඇතිකරනු
  • රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සමාජ ආරක්ෂණය සඳහා පියවර ගනු
  • ප්‍රකාශනයේ භාෂණයේ නිදහස තහවුරු කරනු
  • සියල්ලන්ගේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතීන් තහවුරු කරනු
  • රට තුළ පවතින ඖෂධ, ප්‍රතික්‍රීයක ඇතුළු සෞඛ්‍ය සැපයුම් හිගයට විසදුම් දෙනු‍

පොලිසියෙන් උපදෙසක්..

මැයි දින සැමරුම් හේතුවෙන්, කොළඹ, නුගේගොඩ, මහනුවර සහ හැටන් නගර කෙන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් අද දිනයේ ක්‍රියාත්මක වේ.

අද දිනයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500කට ආසන්න පිරිසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

“පැමිණෙන වාහන වලට රථගාල් ලබා දී තිබෙනවා. යම් කිසි කෙනෙක් නොසැලකිලිමත්ව පදිකවේදිකා මත, මාර්ගය අවහිර වෙන ලෙස වහන නතර කළොත් නීතීමය ක්‍රියාමාර්ග ගන්න වෙනවා.”

බොහෝ මැයි රැලි හා පාගමන් අද සවස පැවැත්වෙන බැවින් එවැනි මාර්ග මඟ හැර ගමන් ගන්නා ලෙස පොලිසිය මහජනතාගෙන් ඉල්ලා සිටියේය.