උදේ ඇප ලැබුණු රාජිත සේනාරත්න දවල් රක්ෂිත බන්ධනාගාරගත කළේ ඇයි?

රාජිත සේනාරත්න අධිකරණයේ සිට රැගෙන යමින්. බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔහු වටා සිටිති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම බන්ධනාගාර නිලධාරීන්ට තවදුරටත් නියෝග කළේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකාර රාජිත සේනාරත්න ලබන 03 වන දා පෙරවරු 9.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකරු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ය.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු "සී වූ" සමාගම වෙත පැවරීමට මෙම සැකකරු කටයුතු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වූ බව සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීය.

පොදු මූල්‍ය රෙගුලාසිවලට අනුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවකින් අනුමැතියක් ලබාගෙන එය යම් සමාගමකට පවරනවා ද? නැද්ද? යන්න තීන්දු කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බව සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පෙන්වා දුන් අතර, මෙම සැකකරු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නීත්‍යනුකූල අනුමැතියක් ලබා ගැනීමකින් තොරව "Approved" යනුවෙන් සඳහන් කරමින් අනුමැතිය ලබා දී ඇති බවත් සඳහන් කළා ය.

මෙවැනි ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දීමට පෙර පාරිසරික අධ්‍යයන අගැයීම් වාර්තා මෙන් ම ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු වුවත්, ඔහු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් සිය නිල බලය අයුතු ලෙස පරිහරණය කරමින් අත්නෝමතික මෙන් ම තනි කැමැත්තට කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය අදාළ කොරියානු සමාගම වෙත පැවරීමට කටයුතු කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා ය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව අදාළ කොරියානු සමාගමට එය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පහසුකම් නොතිබූ බවත් අවසානයේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලි කැණීම් සඳහා යොදා ගන්නා "වැලි ගොව්වා" නැමති නෞකාවත් එම සමාගම වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඇය පෙන්වා දුන්නා ය.

මේ තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් මෙම සැකකරු විසින් සිදුකරනු ලැබ ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බව ඇය කියා සිටියා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජූලි මස දෙවන දා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම සැකකරුට දැනුම්දීම් සිදු කළත් ඔහු අසනීප බව සඳහන් කරමින් කොමිසම හමුවට නොපැමිණි බවත් වෛද්‍ය වාර්තාවක් වෙනුවට ඔහු බෙහෙත් වට්ටෝරුවක් කොමිසමට එවා තිබූ බවත් ඇය කියා සිටියා ය.

අනතුරුව ඔහු විසින් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් කොළඹ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔහු එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරල්වරිය පෙන්වා දුන්නා ය.

එම ප්‍රතිශෝධන පෙත්සමට අදාළව මහාධිකරණය නොතීසි පමණක් නිකුත් කළ අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කිසිදු අතුරු නියෝගයක් නිකුත් නොකළ බව ඇය අධිකරණය හමුවේ පැවසීය.

අනතුරුව මෙම සැකකරු විමර්ශනවලට සහය නොවී මගහරිමින් සිටින නිසා අගෝස්තු මස 12 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් වරෙන්තුවක් ලබා ගත් බවත් ඇය සදහන් කළා ය.

සැකකරු කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබා දීම වෙනුවට කොමිසම සහ අධිකරණය මගහරිමින් ඔහුගේ පුත්‍රයා සහ වෙනත් සහය දක්වන පිරිස් ලවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ බවත් මේ හේතුවෙන් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඇය කියා සිටියා ය.

ඒ අනුව, මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණයෙන් ඉල්ලීම් කළා ය.

අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහු රැඳී සිටි බව කියන ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කළත් ඔහු සොයා ගැනීමට නොහැකි බව ය.

මෙම කටයුතු සිදු කරන අතරවාරයේ සැකකරු විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වාර්තාවක් කොමිසම වෙත එවා තිබූ බවත් එම නිලධාරියා පැවසීය.

ඉන් අනතුරුව සැකකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අධිකරණය මගහරිමින් කටයුතු කළ බවට අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා, තරයේ ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේ ය.

සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ජූලි මස දෙවන දා අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශ ලබා දීමට නොහැකි වූ බවත්, ඔහු ඒ බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

යම් පුද්ගලයෙකු අපේක්ෂිත ඇප ඉල්ලා සිටීම නීතියෙන් ඔහුට පැවරී ඇති අයිතිවාසිකමක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම අයිතිවාසිකම භුක්ති විඳීම අධිකරණය මගහැරීමක් ලෙස ප්‍රකාශ කළ නොහැකි බව ද පැවසීය.

විමර්ශනවලට අවශ්‍ය යම් පුද්ගලයෙකු අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය මගහැරීමක් ලෙස අර්ථකථනය කරනවා නම් ඇප පනත අවලංග කළ යුතු බව ඔහු කියා සිටියේ ය.

ප්‍රශ්නගත මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් අනුමැතිය ලබා ගත යුතු බවට නීතියක් නොපැවති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය වසර දොළහකට පමණ පෙර ආරම්භ වූ විමර්ශනයක් බවත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජන හෝ බලපෑම් කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළේ ය.

