ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන පොහොර නැව: කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
- Author, බීබීසී සිංහල
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් කිරීම හරහි දූෂණය නමැති වරද සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල ලබන 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට පමුණුවනු ලැබී ය.
අල්ලස් කොමිසම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් 2021 වසරේ චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියට අනුකූල නොවන පොහොර නැවක් වෙනුවෙන් අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දෙමින් ඊට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනා කොට දූෂණය නැමැති වරද මෙම සැකකරු විසින් සිදු කර ඇති බව දැනුම් දී තිබිණි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි.
විගණකාධිපති නිර්දේශ
අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138කට වැඩි මුදලක් ( ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක්) ශ්‍රී ලංකා රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩු වූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අය කර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබිණි.
එසේ ම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 21 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අදාළ පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛනගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණකාධිපතිවරයා එවකට දැනුම් දී තිබිණි.
විගණකාධිපතිවරයා මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ, කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමිනි.