මාලිමාවට 50% නැති පළාත් පාලන ආයතනවල බලය විපක්ෂ කණ්ඩායම් හිමි කර ගනියි ද?

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake | Facebook
- Author, බීබීසී සිංහල
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂ දේශපාලන පක්ෂ එකඟ වූ බවට එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මැයි 14 වන දා පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදුජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේම්නාත් සී. දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී වී තිබිණි.
විපක්ෂයේ කණ්ඩායම් එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට පැමිණි බව කියන එකඟතාව පිළිබඳව බීබීසි සිංහල සේවය තවදුරටත් කරුණු විමසා බැලීය.
පළාත් පාලන ආයතනවල සභික ධූර හිමි වූයේ කෙසේ ද?
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 265ක බහුතර බලය ලබා ගැනීමට සමත් වුව ද ඉන් 50% හෝ ඊට වැඩි සභික සංඛ්‍යාවක් හිමි කර ගැනීමට හැකි වූයේ පළාත් පාලන ආයතන 72ක පමණි.
ඉලංගෙයි තමිල් අරසු කට්චි පළාත් පාලන ආයතන 35ක බහුතර බලය ලැබූ අතර, ආයතන 3ක පමණක් 50%ක් හෝ ඊට වැඩි මන්ත්‍රී ධූර ගණනක් හිමි කර ගත්තේ ය.
සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 14ක සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන 6ක බහුතර බලය ලබා ගත්ත ද, ඔවුන්ට කිසිදු පළාත් පාලන ආයතනය ආසන සංඛ්‍යාවෙන් 50% ලබා ගැනීමට නොහැකි විය.
වෙනත් ස්වාධීන කණ්ඩායම් විසින් පළාත් පාලන ආයතන 19ක බහුතර බලය ලබා ගනු ලැබුව ද ඉන් එක් පළාත් පාලන ආයතනයක පමණක් 50%ක සීමාව ඉක්මවා ආසන ලබා ගැනීමට සමත් විය.
උතුරු නැගෙනහිර පක්ෂ සමග වෙන ම සාකච්ඡාවක්
ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂ කණ්ඩායම් 25ක් පමණ එකඟතාව පළ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන බීබීසි සිංහල සේවය වෙත පැවසීය.
උතුරු නැගෙනහිර පළාත්වල පක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එහිදී විපක්ෂ කණ්ඩායම් එම ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එම පක්ෂවලට සහයෝගය දීමට කැමැත්ත පළ කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
"මම දන්න විදියට එහෙමයි. තීරණය ගන්නකම් කියන්න බැහැ. ඔක්කොම වාඩි වෙලා ඒගොල්ලන්ට සහයෝගය දෙනවා."
විපක්ෂ කණ්ඩායම් එක් වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධව පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් අද (මැයි 15) පැවැත්වීමට නියමිත බව ද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසීය.
විපක්ෂය බලය පිහිටුවන සභාවල සජබට වැඩි අවස්ථාවක් ලැබෙයි ද?
මෙම හමුවේදී විපක්ෂයට බහුතර බලයක් ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිළිබඳව යම් එකඟතාවක් ඇති බව මෙන් ම ඒ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර බීබීසි සිංහල සේවයට පැවසීය.
විපක්ෂය කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතන 130ක පමණ බලය පිහිටුවිමේ හැකියාව පවතින බවට මන්ත්‍රීවරයා විශ්වාසය කරයි.
ඉන් බහුතරයක ජාතික ජන බලවේගය හැර වැඩි ම සභික සංඛ්‍යාවක් හිමිව ඇත්තේ සමගි ජන බලවේගයට බැවින් විපක්ෂ කණ්ඩායම් එකතු වී බලය පිහිටුවනු ලැබුවහොත් සභාපති ධූරය, නගරාධිපති ධූරය වැනි ඉහළ තනතුරු සමගි ජන බලවේගයට ලැබේ දැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් අපි විමසුවෙමු.
"ඒ අවබෝධය තියෙනවා. හැම පක්ෂයක ම අරමුණ තමයි ආණ්ඩුවට බලය නොදීම. ඒකෙදි මම හිතනවා සියලු දෙනා එකඟ යි බහුතරය තියෙන සජබට වැඩි අවස්ථාවක් දෙන්න," ඔහු පිළිතුරු දුන්නේ ය.
පොදුජන පෙරමුණේ සහ මනෝගේ සහය විපක්ෂයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂය විසින් බලය පිහිටුවනු ලබන පළාත් පාලන ආයතනවලදී සිය සහය විපක්ෂය වෙත ලබා දෙන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බීබීසි සිංහල සේවයට පැවසීය.
"ආණ්ඩු පක්ෂය නොවන, විපක්ෂයේ කවුරු හරි බලය පිහිටුවනවා නම් ඒ සභාවල ඒ අයට සහයෝගය ලබා දෙන්න අපි තීන්දු කරලා තියෙන්නේ," ඔහු සඳහන් කළේ ය.
"අපිට ලැබිලා තියෙන ජනවරම පදනම් කරගෙන, ප්‍රජාතන්ත්‍රවාදීව පුළුවන් තැන්වල අපි සභා පිහිටුවනවා," යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.
