ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'උපාධිය අවසන් කිරීම වෙනුවෙන් මට තෑගි ලැබුණේ එළුවෙක්: ඌ දැන් ප්‍රසිද්ධ තරුවක්'
- Author, අඩෙසෝලා ඉකූලාජෝලූ
- Role, බීබීසී පිජින්
- Author, මකුඔචි ඔකාෆෝර්
- Role, බීබීසී අප්‍රිකානු සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
මෙම මාසයේ මුලදී උපාධි පාඨමාලාවේ අවසන් විභාග නිමවා ප්‍රොමිස් ඔකෝරෝ විභාග ශාලාවෙන් පිටතට පැමිණියේ, වෙන දා මෙන් වාර අවසානයේ පැවැත්වෙන සාමාන්‍ය සැමරුම්වලට සූදානම්ව ය.
ඔහුගේ මිතුරන් ඒ වන විටත් පිටත රැස්වී සංගීත ඛණ්ඩ හඬ නගා වාදනය කරමින්, නයිජීරියානු සිසුන්ගේ ආදරණීය "සයිනින්-අවුට්" සැමරුම ඡායාරූප සහ වීඩියෝ ලෙස සටහන් කරමින් සිටියහ.
පන්තියේ මිතුරන් සහ සුබ පතන්නන් ලියූ සුබ පැතුම් සහ පණිවිඩවලින් ඔවුන්ගේ සුදු කමිස වැසී ගොස් තිබිණි. ඒවා ඔවුන් එකට ගමන් කළ අධ්‍යාපනික ගමන් මගේ වර්ණවත් මතක සටහන් බවට පත්ව තිබිණි.
එහෙත් ඉන් අනතුරුව, සෙනඟ මැදින් ප්රොමිස්ගේ මව චින්යෙරේ, එළුවෙකු ද සමග පැමිණියා ය.
ඒ සමග ම, ඒ වන විටත් ප්‍රීතියෙන් පිරී තිබූ එම දහවල, ප්‍රොමිස් සහ ඔහුගේ මිතුරන්ගේ ජීවිතයේ අමතක නොවන මොහොතක් බවට පත් විය.
23 හැවිරිදි ඖෂධ තාක්ෂණවේදය පිළිබඳව අධ්‍යයනය කරන ඔහුට, මුලදී එම ඝෝෂාව ඇසුණේ කවුරුන් හෝ විවාහ යෝජනාවක් කිරීමට යන නිසා යැයි සිතිණි.
එහෙත් ඒ වෙනුවට, ඔහු දුටුවේ තම මව වටා රැස්ව සිටින මිතුරන් පිරිසකි. ඇය එළුවා සෙමින් ගෙන එමින් ඔහු දෙසට පැමිණෙමින් සිටියා ය.
"මම හරි සතුටක් දැනුණා," ඔහු බීබීසී පිජින් වෙත පැවසීය. "මම ගොඩක් හැඟීම්බර වුණා."
ඔහු පවසන්නේ තමන්ට කිසිසේත් ලැජ්ජාවක් නොදැනුණු බවයි. ඒ වෙනුවට, ඔහුගේ පන්තියේ මිතුරෝ ඔල්වරසන් දෙමින් එය සැමරූහ.
වීඩියෝගත වුණු එම මොහොත ඉතා වේගයේ අන්තර්ජාලය පුරා පැතිර ගිය අතර, ඒ සඳහා දහස් ගණනක් උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නට විය.
ගිනිකොනදිග නයිජීරියාවෙන් පිටත ජීවත් වන ඇතැම් පුද්ගලයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීම සනිටුහන් කිරීමට එළුවෙකු තෑගි කිරීම තරමක් අසාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට ඉඩ තිබේ. එහෙත්, ඉග්බෝ ජනතාව අතර එළුවන් සම්බන්ධයෙන් ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් තිබිය හැකිය.
එළුවන් වටිනා තෑගි ලෙස සැලකෙන අතර, ගෞරවය, කෘතඥතාව සහ සුහදත්වය පළ කිරීම සඳහා ඒවා බොහෝ විට තෑගි කරනු ලැබේ. සාම්ප්‍රදායික විවාහ මංගල්‍ය, පවුලේ සැමරුම් සහ වැඩිහිටියන් හෝ විශේෂ අමුත්තන් ගෞරවයට පාත්‍ර කරන උත්සව වැනි වැදගත් අවස්ථා සමග ද එළුවන් සම්බන්ධ වේ.
ප්‍රොමිස් තවමත් තම වටිනා එළුවාට ගැළපෙන නමක් තෝරාගෙන නැත.
