ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දශක හතරක ජනපති සටනේ මං සලකුණු
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
විසිවන ශතවර්ෂයේ පටන් පැවැත්වෙන මැතිවරණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලියේ කශේරුකාවයි. 1977 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරම්භ වූ විධායක ජනාධිපති ධූරය සඳහා පළමු වරට ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 1982 වසරේදීයි.
එම වසරේ පටන් ඇරඹි ජනාධිපතිවරණ බොහෝමයක් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්වයන්ට මුහුණ දෙමින් සිටියදී පැවැත්වූ ඒවා වේ.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීම සඳහා කලින් කලට පැවැත්වූ මෙම ජනාධිපතිවරණවල දී, ප්‍රජාතන්ත්‍රවාදය යන සාධකය විවිධාකාරයෙන් උස් පහත්වීම්වලට ලක්ව තිබේ.
මැතිවරණ ඇරඹෙයි
1815 දී බ්‍රිතාන්‍ය පාලනයට මුළුමනින් ම නතු වූ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සිදුකරගෙන යාම සඳහා වන පළමු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගෙන එන්නේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණය ලෙසයි.
දශක ගණනාවක් පැවති එම පාලන ක්‍රමය අවසන් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් ප්‍රමාණය වැඩි කරන ලෙස පැමිණි ඉල්ලීම් සහ නිල නොලත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සීමිත ඡන්දයකින් තෝරා පත් කරගන්නා ලෙස පැමිණි ඉල්ලීම් නිසායි.
එම ඉල්ලීම්වලට එකඟතාවය පළ කළ යටත් විජිත භාර ලේකම්වරයා කෲව්-මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ සීමිත ඡන්ද බලයෙන් නිල නොලත් සාමාජිකයන් හතරදෙනෙකු තෝරාගැනීමට අවස්ථාව ලබා දෙන ලදි.
එලෙස සීමිත ඡන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ පොන්නම්බලම් රාමනාදන් ය. ඔහු 1911 දී පැවති ඡන්දයෙන් වෛද්‍ය මාකස් ප්‍රනාන්දු සමඟ තරගකොට වැඩි ඡන්දයෙන් ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්විය.
ස්ත්‍රී-පුරුෂ භාවය, උගත්කම හා ආදයම වැනි සාධක මත තීරණය වූ ඡන්ද අයිතිය සියලු ලාංකික පුරවැසියන්ගේ අයිතියක් බවට පත්වන්නේ 1931 වසරේ දීයි. ඒ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේයි. එහි දී පළමු වරට ශ්‍රී ලාංකිකයන්හට ඡන්ද බලය අභ්‍යාස කීරිමේ අවස්ථාව හිමි විය.
එම මැතිවරණයෙන් පසුව "සරල බහුතර මැතිවරණ ක්‍රමය" යටතේ අතුරු මැතිවරණ, මහමැතිවරණ කිහිපයක දී ම ජනතාව සිය ඡන්ද බලය භාවිත කල හ. මෙම මැතිවරණවලට වඩා වෙනස් මැතිවරණයකට පුරවැසියන් සිය ඡන්දය භාවිත කරන්නේ 1982 වසරේ දීයි.
ප්‍රජා අයිතිය අහිමිවීම මැද පැවති පළමු ජනපතිවරණය
1977 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් අතර, එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකය හෙවත් ජනාධිපතිවරයා මහජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත් කරගත යුතු ය.
1982 සැප්තැම්බර් මාසයේ දී මෙම පළමු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සිදුකළේ ය. ඒ වන විට විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම නිසා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි විවාදයක් මතුව තිබුණි. අවසානයේ දී හිටපු අමාත්‍යවරයෙකු වූ හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වශයෙන් නම් කරන්නේ එවන් පසුබිකදී ය.
