වසර 4ක් ශ්‍රී ලංකාවේ වනයක හුදෙකලාව දිවි ගෙවූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් මුදා ගැනේ

    • Author, රන්ජන් අරුන් ප්‍රසාද්
    • Role, බීබීසී දමිළ සේවය වෙනුවෙන්

වසර හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) හිටපු සාමාජිකයෙකු මුදා ගෙන රෝහල්ගත කර තිබේ.

ඔහුව මුදා ගත් පුද්ගලයින් සඳහන් කරන්නේ, ඔහු මිනිසුන්ගෙන් ඈත් වී ඉතා අපිරිසිදු ලෙස ජීවිතය ගත කර ඇති බව ය.

ශ්‍රී ලංකාවේ හමුදාව සහ සටන්කාමී දෙමළ බෙදුම්වාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ ය අතර පැවති සිවිල් යුද්ධය 2009 වසරේදී එල්.ටී.ටී.ඊ යේ පරාජයත් සමග අවසන් විය. ඉතිරිව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් ඇතැමෙකු යටත් වූ අතර ඇතැමුන් අතුරුදන් වී අනෙක් අය සීසීකඩ විසිරී ගියහ.

වනාන්තරයේදී ඔහුව දුටු පුද්ගලයින් විසින් 'බාලා' ලෙස හඳුන්වන ලද මෙම පුද්ගලයා ද විසිරී ගිය එවැනි හිටපු සාමාජිකයෙකි. යුද්ධය අවසන් වූ මොහොතේ සිට ඔහුගේ පවුල සහ ඔහුගේ ජීවිතය පිළිබඳ වූ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ, පට්ටිපලෙයි ප්‍රදේශයේ තණ්ඩමලෙයි වනාන්තර ප්‍රදේශයේ ගරා වැටුණු පැල්පතක ජීවත්ව සිටියදී ඔහු මුදා ගෙන තිබේ.

අපිරිසිදු ජීවන තත්ත්වයන්

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ‘කෘසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි පාර්ටි’ යන දේශපාලන පක්ෂයේ උපසභාපති එන්. නගුලේෂ්, බාලා මුදා ගත් පිරිස අතර විය. ඔහු පවසන්නේ බාලා ඔහුගේ පවුලේ අය විසින් අතහැර දමනු ලැබ ඇති අතර මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි බව ය.

පහුගිය අවුරුදු හතරක් තිස්සේ ඔහු ජීවත් වී ඇත්තේ වනාන්තරයෙන් ලබා ගත් පලතුරු ආහාරයට ගැනීමෙනි. ආහාර ලබා ගැනීම සඳහා කලාතුරකින් ඔහු වනාන්තරයට මායිම්ව ඇති මිනිස් වාසස්ථානවලට ගොස් ඇත. ඔහු මෙම ආහාර තම පැල්පතට ගෙන ගොස් ප්‍රාථමික හා අපිරිසිදු ආකාරයකින් ඒවා පිසින බව නගුලේෂ් පවසයි.

"ඔහු ජීවත් වෙලා තියෙන්නේ ඉතා අපිරිසිදු තත්ත්ව යටතේ. භාජනයක ඔහු ආහාර පිසිනවා නම් ඒක සෝදලා නෙවෙයි ගන්නේ. ඒ වගේ ම අනෙක් ආහාර වේලත් ඒ භාජනයේ ම හදා ගන්නවා. එක ම භාජනයක මාළු සහ බත් එකට උයාගෙන කාලා තියෙන්නේ," නගුලේෂ් පැවසීය.

වසර හතරක් තිස්සේ ඔහු ස්නානය කර නොමැති අතර හිස කෙස් පවා කපා නොමැත. ඔහු හරි හැටි නින්දක් හෝ ලබා නොමැත.

මිනිස් ඇසුරෙන් වැළකිලා

මුලදී, බාලා කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇත. නමුත් පසුව මිනිසුන් දුටු විට ඔහු පළා ගොස් වනාන්තරයේ සැඟ වී සිට තිබේ.

ඔහු ජීවත්ව සිට ඇත්තේ වන අලි ගැවසෙන ප්‍රදේශයක ය.

එවැනි පසුබිමක් තුළ ‘කෘසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි පාර්ටි’ යන දේශපාලන පක්ෂයේ සාමාජිකයින් ඔහුව මුණගැසී ඇති අතර දින තුනක් පුරා පැවති දුෂ්කරතාවලින් පසු ඔහු සමග සබඳතා ගොඩනගා ගෙන ඇත.

නගුලේෂ් පවසන්නේ, බලා ඔවුන් දුටු මුල් අවස්ථාවේ පැන ගොස් සැඟවුණු බව ය.

"අපිට ඔහු ගැන තොරතුරු ලැබුණා. අපි දවස් තුනක් කැලේ බලා ගෙන හිටියා. පළවෙනි දවසේ අපිව දැක්ක ම එයා පැනලා ගියා. අපි දහවල් වන තුරු බලා ගෙන හිටියා. අපි එයාට ‘බාලා’ කියලා ආමන්ත්‍රණය කරලා එයාව දන්නා කෙනෙක් වගේ කතා කළා. අපි කිව්වා ‘මුලතිව් සටන් බිමේ අපි ඔයත් එක්ක හිටියා’ කියලා," ඔහු පවසයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් බාලා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමා අසලට නොපැමිණෙන ලෙස ය.

"සල්ලි ටිකක් දීලා, බිස්කට් ටිකක් කාලා, පිටවෙලා යන්න කියලා එයා අපිට කිව්වා. ඊට පස්සේ අපි එයාට කාරුණිකව කතා කරලා එයාගේ ළඟට ගියා. ත්‍රස්ත සංවිධානයක හිටපු සාමාජිකයෙක් නිසා කොණ්ඩේ කපලා පිළිවෙලක් වෙන්න ඕනේ කියල අපි එයාට කිව්වා. අපි කිව්වා එයාගේ ප්‍රශ්න අපි විසඳලා දෙන්නම් කියලා. ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කරලා කිව්වේ, ප්‍රශ්න නෑ කියලා. දවස් තුනකට විතර පස්සේ එයත් එක්ක නිසි සන්නිවේදනයක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වුණා. අපි එයාට කතා කළොත්, එයා අපි ළඟට ඒවි," නගුලේෂ් පැවසීය.

පුනරුත්ථාපන පියවර

පසුව එම කණ්ඩායම සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දී ගිලන් රථයක් කැඳවා බාලා මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර් ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇත.

නගුලේෂ් පවසන්නේ, බාලා ඔහුගේ පාක්ෂිකයෙකුගේ අධීක්ෂණය යටතේ සිටි බව ත් ඔහුගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙමින් තිබූ බව ත් ය.

ඇතැමෙකු බාලා පිළිබඳ නොමග යවනසුලු වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළ බව ත්, ඒ හරහා මුදල් එකතු කිරීමට උත්සහ කළ බව ත් නගුලේෂ් පවසයි.

බාලාට සුවය ලබා ගැනීමට, පුනරුත්ථාපනය වීමට සහ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ජනතාවගේ උදව් ලැබිය යුතු බව ඔහු අපේක්ෂා කරයි.