දැන් මෙම උපාධිධාරියා එළුවා සමග කුමක් කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්න කර ඇත. එහෙත් ඔහු බීබීසීය වෙත පසන්නේ, එළුවා තමන්ගේ ම සගයෙකු බවට පත්ව ඇති බැවින්, කිසි දා එය ආහාරයට නොගන්නා බවයි.
"දැන් එයා මගේ සුරතලා. මට එයාව ගොඩක් වටිනවා. එයාව මරන්න මගේ කිසි ම අදහසක් නැහැ."
ඇත්ත වශයෙන් ම, සැලසුම වන්නේ ගැහැනු සතෙකු ගෙන එම සතුන් දෙදෙනා අභිජනනය කිරීමයි.
එතෙක්, ප්රොමිස්ගේ සුරතලා ශිෂ්‍ය නේවාසිකාගාරයේ විශේෂ සාමාජිකයෙකු ලෙස නිදහසේ සැරිසරමින්, මිනිසුන්ට සමාන පුරුදු කිහිපයක් ද පෙන්වමින් සිටිනු ඇත.
"මම දැකලා තියෙනවා එයා ෆ්‍රයිඩ් රයිස්වලට ගොඩක් කැමතියි! මගේ ඉතුරු වෙච්ච ෆ්‍රයිඩ් රයිස් කන විදිය - හරි ම කෑදරයි," ප්‍රොමිස් සිනාසෙමින් පැවසීය.
දැන් මෙම එළුවා ප්‍රදේශයේ වීරයෙකු වැනි තත්ත්වයකට පත්ව තිබේ. දිනක් ප්‍රොමිස් මෙම සත්වයා අසල සුපිරි වෙළඳසැලකට කැටුව ගිය අවස්ථාවේ රසිකයෝ ඡායාරූප ගැනීමට පොරබැදූහ.
"එයා මාත් එක්ක නේවාසිකාගාරේ ඉඳලා වෙළෙඳසලට ගියේ කාර් එකේ... එයා කිසි කලබලයක් නැතුව හිටියා [එයා දැන් ප්‍රසිද්ධ චරිතයක් වුණත්] - මට වඩා ජනප්‍රියයි.
"මම හවසට එයාව පාරේ ඇවිදින්නත් එක්කගෙන යනවා."
අලුත් මිතුරෙකු පමණක් නොව, ඔහුගේ මව චින්යෙරේගෙන් ඉහළ ප්‍රශංසාවක් ද හිමි විය. මෙම තෑග්ග "මම ඔයා ගැන ආඩම්බර වෙනවා" යැයි ඔහුට පැවසීමට ඇය තෝරාගත් ක්‍රමය වූ අතර, ඇයට අවශ්‍ය වූයේ සියලු දෙනා ම ඒ බව දැනගැනීමට යි.
තම පවුල ජීවත් වන කුඩා ගොවි ගම්මානයක් වන උබහා-එසේ සිට, සිය පුතු පුදුමයට පත් කිරීම සඳහා එළුවාත් රැගෙන, ඉමෝ ප්‍රාන්තයේ ෆෙඩරල් පොලිටෙක්නික් නෙක්ඩේ වෙත ඇය පැයකට වැඩි කාලයක් ගමන් කර තිබුණා ය.
චින්යෙරේ කලින් සිහින මැව්වේ තම පුතුට වෙනස් ම තෑග්ගක් ලබා දීමට ය. එනම් අලුත් වාහනයක් මිලට ගෙන දීමටයි.
"4matic Jeep එකක් ගන්න මට සල්ලි තිබුණේ නැහැ. මම ඒ කාර් එකට ආසයි. ඒ නිසා මම හිතුවා මේ පුංචි තෑග්ග ගන්න," ඇය පැවසුවා ය.
4Matic යනු, Mercedes-Benz SUV වර්ගයේ මෝටර් රථයකි. එය තමන්ට දරාගත නොහැකි මිලක් ඇති වාහනයක් බව ඇය පැවසුවා ය.
චින්යෙරේ යනු ආහාර, පාන වර්ග සහ දේශීය ආහාර වර්ග ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දියකි.
ව්‍යාපාරික කටයුතුවලින් එතරම් මුදලක් උපයා ගැනීමට නොහැකි වුවත් මූල්‍ය පීඩනය මධ්‍යයේ වුව ද ඇය තමන් පුතුට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියා ය.
ඔහු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ විට ඇය පවසා තිබුණේ, ඔහු ප්රචණ්ඩ කණ්ඩායම් සහ වෙනත් අයහපත් බලපෑම්වලින් ඈත්ව සිටිමින් අධ්‍යාපනය අතරමග නතර නොකර ඉදිරියට ගියහොත් ඔහුට ත්‍යාගයක් ලැබෙන බවයි. ප්‍රොමිස් ඒ ආකාරයෙන් ම කටයුතු කර තිබුණේ ය.