මෙම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වූ අතර, වාමාංශික හා කම්කරු නායකයන් කිහිපදෙනෙකුම මේ සඳහා ඉදිරිපත්ව තිබේ. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් පසු ජාතික තලයේ දේශපාලනයට පිවිස සිටි එම පක්ෂයේ නායක රෝහණ විජේවීර ද මෙම ජනාධිපතිවරණයට තරගකර තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන 6985ක පැවති මෙම ඡන්දයට ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 8.1ක් ලියාපදිංචි වී සිටිය ද ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ මිලියන 6.6කි. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කීරිමේ කැපී පෙනෙන අඩුවක් තිබී ඇති අතර, මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ 46.31%කි. එයට එක් හේතුවක් වූයේ උතුරේ ඒවන විට නැගී එමින් පැවති ව්‍යාපාර විසින් එම ඡන්දය වර්ජනය කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටීමයි.
අවසානයේ දී මෙම මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් 52.91%ක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන දෙවන වරටත් ජනාධිපතිධූරය හිමි කරගත්තේ ය.
භීෂණය අතරතුර ජනාධිපතිවරණය
1988 දෙසැම්බර් මාසයේ දී පැවති ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත කළු පැල්ලම් රැසක් එක්කළ ජනාධිපතිවරණයකි.
මැතිවරණය පැවැත්වීමටත් ප්‍රථම මැතිවරණය ප්‍රකාශයට පත් කළ කාලයේ පටන් ම ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදු වී තිබේ.
1983 කළු ජූලියෙන් පසුව උතුරේ ව්‍යාප්ත වූ සටන්කාමී කණ්ඩායම් සහ පක්ෂ තහනමකට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය හ.
එයින් නොනැවතී ඡන්ද පත්‍රිකා ගබඩා කර තිබූ ස්ථාන වලට පහදීම් පමණක් නොව, ඡන්දය පැවැත්වූ දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන අසල පිපිරීම්, වෙඩි තැබීම් සහ මාර්ගය අවහිර කිරීම් ද සිදු විය.මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පළමුවරට මැතිවරණ නිලධාරීන් ජීවිතක්ෂයට පත් වූයේ මෙම මැතිවරණයේදීයි.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය විමසීමට පවා නොහැකි වී ඇති අතර, මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව ඇතැම් දිස්ත්‍රික්කවල ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 50%ක්වත් ඡන්දය ප්‍රකාශ කර නැත. මාතලේ, මාතර, හම්බන්තොට, යාපනය, වන්නි, පොළොන්නරුව සහ මොණරාගල එලෙස කැපී පෙනෙන ලෙස ඡන්දය භාවිත කිරීම අඩු වූ දිස්ත්‍රික්කයන් ය.
එයින් ද වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කර ඇති ප්‍රතිශතය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 13.79%ක් වන අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 17.01%කි. ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන්ගෙන් මෙම ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කර තිබෙන්නේ 55.32%ක් පමණකි.
මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ශකයන් තිදෙනා අතුරින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආර්. ප්‍රේමදාස ජයග්‍රහණය කළ අතර, පළමු ජනපතිවරණයේ දී සිය ප්‍රජා අයිතිය අහිමිව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක ද මෙම ජනාධිපතිවරණයට තරග කිරීම විශේෂත්වයකි.
කාන්තාවන් දෙදෙනෙකු අතර පැවති සටන
ධූර කාලය අවසන් වීමටත් පෙර 1993 මැයි 01 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය වීමත් සමඟ එවකට අගමැති වූ ඩිංගිරි බණ්ඩා විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් විය.
1994 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පැවති මහමැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර එම වසරේ ම ඔක්තෝබර් 07 දින ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සිදුවිය. පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී දිසානායක ඇතුළුව අපේක්ෂකයන් හය දෙනෙකු නාමයෝජනා භාර දී තිබුණි.
කෙසේ නමුත් 1994 ඔක්තෝබර් මස 24 වැනිදා කොළඹ තොටළඟ පැවති දේශපාලන රැස්වීමක් අතරතුර දී බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ඝාතනය වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ විකල්ප අපේක්ෂිකාව ලෙස ගාමිණී දිසානායකගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක නම් කරන ලදි.
