රේගු නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය: රේගු නිලධාරියෙකු වීමට අපේක්ෂා කරන ඔබ දැනගත යුතු ම කරුණු

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුවේ දෙවන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය මේ වන විට ගැසට් කර තිබේ.

මේ සඳහා වන අයැදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර මෙවර අයැදුම්පත් යොමු කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි.

අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන්නේ, 2026 ජූනි 8 වන දා ය.

මේ පිළිබදව කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ, මෙවර විභාගයෙන් සහකාර රේගු අධිකාරී තනතුර සඳහා අයැදුම්කරුවන් අතරින් 150-160 අතර ගණනක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ය.

ශ්‍රී ලංකා රේගුව විවිධ විෂය පථයන්ගෙන් සමන්විත විශාල රාජ්‍ය ආයතනයක් බැවින් විවිධ විෂයන්වලින් උපාධි ඇති අයැදුම්කරුවන් ඒ සඳහා අයැදුම් කිරීම වැදගත් බව ඔහු පැවසීය.

උදාහරණයක් වශයෙන් නීති, තො‍රතුරු තාක්ෂණ, මූල්‍ය හා කළමනාකරණ, පුරාවිද්‍යා, විද්‍යාවේදී (සත්ව හා ශාක වැනි) ආදී පුළුල් පරාසයක විෂයන්වල දැනුම ඇති අය ශ්‍රී ලංකා රේගුවට අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඊට අමතරව මැණික් වැනි ස්වභාවික සම්පත් පිළිබඳ දැනුම ද ඔවුන් සතුව පැවතීම වැදගත් බව ඔහු පැවසීය.

අවශ්‍ය සුදුසුකම් මොනවා ද?

1. අයැදුම්කරු "විශිෂ්ට චරිතයකින් හෙබි" ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතු අතර අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 21ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතු ය.

2. ශාරීරික යෝග්‍යතාව සැලකීමේදී පිරිමි අයැදුම්කරුවෙකුගේ උස අඩි 5යි අඟල් 5ට අඩු නොවිය යුතු අතර, පපුව (ප්‍රසාරණය කළ විට) අඟල් 33ට නොඅඩු විය යුතු ය.

කාන්තා අයදුම්කාරියකගේ උස අඩි 5 අඟල් 3ට නොඅඩු විය යුතු ය.

3. අධ්‍යාපන සුදුසුකම් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කෙරෙන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් පිරිනමන අධ්‍යයන කාල සීමාව වසර 3කට නොඅඩු උපාධියක් සම්පූර්ණ කර තිබීම.

උපාධි ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටින අයෙකු මෙම විභාගය සඳහා සුදුසුකම් නොලබන අතර තමා උපාධිය සමත්ව ඇති බවට එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගෙන් ලබා ගත් නිල ලිපියක් ඉදිරිපත් කළ අවස්ථාවකදී මෙම විභාගයට පෙනී සිටීමට අවසර දිය හැකි බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

4. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයේදී ඉංග්‍රීසි භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් ලබා තිබීම හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගයේදී ඉංග්‍රීසි භාෂා විෂයට සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබීම.

විභාගය ගැන දැන ගත යුතු කරුණු

මෙම බඳවා ගැනීමේ තරග විභාගය අගෝස්තු මාසයේදී කොළඹදී පමණක් පැවැත්වේ.

බඳවා ගැනීමේ විභාගය ප්‍රශ්න පත්‍ර 2කින් සමන්විත වේ.

1. අභියෝගතා පරීක්ෂණය - මෙම ප්‍රශ්න පත්‍රයේ කාලය පැය 1ක් වන අතර ලකුණු 100ක් වෙන් කර ඇත. මෙම ප්‍රශ්න පත්‍රය හරහා ඔබ සතු භාෂා ප්‍රවීණත්වය සහ තර්ක ශක්තිය මැන බැලේ. එය බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ ආකාරයේ ප්‍රශ්න 50කින් සමන්විත වේ. සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම අනිවාර්ය වේ.