දැන් ඔහුගේ මවට එම පොරොන්දුව ඉටු කිරීමට අවශ්‍ය විය. ඇය එළුවා නයිරා 120,000කට (ඩොලර් 88ක්; පවුම් 66ක්) මිල දී ගත්තා ය.
"මිනිස්සු මගේ පුතාට හරි ආදරෙයි. මට ඕන වුණේ එයාට [ආදරය ලැබෙනවා] කියලා ඔප්පු කරන්න," ඇය පැවසුවා ය.
"මම ඇතුළට ගිය වෙලාවේ මහ හඬින් සතුටු වෙලා කෑගහන අයව දැක්කා. මගේ පුතා පිටතට එනකොට එයා අපි හැමෝම එක්ක එකට සතුටු වෙනවා කියලා දැන ගත්තා ම මගේ හිත සතුටින් පිරුණා," ඇය පැවසුවා ය.
ප්රොමිස්ට තම මව සමග ඇති සම්බන්ධය මෙම සැමරුම්වලට වඩා බොහෝ දුරට විහිදෙන්නකි.
"මගේ අම්මා හරි ම හොඳයි, මට ඇයගෙන් සඟවන්න දෙයක් නැහැ. ඇයට යම් දෙයක් ගැන සැකයක් හෝ අවුලක් තිබුණොත්, ඇය හැමදාම මට කතා කරලා මගේ අදහස අහනවා," ඔහු පැවසීය.
ඖෂධ තාක්ෂණවේදය හදාරන ශිෂ්‍යයෙකු ලෙස ප්‍රොමිස් පැවසුවේ, නයිජීරියාවේ රෝගීන්ට උපකාර කිරීම තමන්ට සැමවිට ම අවශ්‍ය වූ දෙයක් බවයි.
වඩා හොඳ අවස්ථා සොයා බොහෝ සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර ගොස් ඇති බවත්, රට තුළ ඉතිරිව සිටින අය බොහෝ විට දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන බවත් ඔහු දනී.
එහෙත්, නයිජීරියාවේ අර්බුදකාරී සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට දායක වෙමින් රට තුළ ම රැඳී සිටීම ඔහුගේ අවශ්‍යතාවයි.
තම අවසන් ප්‍රතිඵල තවමත් ලැබී නොතිබුණ ද තමන් හොඳින් විභාගයට මුහුණ දුන් බව ඔහු විශ්වාස කරයි. "ඉහළ ම 50 දෙනාගේ ලැයිස්තුවක් තිබුණොත්, මම ඒ අතරින් කෙනෙක් වෙන්න පුළුවන් කියලා මම කියනවා."
නයිජීරියාවේ තෘතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරන අනුපාතය පුද්ගලයන් 100 දෙනෙකුගෙන් 11.3කි. එය උපසහරා අප්‍රිකාවේ පුද්ගලයන් 100 දෙනෙකුගෙන් 10.5ක් වන සාමාන්‍ය අනුපාතයට වඩා මදක් ඉහළ අගයක් වුව ද, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල පුද්ගලයන් 100 දෙනෙකුගෙන් 17.6ක් වන සාමාන්‍යයට වඩා අඩු ය.
එබැවින් ප්රොමිස්ට තම අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සහතිකයක තවත් එක් පේළියක් පමණක් නොවේ.
එය ඔහුගේ මව දිගු කලක් තිස්සේ සැමරීමට බලා සිටි සන්ධිස්ථානයකි. දැන්, ඔහු පවසන්නේ තමන්ගේ වාරය පැමිණ ඇති බව ය.
"ඇය මාව පුදුමයට පත් කළ ආකාරයට ම, මමත් ඇයට ඒ ආදරය ආපසු ලබා දීමට වග බලා ගන්නවා."
ප්‍රොමිස් අවසානයේ තම මව වෙනුවෙන් කුමන ආකාරයේ තෑග්ගක් තෝරාගත්තත්, ඇය ඔහුට දුන් තෑග්ගට සමාන තෑග්ගක් ලබා දීම පහසු නොවනු ඇත. ඔවුන්ගේ ගම්මානයේ සිට ආදරයෙන් හා අධිෂ්ඨානයෙන් රැගෙන ආ දුඹුරු පැහැති එළුවෙකු වූ එම සරල තෑග්ග, එම අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ දුටු දහස් ගණනක් දෙනා එකට එක් කිරීමට සමත් වී තිබේ.