ඒ අනුව මෙම ජනාධිපතිවරණය කාන්තාවන් දෙදෙනෙකු අතර පැවති තරඟයක් බවට පත් වූ අතර, ප්‍රධාන අපේක්ෂිකාවන් දෙදෙනාම දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් සහ දේශපාලනයේ යෙදී සිටි සිය සැමියන් ඝාතනය වූ පසු දේශපාලනයට පැමිණි අය වීම කැපී පෙනෙයි.
1994 නොවැම්බරයේ පැවති මෙම ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කළ පිරිස 1988 ජනාධිපතිවරණයට සාපේක්ෂව ඉහළ අගයක් ගත් නමුත් ලියාපදිංචි මුළු ඡන්දදායකයන් සංඛ්‍යාවෙන් ඡන්දය භාවිත කර තිබුණේ 70.47%කි.
උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්දය භාවිත කර තිබූ ප්‍රතිශතය ඉතා අඩු වූ අතර, එයට ඒ වන විට තිබූ සිවිල් යුද්ධය හේතුවක් විය. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 596,366කින් ඡන්දය භාවිත කර තිබුණේ 17,716කි. එය ප්‍රතිශතයක් වශයෙන් 2.97%කි. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ද ඡන්දය භාවිත කර තිබුණේ ලියාපදිංචි සංඛ්‍යාවෙන් 22.41%කි.
ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 62.28%ක ප්‍රතිශතයක් ලබා ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයට පත් වූ අතර, එම ප්‍රතිශතය මෙතෙක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයයි.
ජනපතිවරණය අභියස නැවතත් බෝම්බ පිපුරුම්
උතුරු-නැගෙනහිර සිවිල් යුද්ධයේ උච්ඡතම කාලපරිච්ඡේදයක් වූ 1999 වසරේ දී නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුණේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ධූර කාලයෙන් පස් වසරක් ගත වූ තැනයි.
පක්ෂ තහනම ඉවත් වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු තරග කල පළමු ජනාධිපතිවරණය මෙය වූ අතර, 1982 රෝහණ විජේවීර තරග කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට එම පක්ෂයේ අපේක්ෂකයෙකු තරග කළ පළමු අවස්ථාව ද විය.
අපේක්ෂකයන් 13 දෙනෙකු තරග කළ මෙම ජනාධිපතිවරණයේ ද අපේක්ෂකයන්ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. පොදුජන එක්සත් පෙරමුණේ අවසන් මැතිවරණ රැළිය අවසන් වී ආපසු යාමට සූදානම් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඇය දිවිගලවාගත් නමුත් ඇගේ ඇසකට හානි සිදුවිය.
උතුරේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාවට සාපේක්ෂව මෙම ජනාධිපතිවරණයේ ද ඡන්දය භාවිත කර තිබුණේ ඉතා අවම ප්‍රතිශතයකි.
අවම ඡන්ද පරතරයකින් ජයගත් ජනපතිවරණය
එවකට ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ වසර හයක නිල කාලය 2005 දී අවසන් වීමත් සමඟ එම වසරේ දී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදි.
1994 ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනපතිනිය වසර හයක ධූර කාලය ගතවීමට පෙර නැවත 1999 දී ජනපතිවරණයක් කැඳවීම හේතුවෙන් ඇගේ මුළු ධූර කාලය අවසන් වන්නේ 2005 ද, නැතහොත් 2006 ද යන්න පිළිබඳ විවාදාත්මක තත්වයක් මතුව තිබූණි.
ඒ සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණය වෙත ගිය අතර, එහිදී අගවිනිසුරු ඇතුළු විනිසුරු මඬුල්ල එකමතිකව තීරණය කළේ 2005 දී ජනපතිනියගේ ධූරකාලය අවසන් වන බවයි.
