විදුලි උපපොළක ගින්නක් නිසා හීත්‍රෝ ගුවන් තොටුපළේ ගුවන් ගමන් ඇණ හිටී: අප මෙතෙක් දන්නා කරුණු

වීඩියෝ ශීර්ෂ වැකිය, ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ අසල විදුලි උපපොළක හටගත් ගින්න
කියවීමේ කාලය: මිනිත්තු 4

ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපොළට විදුලිය සපයන ගුවන් තොටුපළ අසල පිහිටි විදුලි උපපොළක ඇති වූ ගින්නකින් පසු සිදුවූ විදුලිය බිඳ වැටීමක් නිසා සිකුරාදා [මාර්තු 21] දිනය පුරා ගුවන්තොටුපොළ වසා දමා තිබිණි.

යුරෝපයේ වඩාත් කාර්යබහුල ම ගුවන් තොටුපළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ මෙලෙස වසා දැමීමෙන්, ඉදිරි දින කිහිපය තුළ "සැලකිය යුතු බාධාවක්" ඇති විය හැකි බවට අනතුරු හඟවා ඇති අතර, එය නැවත විවෘත වන තුරු "කිසිදු හේතුවකට" ගුවන්තොටුපොළ වෙත ගමන් නොකරන ලෙස මගීන්ට දැනුම් දී තිබේ.

ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගැනීමෙන් ඇති වූ ගින්න මේ වන විට පාලනය කර ඇති බව ලන්ඩන් ගිනි නිවන හමුදාව (LFB) පැවසී ය. ගින්නට හේතුව තවමත් නිශ්චිතව හඳුනාගෙන නැති අතර, ඉන් කිසිදු පුද්ගල හානියක් සිදු වී නොමැත.

ගිනි ගැනීමෙන් පසු මාර්ගයේ එක්රැස්ව සිටි ජනතාව අසල පිහිටි ප්‍රිමියර් ඉන් හෝටලයට එක්රැස් වූවත් රාත්‍රියේ සන්නිවේදනය දුර්වල වූ නිසා, යා යුත්තේ කොතැනට ද යන්න පිළිබඳ ව තමන් ව්‍යාකූලත්වයට පත්වූ බව ඔවුහු පැවසූහ.

"මම හිටියේ පිපිරීම වුණ තැන ඉඳලා යාර 100ක් විතර දුරින්. ඒ වෙලාවේ රෑ 11.30ට විතර මම නිදාගන්න හැදුවේ."

"එක පාරට ම විශාල පුපුරන සද්දයක් ඇහුණා, ගෙදර දෙදරලා ගියා."

"මම හිතුවේ තාප්පේ මොකක් හරි වැදුණා කියලා, ඊට පස්සේ මම ඉස්සරහ දොර ඇරලා බැලුවා ම ගිනි ගන්නවා දැක්කා."

"මම ඉක්මනට ම මොකක් ද වෙන්නේ කියලා බලන්න පාරේ පහළට දිව්වා. එතකොට තේරුණා උපපොළ ගිනි අරන් කියලා."

"ගින්දර යි දුම යි හැමතැන ම පැතිරිලා තිබුණා. ඒක භයානක සිද්ධියක්," ඇය පැවසුවා ය.

 passengers should not to travel "under any circumstances" until it reopens

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නැවත දැනුම් දෙන තුරු මගීන්ට ගුවන් තොටුපළට නොපැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

Flightradar24 නම් ගුවන් ගමන් නිරීක්ෂණය කරන වෙබ් අඩවියට අනුව, මෙම සිද්ධිය හේතුවෙන් බටහිර ලන්ඩනයේ ගුවන්තොටුපොළ දක්වා පැමිණීමට නියමිතව තිබූ හෝ එහි සිට ගමන් ඇරඹීමට තිබූ ගුවන් ගමන් 1,351ක් අවලංගු වනු ඇත.

හීත්‍රෝ ගුවන්තොටුපළට පමණක් නොව වෙනත් ගමනාන්ත දක්වා ක්‍රියාත්මක වන ගුවන් ගමන්වලට ද ඉන් බලපෑම් ඇති විය හැකි බව ප්‍රවාහනය පිළිබඳ බීබීසී විශේෂ වාර්තාකරු පවසයි.

හේස්හි විදුලි උපපොළේ ඇති වූ ගින්න හේතුවෙන් නිවාස 4,900කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති අතර අවට නිවාසවල පුද්ගලයින් 150 දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.

බ්‍රිතාන්‍යයේ ජාතික විදුලි සැපයීම සිදුකරන ආයතනය (NESO) X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, එරට වේලාවෙන් උදෑසන 6ට විදුලි පාරිභෝගිකයන් 62,000කට නැවත විදුලිය ලබා දීමට කටයුතු කර ඇති බවත්, නිවාස 4,900කට තවමත් විදුලිය ලබා දී නොමැති බවත් ය.

මෙම සිදුවීමේ බලපෑම හීත්‍රෝ ගුවන්තොටුපළට එපිටින් බොහෝ සෙයින් විහිදී ගොස් දුර බැහැර ගුවන් ගමන්වලට බලපෑම් කළ හැකි බව බීබීසී හි ප්‍රවාහනය පිළිබඳ විශේෂ වාර්තාකරු පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හේස්හි විදුලි උපපොළේ ඇති වූ ගින්න හේතුවෙන් නිවාස 4,900කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති අතර අවට නිවාසවල පුද්ගලයින් 150 දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත

එක්සත් රාජධානියේ බලශක්ති පිළිබඳ ලේකම් ඊඩ් මිලිබෑන්ඩ් බීබීසී රේඩියෝ 4 හි විකාශය කෙරෙන වැඩසටහනකට පැවසුවේ, මෙය පෙර නොවූ විරූ සිදුවීමක් බවත්, එය "බැකප් ජෙනරේටරයක් සහ විදුලි උපපොළක් අක්‍රිය කර," ඇති බවත් ය.

විදුලි උපපොළක ඇති වූ ගින්නකින් මෙතරම් කාර්යබහුල ප්‍රවාහන මධ්‍යස්ථානයකට මේ ආකාරයේ දරුණු ලෙස බාධා ඇති වූයේ කෙසේ දැයි BBC Breakfast වැඩසටහනේදී විමසූ විට ඔහු මෙලෙස පිළිතුරු දුන්නේ ය: "ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න තාම කල් වැඩි යි. මේ ගින්නට හේතුව අපි දන්නේ නැහැ."

ඔහු පැවසුවේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් හේතු මොනවා ද යන්න අවබෝධ කර ගැනීමටත් "එයින් උගත හැකි පාඩම් තිබේ ද?," යන්න තේරුම් ගැනීමටත් පියවර ගත යුතු බව ය.