කැනඩා - ශ්‍රී ලංකා මතගැටුම දුරදිග යයි ද?

කැනඩාවේ පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට ශ්‍රී ලංකාව සිය දැඩි විරෝධය පළ කිරීමත් සමග මෙය දෙරට රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් නිර්මාණය කරමින් ඇත.

කැනඩා අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයෙන් පසු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවමින් ශ්‍රී ලංකා රජය අදාළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටින ලදි.

මේ අතර, නොවුණු දෙමළ ජන සංහාරයකට මැයි 18 දිනය වෙන් කරනවා වෙනුවට කැනඩා ආදිවාසි දිනය වන ජූනි 21 දා කැනඩා ආදිවාසි සංහාර දිනය ලෙස නම් කළ යුතු යැයි යෝජනා කරන බව මන්ත්‍රී උදය ගම්මන්පිල අද (මැයි 22 වැනිදා) අවධාරණය කර සිටියේය.

කැනඩා අග්‍රාමාත්‍යවරයා මොකද කියන්නේ ?

මීට වසර 14 කට පමණ පෙර අවසන් වූ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී මුල්ලිවයිකාල් හි සමුල ඝාතනය ඇතුළුව දස දහස් ගණනක් දෙමළ ජනයාට ඔවුන්ගේ ජීවිත හානි වූ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය යැයි, ඔවුන් විසින් හඳුන්වනු ලබන දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන්ව තිබේ.

“අද අපි මෙනෙහි කරන්නේ මීට වසර 14කට පෙර අවසන් වූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේදී සිදුවූ ඛේදනීය ජීවිත හානි පිළිබඳවයි. මුල්ලිවයිකාල්හි සමූල ඝාතනය ඇතුළුව දස දහස් ගණනක දෙමළ ජනයාට ඔවුන්ගේ ජීවිත අහිමි වූ අතර, තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව, තුවාල ලැබූ හෝ අවතැන් විය. අපගේ සිතුවිලි වින්දිතයන්, දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ ආදරණීයයන් සමඟ මෙම අසාධාරණ ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන වේදනාව සමඟ දිගටම ජීවත් වේ."

“වසර ගණනාවක් පුරා රට පුරා ප්‍රජාවන් තුළ මට හමු වූ බොහෝ දෙනෙක් ඇතුළුව ගැටුමෙන් පීඩාවට පත් දෙමළ-කැනේඩියානුවන්ගේ කථා, මානව හිමිකම්, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුළු කොට තැකිය නොහැකි බව මතක් කරමි."

"මැයි 18 දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය බවට පත් කිරීමේ යෝජනාව පසුගිය වසරේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළේ එබැවිනි. කැනඩාව මෙම ගැටුමෙන් වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ දිගින් දිගටම දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරනු ඇත."

“2022 ඔක්තෝම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවක් සම්මත කර ගැනීමට අපි අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක් වූ අතර රටේ මානව හිමිකම්, ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු."

"ඉදිරි වසරවලදී සාමය සහ සංහිඳියාව සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංග - ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස, ඇදහිල්ල සහ බහුත්ව නිදහස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අනෙකුත් යෝජනා සම්මත කිරීමේදී කැනඩාව ගෝලීය ප්‍රමුඛයා වී ඇත. තවද 2023 ජනවාරි මාසයේදී, දිවයිනේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර වශයෙන්, අපගේ රජය ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීය."

“දෙමළ-කැනේඩියානුවන් අපේ රටට ලබා දී ඇති සහ අඛණ්ඩව සිදු කරන බොහෝ දායකත්වයන් හඳුනා ගන්නා ලෙස කැනඩා රජය වෙනුවෙන් මම සියලුම කැනේඩියානුවන්ට ආරාධනා කරමි. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ බලපෑම පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්නා ලෙසත්, දුක්විඳින හෝ අහිමි වූ ආදරණීයයන් සඳහා සහයෝගීතාවය ප්‍රකාශ කරන ලෙසත් මම සියලු දෙනා දිරිමත් කරමි.” යනුවෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් නිකුත් කළ එකක්

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ දී ජන සංහාරයක් සිදුවූ බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශය දේශපාලන නැඹුරුවක් සහිත මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් ප්‍රකාශ කර සිටි බවට එම අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙයි.

“එල්. ටී. ටී. ඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී ගැටුම මධ්‍යයේ සිදුවුවා යැයි කියන ජන සංහාරය’ පිළිබඳව ඉදිරිපත්වී ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂි අවස්ථාවේදී, කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශයේ ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් ධ්‍රැවීකරණයට ලක්විය හැකි බවද” ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ්, විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවමින් අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර තිබේ.

මෙම ‘ජන සංහාරය’ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද්දක් බවට පළ වන අත්තනෝමතික හා සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ, ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත සහ දේශපාලනික වශයෙන් පොළඹවන ලද ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ටිවිටර් පණිවිඩයක් ද නිකුත් කරමින් විරෝධය පළ කර ඇත. එහි මෙලෙස දැක්වෙයි. "බටහිර රටවල බෙදුම්වාදීන්, එල්ටීටීඊ හිතවාදීන් සහ අරමුදල් රැස් කරන්නන් සමඟ සෙල්ලම් කරන නායකයින් දේශපාලන වාසි වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර සැබෑ ඉතිහාසය සොයා බැලීමට කටයුතු කළ යුතු අතර ඔවුන් අපගේ තරුණ හා දරුවන්ගේ තවත් පරම්පරාවක් නොමඟ යවයි"

මේක ජාත්‍යන්තර උසාවියකට ගෙනියන්න පුළුවන්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෙරට අධිකරණයක් තුලදී නඩු පවරා කටයුතු නොකළහොත් එය ජාත්‍යන්තර උසාවියකට වුවත් රැගෙන යාමට හැකියාවක් පවතින බව විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ආරම්භක විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කළේය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් ' දමිළ ජන සංහාර දිනය' වෙනුවෙන් නිකුත් කරනු ලැබූ නිවේදනය සම්බන්ධයෙන් ද මෙහිදී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය.