2004 පැවති මහමැතිවරණයෙන් අගමැති ධූරයට පත් වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේ එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයි.
අපේක්ෂකයන් 13 දෙනෙකු ඉදිරිපත් වූ මෙම ජනාධිපතිවරණයට පෙර 2004 දී ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට ගොදුරු වූ අතර, එම නිසා කඳවුරු වල සහ පදිංචි ස්ථානවලින් විතැන් වී සිටි ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කොමිසම විසින් සකස් කර තිබුණි.
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කරට කර ඡන්ද ලබාගත් මෙම ජනාධිපතිවරණයේ දී වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50.29%ක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ අතර, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහට වඩා ඔහු ලබාගෙන තිබුණේ ඡන්ද 180,786ක් වීම විශේෂත්වයකි.
මෙම ජනාධිපතිවරණයේ ද උතුරේ ඡන්ද කැපී පෙනෙන ලෙස අඩු වූ අතර, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 1.21%කි. යාපනයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 701,938ක් වූ අතර, එයින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 8524කි.
යුද්ධය අවසන් වීමෙන් පසුව පැවති පළමු ජනපතිවරණය
සිය පළමු ධූර කාලය අවසන් වීමට තිබුණේ 2011 වසරේ දී වුවත්, 2010 වසරේදී ජනාධිපතිවරණයක් කැඳවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කළේ ය.
අපේක්ෂකයන් 22 දෙනෙකු ඉදිරිපත් වූ මෙම ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි ප්‍රධාන තරගකරුවා වූයේ යුද්ධය අවසන් සමයේ යුධ හමුදාපතිවරයා ව සිටි සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වීම විශේෂත්වයකි. ඔහු එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සන්ධානයක් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ ය.
යුද්ධය නිසා අවතැන් කඳවුරුවල ජීවත් වූ ජනතාවට ද එවර සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිව තිබූ අතර, වන්නි සහ යාපනය මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි මින් පෙර ඡන්දය භාවිත කර තිබූ ප්‍රතිශතයන්ට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කර තිබෙන නමුත්, තවදුරටත් ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 50%ක්වත් උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කර නොතිබුණි.
උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 2010 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 30.24%කි. එමෙන්ම යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහිම 60%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගෙන තිබුණේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ දෙවන වරටත් ජනාධිපති ධූරයට පත් විය.
18 වන සංශෝධනය සහ තෙවන වරටත් ජනපති වීමේ සිහිනය
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය වසර හයකි. එමෙන් ම එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයේ රැඳී සිටිය හැකි වන්නේ ධූර කාල දෙකක දී පමණි. ඒ අනුව ධූරයේ රැඳී සිටිය හැකි උපරිම කාලය වසර 12කි.
දෙවන වරටත් ජනාධිපතිධූරයේ වැඩ ඇරඹූ එවකට ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකරගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉහත කී ව්‍යවස්ථාමය සීමාවන් ඉවත් කිරීමට තීරණය කර, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලදි.
එයින් ජනාධිපතිවරයෙකුට ධූරයේ රැඳී සිටිය හැකි උපරිම වාර ගණන පිළිබඳ සීමාවන් ඉවත් කර විධායක ජනාධිපති ධූරයේ බලතල තවත් ඉහළ දැමුණි. ඒ වන විට රට තුළ ඇතිව තිබූ තත්වය සහ විධායක ජනාධිපති ධූරයේ බලතල වැඩිවීම පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන්ගේ අවදානය යොමුව තිබුණි.
මෙවැනි වාතාවරණයක් යටතේ 2015 දී පැවති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට ලේකම් ව සිටි මෛත්‍රීපාල සිරිසේන තරග කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි.
2015 ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දදායකයන්ගේ ඡන්දය භාවිත කිරීමේ විශාල උනන්දුවක් ඇතිව තිබූ අතර, ඒ දක්වා ඉතිහාසයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද දායකයන් ප්‍රතිශතයක් උතුරු පළාතේ ඡන්දය භාවිත කර තිබුණේ එම වසරේදීයි. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 66.28%ක් ඡන්දය භාවිත කර තිබූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 72.57%කි.