ඉකුත් ජූනි මස 27 වන දායින් පසු ඉදිරිපත් කළ බී වාර්තා කිසිවක අලුතින් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන නොමැති අතර, මේ තුළින් එම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති බව මනාව පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන මේ වන විට අවසන් වී ඇති බැවිනුත් සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජන හෝ බලපෑම් සිදුකර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බැවිනුත් ඔහු ඕනෑ ම කොන්දේසියක් සහිතව ඇප මත මුදා හරින්නැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් "සැකකරුවෙකුට නීතියෙන් නියම කර ඇති අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකියාව තිබෙනවා. ඒ අයිතිවාසිකම අධිකරණය පිළිගන්නවා. නමුත් මෙම සැකකරු මුල් අවස්ථාවේ සිට මේ දක්වා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට නොමැති බව අධිකරණයට පෙනී යනවා. ඔහු විමර්ශනවලට සහය ලබා නොදීම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස් වන පරිච්ඡේදය යටතේ පියවර ගැනීමට අල්ලස් කොමිසමට සිදු වී තිබෙනවා. මෙම වාතාවරණය යටතේ සැකකරුට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට සහය දෙනු ඇතැයි විශ්වාස කරන්න බැහැ.

එසේ වුවොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙනී යනවා" යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන යන ආකාරය

කොළඹ මහාධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

මේ අතර, අල්ලස් කොමිසම ගොනු කර තිබූ වෙනත් නඩුවක් සඳහා රාජිත සේනාරත්න අද පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවිණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත්, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා ය.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු දිගින් දිගට ම ප්‍රකාශ ලබා දීමට පැමිණීම මගහැරීම නිසා ඉකුත් අගෝස්තු මස 12 වන දා විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන තිබෙන බව ද නීතිඥවරිය පැවසීය.

එබැවින් මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියා ය.

මෙහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බව පැවසීය.

ඇප පනත යටතේ තම සේවාදායකයාගේ ඇප අවලංගු කිරීමට තරම් කරුණු කිසිවක් පැමිණිල්ල ඉදිරිපත් කර නොමැති බව ඔහු කියා සිටියේ ය.

"අල්ලස් කොමිසමට අවශ්‍ය වන්නේ, මේ වගේ පුද්ගලයන් දිගින් දිගට ම රිමාන්ඩ් භාරයට පත් කිරීමට" බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

තම සේවාදායකයා සෑම නඩු දිනයක ම අධිකරණය හමුවේ නොකඩවා පෙනී සිටි බවත්, ඔහු අධිකරණයට ගරු කරමින් අද දිනයේත් මෙම අධිකරණයට පැමිණ තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ඇපය අවලංගු කිරීමට නොහැකි බව කියා සිටියේ ය.

මෙය අල්ලස් කොමිසමේ අසාමාන්‍ය ක්‍රියා කලාපයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කළේ, පෞද්ගලික පහරදීම් සිදු කිරීමෙන් වළකින ලෙස ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න සැකකාර රාජිත සේනාරත්න මෙම නඩුව සඳහා මුල පටන් අඛණ්ඩව පෙනී සිට ඇති බව නඩු වාර්තාව පිරික්සීමේදී පෙනී යන බව සඳහන් කළා ය.

ඒ අනුව ඇප පනතේ 14(2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු විසින් අධිකරණයට නොපැමිණීමක්, බලපෑම් කිරීමක්, අයුතු මැදිහත් වීමක් සිදුකරන තිබෙන බවට තම අධිකරණයට කරුණු පෙනී නොයන බව විනිසුරුවරිය සඳහන් කළා ය.

වෙනත් නඩුවකට මෙම සැකකරු පෙනී නොසිට තිබෙන බව පැවසුව ද මෙම අධිකරණය හමුවේ ඔහු නොකඩවා පෙනී සිට ඇති බැවින් ඔහු අධිකරණය මගහැරීමක් සිදුකර නොමැති බව පැහැදිලි වන බවත් විනිසුරුවරිය සඳහන් කළා ය.

ඒ අනුව, මෙම නඩුව සඳහා ඇප අවලංගු කිරීමට තරම් සාධාරණ කරුණු මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරිය පැවසීය.

ඒ අනුව, මෙම විත්තිකරුට නියම කර තිබෙන ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කළා ය.

කෙසේ වෙතත්, මෙම විත්තිකරුට වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව සහ ඒ පිළිබඳව විත්තිකරු දැනුවත්ව සිටින බවට මෙම අධිකරණයට කරුණු පැහැදිලි වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය ඊට අදාළව කටයුතු කිරීමට අධිකරණය බැඳී සිටින බවත් සඳහන් කළා ය.

ඒ අනුව මෙම විත්තිකාර රාජිත සේනාරත්න වහා ම රිමාන්ඞ් භාරයට ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරිය ඉන් අනතුරුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියා ය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙසත් විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා ය.

ඒ අනුව විත්තිකාර රාජිත සේනාරත්න මේ වන විට බන්ධනාගාර නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

චෝදනා මොනවා ද?

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අගෝස්තු 12 වන දා වරෙන්තු නිකුත් කළේ ය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කළේ ය.

එදින අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, 2012 වසරේ මැයි මස 19 වන දා "සී වූ ප්‍රයිවට් ලිමිටඩ්" නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවකට ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න අනුමැතිය ලබා දී තිබූ බව ය.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තා කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීම සාමාන්‍ය පිළිවෙත වුවත්, මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා ය.

එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර, ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ "වැලිගොව්වා" නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබා දීමට සිදුවූ බවත් ඇය කියා සිටියා ය.

මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි ඇය සඳහන් කළාය.