"එතුමා මේක කියලා තියෙන්නේ ඒගොල්ලන්ගේ රටේ දෙමළ ඩයස්පෝරාවක් ඉන්නවා. ඒ ගොල්ලන් කැනේඩියානු ආණ්ඩුවට කියලා තියෙන දේවල් අනුව තමයි මේ මතය කිව්වේ අගමැතිතුමා."

"අපේ ලංකාවේ ආණ්ඩුව මේක ප්‍රතික්ෂේප කරනවා. මේක පිළිගන්නේ නැහැ.

"නමුත් ඒ ගොල්ලන්ගේ තියෙන ස්ථාවරය, ඒ අයගේ දෙමළ පුරවැසියෝ මේවා ගැන කතා කරලා තියෙනවා. ඒ මතය තමයි හදල තියන්නේ."

"මේ මාතෘකාව ගැන වෙන වෙන මත තියෙන්න පුලුවන්නේ. ඒ ගොල්ලන්ට අයිතියක් තියෙනවා ඒ අයට හිතෙන දේ කියන්න, අපිට අයිතියක් තියෙනවා ඒගොල්ලෝ කියන දේවල් ප්‍රතික්ෂේප කරන්න."

"මේක විසඳන්න ලංකාවේ නඩු කියලා ඒ චෝදනාවට මුහුණ දීලා විසඳන්න ඕන. නැත්නම් ජාත්‍යන්තර මට්ටමින් සුදුසු පියවර ගනියි."

"ලංකාව මේකට මුහුණ දෙන්නේ නැත්නම්, හරි විසඳුමක් අර ගන්නේ නැත්නම්, මේක ජාත්‍යන්තර උසාවියකට ගෙනියන්න පුළුවන්. ඒක තමයි වෙන්න පුළුවන්."

"අපි පියවරක් ගත්තොත්, අපි උසාවියට ගෙනිච්චොත්, අපි නඩුවක් දාලා විසඳනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ජාත්‍යන්තර මට්ටමින්. නමුත් අපි මොකුත් කරන්නේ නැත්නම් මේක ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන්." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජූනි 21 කැනඩා ස්වදේශිකයන් සංහාර දිනය ලෙස නම් කළ යුතු බවට යෝජනාවක්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට දෙමළ ජනතාව ගැන අමුතු අනුකම්පාවක් නැති නමුත් කැනඩා පාර්ලිමේන්තුවේ ආසන 28ක ජයග්‍රහණය තීරණය වනුයේ කැනඩාවේ පදිංචි දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කරන ආකාරය අනුව බැවින් එම ඡන්ද දිනාගැනීම සදහා ඔහු කිඹුල් කඳුළු හෙලන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (මැයි 22 වැනිදා) ප්‍රකාශ කළේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජූනි 21 සංහාර දිනය ලෙස නම් කළ යුතු බවට කැනඩා ස්වදේශිකයන් යෝජනා කරන බවයි.

"කැනඩාව ඉතිහාසය පුරාම කළේ ස්වදේශිකයින්ට දුන් පොරොන්දු කඩ කිරීමයි. අත්සන් කළ ගිවිසුම් තීන්ත වේලෙන්නත් කලින් කඩ කිරීමයි."

"මම නොවේ මෙහෙම කියන්නේ. කාල් කුයීන් කියන කැනඩා ආදිවාසි නායකයා."

"2021 දී බ්‍රිටිෂ් කොලොම්බියාවේ කම්ලූප්ස් ආදිවාසි නේවාසික පාසල් භූමියේ සමූහ මිනී වලක් හමු වුණා."

"ඒකෙ තිබුණේ පාසල් දරුවන් 215කගේ මළ සිරුරු. අවුරුදු තුනේ දරුවන්ගේ මළ සිරුරු පවා තිබුණා."

"මොනවාද මේ ආදිවාසි නේවාසික පාසල් කියන්නේ? ආදිවාසි දරුවන් තමන්ගේ සංස්කෘතියට උරාගෙන ආදිවාසීන් කැනඩාවෙන් තුරන් කිරීම සඳහා කැනඩාවේ ආණ්ඩුව ආදිවාසීන්ගේ දරුවන් ලක්ෂ ගණනින් බලහත්කාරයෙන් පැහැරගෙන මේ නේවාසික පාසල්වලට ගෙනාවා."

"ඒ අය යුරෝපා සංස්කෘතියට බලහත්කාරයෙන් හැඩ ගැස්සෙව්වා. ඊට විරෝධය පළ කළ දරුවන් කුරිරු විධියට මරා දැම්මා. ලිංගික වද හිංසා කළා. මේ නේවාසික පාසල් 1870 දශකයේ ආරම්භ කරලා 1996 වන තුරු පවත්වා ගෙන ආවා."

"ඒ නිසා නොවුණු දෙමළ ජන සංහාරයකට මැයි 18 දිනය වෙන් කරනවා වෙනුවට කැනඩා ආදිවාසි දිනය වන ජූනි 21 දා කැනඩා ආදිවාසි සංහාර දිනය ලෙස නම් කළ යුතු යැයි අපි යෝජනා කරනවා." මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී ප්‍රකාශ කර සිටියේය.