2. ඉංග්‍රීසි භාෂාව - මෙම ප්‍රශ්න පත්‍රය සඳහා පැය 1 මිනිත්තු 30ක කාලයක් හිමි වන අතර ලකුණු 100ක් හිමි වේ. මෙහිදී ඔබ සතු ඉංග්‍රීසි භාෂාව ලිවීම, කියවීම, අවබෝධය සහ සන්නිවේදන හැකියාව පරීක්ෂා කර බැලේ. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයිය යුතු ය.

මෙම විභාගය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් ඉල්ලුම් කළ හැකි අතර ඉල්ලුම් කළ මාධ්‍ය කිසිසේත් පසුව වෙනස් නොකරනු ඇත.

විභාගයට ලකුණු ලැබෙන්නේ කෙසේ ද?

මෙම ප්‍රශ්න පත්‍ර දෙකට ම හිමි වන ලකුණු සංඛ්‍යාව 200කි.

විභාගය සමත් වීමට නම් ප්‍රශ්න පත්‍රයකට ලබා ගත යුතු අවම ලකුණු ගණන 50%කි.

එම ලකුණු සංඛ්‍යාව ලබා ගත් අයැදුම්කරුවන්‌ තෝරා, ඔවුන්ගේ එම ලකුණුවල එකතුවේ අනුපිළිවෙළින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන සංඛ්‍යාවක් වූ අයැදුම්කරුවන්ගේ නම් ඇතුළත් ලේඛනයක් විභාග දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුවට ලබා දෙයි.

අවම ලකුණු ලබා ගැනීමෙන් විභාගය සමත් වුව ද, රැකියාවය බඳවා ගැනීමේදී තරගකාරී ලකුණු මට්ටමක් සැලකිල්ලට ගන්නා හෙයින්, ඔබ උත්සහ කළ යුත්තේ, ඉහළ ම ලකුණ ලබා ගැනීමට ය. විභාගයට අයැදුම් කළ සියලු ම අයැදුම්කරුවන්ගේ ප්‍රතිඵල www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා නිකුත් කෙරේ.

සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලැබෙන්නේ කොහොම ද?

ලිඛිත විභාගය සමත් වන අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කෙරෙන අතර එහිදී ක්‍රීඩා කුසලතා සඳහා පහත ආකාරයට ලකුණු හිමි වේ. අනෙකුත් කුසලතා සඳහා ද විධිමත් ලෙස ඉදිරිපත් කරන සාක්ෂි සහතිකපත්වලට අනුව ලකුණු ලබා ගත හැක.

මෙහිදී 17න් පහළ වයස් කාණ්ඩයෙන් පහළ ක්‍රීඩා ඉසව් සලකා බලනු නොලැබේ.

මේ ආකාරයෙන් ලිඛිත පරීක්ෂණයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළ ම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන්ගෙන් පුරප්පාඩු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් සහකාර රේගු අධිකාරීවරුන් හා වරියන් වශයෙන් තෝරා පත් කර ගැනේ.

මෙහිදී බඳවා ගැනීමට අනුමත පුරප්පාඩු සංඛ්‍යාවෙන් 10%කට නොවැඩි ප්‍රතිශතයක් කාන්තා නිලධාරීන් සඳහා වෙන්වී ඇත.

සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට පිවිසෙන අයට පසුව නියෝජ්‍ය රේගු අධිකාරී, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, රේගු අධ්‍යක්ෂ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරුවලට යාමට, ලබා ගන්නා සුදුසුකම් හා ඵලපුරුද්ද මත හැකියාවක් ඇත.

අයැදුම් කරන්නේ කෙසේ ද?

මාර්ගගත අයැදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතු අතර https://applications.doenets.lk/exams සබැඳිය හරහා පිවිස එය සම්පූර්ණ කළ හැක.

මෙහිදී අයැදුම් කිරීමට පෙර 'instructions' යනුවෙන් ලබා දී ඇති උපදෙස් පත්‍රිකාව කියවීම ඉතා වැදගත් වේ. එම අයැදුම්පත වලංගු අයැදුම්පතක් බවට දෙපාර්තමේන්තුව විසින් භාරගන්නා ලද බව හෝ නොගන්නා ලද බව පද්ධතියට ප්‍රවේශ වීමේදී ලබා දුන් දුරකතන අංකයට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් හෝ ලබා දුන් ඊමේල් ගිණුමට ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන් හෝ දැනුවත් කෙරෙනු ඇත.