මෙම මැතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අතර, ඔහු බලයට පත් වීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවතත් එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරයේ රැඳී සිටිය හැකි අවස්ථා ගණන දෙකක් ලෙස සීමා කළ අතර, ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කරන ලදි.
අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය
2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වූයේ එම වසරේ අප්‍රේල් මාසයේ දී සිදු වූ පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීමෙන් අනතුරුවයි.
එම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර, එතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ජනාධිපතිවරණයට එක් වූ ජනාධිපතිවරණය එයයි.
අපේක්ෂකයන් වැඩිවීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගු වූ අතර, එම නිසාම මැතිවරණය සඳහා විකල්පයක් ලෙස ඝණ කාඩ්බෝඩ්වලින් සෑදූ ඡන්ද පෙට්ටි ද යොදාගන්නා ලදි.
එම අපේක්ෂකයන්ගෙන් අපේක්ෂකයින් 15 දෙනෙකු ම ස්වාධීන අපේක්ෂකයන් විය. එමෙන් ම ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ද වන අතර, එම ප්‍රතිශතය 83.72%කි.
උතුරු පළාතේ වාර්තාගත ඡන්දහිමියන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර තිබූ 2019 ජනාධිපතිවරණයේ, ලක්ෂ හැටනවයකට ආසන්න ඡන්ද ලබාගෙන ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන තිබුණේ, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයෙන් 6.24%ක් සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් 12.27% ක් වැනි කැපී පෙනෙන අඩු ඡන්ද ප්‍රතිශතයකි.
යාපනය දිස්ත්‍රික්කයෙන් 83.86%ක් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් 82.12%ක් ඡන්ද ලබා ගනිමින් එම දිස්ත්‍රික්ක දෙක ම වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසයි.
රුවන්වැලිසෑය අසල පැවැත් වූ සිය ජනාධිපතිධූරයේ දිවුරුම්දීමේ උත්සවයේ දී ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ තමා 'සිංහල-බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පත් වූ ජනාධිපතිවරයෙකු' බවයි.
කෙසේනමුත් සිය ධූරකාලයේ තෙවන වසරේ දී රට තුළ ඇති වූ විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඔහුට රටින් පළායාමට සිදු වූ අතර ඉන්පසු ඔහු ඉල්ලා අස්විය.
මහජනතාව විසින් නෙරපා දැමූ එකම විධායක ජනාධිපතිවරයා වන්නේ ද ඔහුයි.
2024: ඉතිහාසගත අපේක්ෂකයන් සංඛ්‍යාවක්
2024 ජනාධිපතිවරණය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර ඇත.
මුල් කාලීන ජනාධිපතිවරණ හා සැසඳීමේ දී 21 වන සියවසේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා අඩු සහ ප්‍රජාතන්ත්‍රවාදය පියවරයන් වශයෙන් වර්ධනය වූ ඒවා බව නිරීක්ෂණය වේ.
පැවති යුධමය වාතාවරණය අවසන් වීමත් සමඟ උතුරු පළාතේ ද ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශත ඉහළ ගොස් තිබෙන බව ජනාධිපතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේ දී පෙනී යයි.
2024 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට මේ වන විට අපේක්ෂකයන් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඉතිහාසයේ වැඩිම ජනාධිපති අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කරන්නේ මෙවරයි.
ආසන්න ජනාධිපතිවරණවල ක්‍රම ක්‍රමයෙන් අපේක්ෂකයන් වැඩිවීම, මැතිවරණයේ වියදම් වැඩිකරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් මතුව තිබේ.
මෙම අපේක්ෂකයන් 39ට බෞද්ධ භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු ද ඇතුළත් වන අතර, එකදු කාන්තාවක් හෝ ඇතුළත් නොවීම විශේෂත්වයකි.