වත්මන් පළාත් පාලන ඡන්ද විමසීමේ ක්‍රමය අනුව වැඩි සභිකයන් පිරිසක් සහිත කණ්ඩායමට බලය පිහිටුවිමේ හැකියාව පවතින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
විපක්ෂයට බලය ගන්න පොහොට්ටුවේ සහය ලැබෙයි ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසි සිංහල සේවය වෙත සඳහන් කළේ, තම පක්ෂය විපක්ෂයේ කණ්ඩායම් සමග එක් වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවයි.
ඒ පිළිබඳව මෙම සාකච්ඡාවේදී දැනුම් දුන් බවත් සෑම සභාවක ම සංයුතිය සහ එම සභාවල ජනමතය පිළිබඳ මෙන් ම ඒවායේ ඡන්ද භාවිතය පිළිබඳව අවධානය යොමු කර තම පක්ෂය තීන්දුවක් ගන්නා බව විපක්ෂ කණ්ඩායමට දැන්වූ බව මන්ත්‍රීවරයා පැවසීය.
"අපි කියන්නේ මේ ක්‍රමය අනුව කවුරු පිහිටෙව්වත් දැන් යන විධියට ස්ථාවර සභාවක් පිහිටුවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ පොහොට්ටුවේ වගකීම ඒ ස්ථාවරත්වය ආරක්ෂා කරලා දෙන්න ඕනේ ජනතාවට අවශ්‍ය සේවාවන් වෙන්න. අපිට දීලා තියෙන ජනවරම අපි ජනතාව වෙනුවෙන් පාවිච්චි කරනවා මිසක් පෞද්ගලික්ව හෝ පුද්ගලයන්ට හෝ පක්ෂවලට විරුද්ධව පාවිච්චි කරන්නේ නැහැ අපි."
රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයේ බලවේගයක් ලෙස නිර්මාණය විය යුතු යැයි තම පක්ෂයේ විශ්වාසය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
'විපක්ෂයක් හැටියට එකතු වෙන්නේ කොහොම ද? කොතන ද? කාත් එක්ක ද?'
සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර දුරකතනය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ බවට නිවේදනය කර තිබුණ ද, තමන් මෙම සාකච්ඡාවට සම්බන්ධ නොවූ බව ඔහු බීබීසි සිංහල සේවයට සඳහන් කළේ ය.
"මම සහභාගී වුණේ නැහැ. ඒක විශාල වැරදීමක් දුරකතනයෙන්වත් සහභාගී වුණේ නැහැ. දුරකතනයෙන් මට ඇමතුවා, එතකොට මම කිව්වා මට එන්න විදිහක් නැහැ කියලා."
තම පක්ෂය බලය පිහිටුවීමට එකතු නොවීමට මීට ඉහතදී ගත් ස්ථාවරයේ තවමත් සිටින බව සර්ව ජන බලයේ නායක දිලීත් ජයවීර බීබීසි සිංහල සේවයට පැවසීය.
"අපි විධායක කමිටුව හැටියට රැස්වෙලා තීරණයක් අරගෙන ඒක මාධ්‍ය සාකච්ඡාවක් මගින් රටට ම කිව්වා අපි එහෙම සාම්ප්‍රදායික අර්ථයෙන් එකතු වෙලා වැඩ කරන්නේ නැහැ කියලා. මොක ද රටේ ජනතා අභිලාෂය පැහැදිලි යි. අභිලාෂය පිළිබිඹු වන දෙයක් හැරෙන්න අපි දෙයක් කරන්නේ නැහැ කියලා. අපි දැනටත් ඉන්නේ ඒ මතයේ."
"අපි දැනට ඉන්න මතය තම යි ඒ ඒ සභාවල ඒ විභවයන්, අවශ්‍යතාවන් අනුව පක්ෂ භේදයකින් තොරව අපේ සහය අවශ්‍ය නම් මිනිස්සුන්ට අගතියක් නොවන ආකාරයට කටයුතු කරන්න. ඒකෙදි අපි විපක්ෂයක් හැටියට එකතු වෙන්න අපි කිසි ම සූදානමක් නැහැ. එහෙම විපක්ෂයක් හැටියට එකතු වෙන්නේ කොහොම ද? කොතන ද? කාත් එක්ක ද?" සර්ව ජනබලයේ නායක දිලීත් ජයවීර ප්‍රශ්න කළේ ය.
'ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කෝගෙන් ම අපි වැඩ කරන්න ලෑස්තියි'
විපක්ෂ කණ්ඩායම් එකතු වී, ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එකඟ වූ බවට නිවේදනය කළ දිනයේ ම පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පක්ෂය ජය ගත් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට සූදානම් වන කණ්ඩායම්වලට "අනතුරු ඇඟවීය".
"ලංකාවේ පළමු වතාවට 267ක් පළමු පාර ප්‍රාදේශීය සභා දිනලා තියෙනවා. දිනන හැම එකක් ම පිහිටු වීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න, ඒකට බාධා කරන්න එනවා නම්, බාධා කරන අකුල් හෙළන අයට කියන්නේ, නීතියේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා මතක තියා ගන්න.
"ජනවරම අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා. ජනවරමට එරෙහිව කවුරුහරි කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කෝගෙන් ම අපි වැඩ කරන්න ලෑස්තියි… හදලා පුළුවන් නම් මාස 3,4ක් යන්න එච්චර යි මම කියන්නේ," යැයි ජනපති කියා සිටියේ ය.
"අපි සභා 152ක් ආරම්භයේදී ම පිහිටුවනවා. ඉතුරු 115 පිහිටුවන දවසේ පිහිටුවනවා," යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.














